ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා ක්‍රිකට් ශූරතාවලියට ඇතුළත් තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කාන්තා පිල සමග ඊයේ දඹුල්ලේ පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 94ක පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය.
මේ සමග තරග 3කින් සමන්විත තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2-0කින් ජය ගැනීමට පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූහ.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන පිල කඩුලු 6ක් දැවී ලකුණු 250ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 78ක් ඉතිරිව තිබියදී ලකුණු 156කට දැවී ගියහ.
ලකුණු 251ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල පරාජයෙන් ගලවා ගැනීමේ සටනක නිරතවූ ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී ලකුණු 29ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවාය. ඇයගේ ඉනිමට පන්දු 28කදී හතරේ පහර 5ක් ඇතුළත් විය.
ලකුණු 106කට කඩුලු 9ක් අහිමිව තිබිදී අවසන් කඩුල්ලට සුගන්ධිකා කුමාරි (17) සමග එක්වූ වීරක්කොඩි ලකුණු 50ක සබඳතාවක් පිහිටුවීමටද සමත් වූවාය.
එම සබඳතාව අවසන් කඩුල්ලට ගොඩනැගුණු හොඳම සිවුවැනි සබඳතාව ලෙසද වාර්තා පොතට එක්විය.
නායිකා චමරි අතපත්තු සමගින් ශ්‍රී ලංකා ඉනිම ඇරැඹු නිපුනි හංසිකා ලකුණු 5කට දුවද්දි දැවී ගිය අතර ලකුණු 34 දී ශ්‍රී ලංකා පිලට කඩුලු 3ක් අහිමිවිය. ඩිලානි මනෝදරා ලකුණු 5කටත්, ශෂිකලා සිරිවර්ධන ලකුණු ලබා ගැනීමට පෙරත් දවා ගැනීමට සානා මීර් සමත්වූ අතර අතපත්තු ලකුණු 24 දවා ගැනීමට නෂ්රා සන්ධූ සමත් වූවාය.
ලකුණු 55දී 5 වැනි කඩුල්ල ලෙස ලකුණු 10ක් ලබාසිටි රෙබෙකා වැන්ඩට් දවා ගැනීමට යළි ක්‍රියාත්මකවූ මීර් සමත්වූ අතර ඇයගේ සිවුවැනි කඩුල්ල ලෙස හසිනි පෙරේරා ලකුණු 11කට ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 67ක් විය. අනතුරුව චමරී පොල්ගම්පොල සමගින් එක්වූ අමා කංචනා ලකුණු 34ක සබඳතාවක් පිහිටුවමින් මුළු ලකුණු සංඛ්‍යාව 101 දක්වා ඉදිරියට ගෙන ගියාය.
පන්දු 24කින් ලකුණු 23ක් ලබාසිටි කංචනා දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටිණි. ලකුණු 24ක් ලබාසිටි පොල්ගම්පොල 8 වැනි කඩුල්ල ලෙස මුළු ලකුණු 105දී දැවී ගිය අතර තවත් ලකුණක් එක්වෙද්දී ඉනෝකා රණවීරද (1) දුවද්දී දැවී යෑමට හසුවිය.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ බිස්මා මාරූෆ් ලකුණු 89ක් රැස් කළාය. පන්දු 90ක් වැයවූ ඇයගේ ඉනිම හතරේ පහර 9කින් හා හයේ පහරකින් වර්ණවත් විය. නිඩා දාර් සමගින් 5 වැනි කඩුල්ල ලකුණු 91ක සබඳතාවක් පිහිටවූ බිස්මා 6වැනි කඩුල්ලට සානා මීර් සමග එක්ව රැස්කළ ලකුණු සංඛ්‍යාව 55කි.
නිඩා දාර් ලකුණු 38ක් රැස්කළ අතර සානා මීර් නොදැවී ලකුණු 27ක්ද, මුනීබා අලී ලකුණු 31ක්ද ඉනිමට එක් කළහ.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පළමු තරගය එක්වූ කවීශා දිල්හාරී සහ අචිනි කුලසූරිය වෙනුවට චමරි පොල්ගම්පොල සහ සුගන්දිකා කුමාරී ඊයේ තරගයට කැඳවා තිබූ අතර පාකිස්තාන කණ්ඩායම වෙනසකින් තොරව තරගයට එක්විය.
දෙපිල අතර තෙවැනි හා අවසන් තරගය හෙට (24) දඹුල්ලේදීම පැවැත්වෙයි.
පාකිස්තානය - 250/6 (ඕවර 50) බිස්මා මාරූෆ් 89, නිඩා දාර් 38, මුනීබා අලී 31 (ශ්‍රීපාලි වීරක්කොඩි 46/2)
ශ්‍රී ලංකාව - 156 (ඕවර 37) ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී 29 (සානා මීර් 32/4, නිඩා දාර් 27/2)

0 Comments