පසුගිය දා කවුඩුල්ල ප්‍රදේශයේ පැවැති රැස්වීමක දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දිව ආ පුංචි දියණියක් ජනාධිපතිවරයාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටිනු දක්නට ලැබිණි. ජනපති හමුවීමට පැමිණි මේ පුංචි අමුත්තිය නමින් දිනුල්‍යා චනාදි වූ අතර, සිය මවුපියන් සමඟ මැදිරිගිරිය, අමුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටී.
පෙරේදා (01) මැදිරිගිරිය ප්‍රදේශයේ පැවැති වැඩසටහන් රැසකට සහභාගී වූ ජනාධිපතිවරයා මේ සුරතල් දියණියගේ නිවසට ද ගොඩවැදී ඇගේ සුවදුක් විමසීමට අමතක නොකළ අතර, ඉතා කාර්යබහුල දෛනික කාලසටහනක් අතර වෙහෙස වී සිටියද, මහත් සෙනෙහසින් යුතුව දැරිය සමඟ කථා බහක නිරත විය.
දරුවන් දෙදෙනකුගේ පවුලේ වැඩිමලා වූ දිනුල්‍යා චනාදි දැරිය බහ තෝරන වයසේ පටන් ජනාධිපතිවරයා රූපවාහිනියේ දකින හැම මොහොතකම සිනාසෙමින් සහ නොයෙකුත් දේ කියමින් එම වැඩසටහන් නරඹන බව ඇගේ මවුපියන් පවසයි.
පසුගිය දා ජනාධිපතිවරයා මැදිරිගිරිය, කවුඩුල්ල ප්‍රදේශයට පැමිණෙන බව දැන ගැනීමත් සමඟ ජනාධිපතිවරයා බැලීමට යමු යැයි සිය පියාට ඇවිටිලි කළ දැරිය පියා සමඟ එම ස්ථානයට ගිය ද වේදිකාව අසළට යාමට ඔවුන්ට හැකියාවක් නොලැබිණි.
එහෙත් එකවර සෙනඟ අතරින් ජනාධිපතිවරයා වෙත දිව ආ දැරිය ආරක්ෂක නිලධාරීන් විසින් නතර කිරීමට තැත් කළ ද, ජනාධිපතිවරයා විසින් එය වළක්වා එම සුරතල් දියණියට තමා වෙත ඒමට ඉඩ සැලැස්වීය.
මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිවරයාගේ තුරුළට වී සුරතල් බස් දෙඩ වූ දැරිය එම උත්සවය අවසන්වන තුරුම ජනාධිපතිවරයා අසළට වී සිටිනු දක්නට ලැබුණි.
එම මතකයත් සමඟ ඊයේ දින එම දැරියගේ නිවසට ගොඩවැදුණු ජනාධිපතිවරයා ඇයගේ සුවදුක් විමසූ අතර, එම නිවසේ තිබූ ජනාධිපතිවරයා සහ මේ පුංචි දියණියගේ හමුවීම පිළිබඳ පළ කෙරුණු පුවත් පත් වාර්තා කිහිපයක් මෙන්ම තම ඡායාරූප කිහිපයක් ද එහි දී ජනාධිපතිවරයාගේ නෙත ගැටිණි.
0 Comments