මුතුරාජවෙල අභය භූමි ප්රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම්, ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලු ක්‍රියාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි.
එහි යම් ඉඩම් කොටස් ගොඩකිරීම සඳහා යම් රාජ්‍ය ආයතනයක් මගින් දැනට කුමන හෝ අවසරයක් ලබාදී ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
එමෙන්ම මෙවැනි පරිසර විනාශයන්ට අනුග්‍රහය දක්වන හෝ දැක්වූ රාජ්‍ය නිලධාරින් සිටීනම් ඔවුන්ට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිතුමා අදාළ අංශ දැනුවත් කළේය.
මෙරට වැදගත් තෙත්බිම් පද්ධතියක් වන මුතුරාජවෙල අභය භූමිය ආශ්‍රිතව සිදුකෙරෙන පරිසර විනාශයන් පිළිබඳව පසුගියදා දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළ කෙරුණු අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා අද (22) අළුයම එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
අනතුරුව ප්‍රදේශයේ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානින් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉහත තීරණවලට එළැඹිණි.
පරිසර සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙස මෙහි පවතින සියලු ඉඩම් වනජීවි සහ පරිසර සංරක්ෂණ කලාප ලෙස ගැසට් කිරීමේ හැකියාව පිළිබඳ නීති උපදෙස් ලබාගැනීමට ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දෙන ලදී.
සින්නක්කර ඔප්පු සහිත ඉඩමක වුව ද පාරිසරික බලපෑම් ඇතිකරන්නේ නම් එහි ගොඩකිරීම් සහ ඉදිකිරීම් සඳහා ඉඩදිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම කි‍්‍රයා පිටුපස දේශපාලන බලවේග තිබේනම් ඒවාට එරෙහිව ද නොපැකිළිව කටයුතු කරන බව කියා සිටියේය.
මුතුරාජවෙල අභය භූමි ප්රදේශයේ සිදුකෙරෙන පරිසර විනාශයන් මැඩලීම සඳහා එම ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහ ප‍්‍රවේශ මාර්ගවලට මාර්ග බාධක යෙදවීමට ද ජනාධිපතිවරයා මෙහිදී පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේය.
මෙම ප‍්‍රදේශය තුළ සිදුකෙරෙන ගොඩකිරීම් සඳහා පස් ලබාදෙන ස්ථානවලට භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශය මගින් බලපත‍්‍ර නිකුත්කර තිබේනම් ඒවා ද වහාම අවලංගු කිරීමට ජනාධිපතිවරයා මෙහිදී නියෝග කළේය.






The post මුතුරාජවෙල පරිසර විනාශයට හේතුවන සියලු ක්‍රියාකාරකම්, ජනපති නියමයෙන් තහනම්..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

0 Comments