මූල්‍ය අපරාධ වැළැක්වීමට නව පනත වැදගත්
- නි. ඇමැති කරුණාරත්න පරණවිතාන
මේ රට සුරපුරයක් කරන්න විනිසුරුවරුන්ට පුළුවන්
- නි. ඇමැති රන්ජන් රාමනායක
ආණ්ඩුව ගෙනෙන පනත් තුනටම අපි එකඟයි
- විජිත හේරත්
අපරාධ නඩු විමර්ශනය කඩිනම් කළ යුතුයි
- ඩග්ලස් දේවානන්දා
වැරැදි පූර්වාදර්ශයන් ගෙන් තොරව ස්වාධීන අධිකරණයක් රට තුළ ස්ථාපිත කිරීම යහපාලනයේ අරමුණ බව අධිකරණ ඇමැති තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළාය.
හොරු අල්ලන ක්‍රියාදාමය නිසි අයුරින් ක්‍රියාත්මක කරන රජය ජෙනරල් සරත් ෆොන්සේකා හිරේ දැමු සංස්කෘතියෙන් බැහැරව කටයුතු කරන බවත් අතුකෝරාළ මහත්මිය සඳහන් කළාය.
කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (20) රැස්විය. වාර්තා, නිවේදන, ලිපි ලේඛන හා මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභාවේ කටයුතු ආරම්භ විය.
භාර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම, අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග, නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ රීති විවාදයට ගැනිණ.
අධිකරණ බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා - මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදය සඳහා මුදල් යෙදවීම ඇති හැකියාව අවම කිරිමට මෙම පනත් මඟින් බලාපොරොත්තු වෙනවා. ශ්‍රි ලංකා නීති විද්‍යාලය දැනට විදුහල්පතිවරයෙක් යටතේ ක්‍රියාත්මක වෙනවා. නමුත් එහි සංකීර්ණභාවය නිසා දෙවන පාලන අධිකාරියක් ඇති කිරීම සදහා නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ඇති කිරිමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ පනතට අදාළ සංශෝධනය කිරිමට බලාපොරොත්තු වෙනවා. නීතිපති දෙපාර්තමෙන්තුව සම්න්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. වැටුප් වැඩි කර තිබෙනවා. රජයේ නීතිඥවරුන් මේ වසරේදී සියයක් බඳවා ගැනීමටත් එමගින් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය කඩිනම් කිරිමට පියවර ගන්නවා.
වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා (දෙජාස) - අධිකරණ ක්ෂේත්‍රය පණ ගැන්වීම සඳහා මෙම පනත් අදාළ වෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේදී ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී වැළැක්විමේ පනත ඉවත් කරගන්නවා කියා පොරොන්දු වුණා. නමුත් මේ වනතෙක් එය ඉවත් කර ගෙන නැහැ. ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශය හෝ රජය ඉදිරිපත් වී නැහැ. ත්‍රස්ත මර්දන පමණ නිසා අපේ තරුණ තරුණියන් විශාල පිරිසක් සිරගෙවල්වල සිටිනවා.
වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා - මේ පනත් හා රෙගුලාසි මඟින් කළු සල්ලි ජාවාරම් මැඩලීමට හා මුදල් විශුද්ධිකරණයට බලපාන නිතියි. මුදල් විශුද්ධිකරණය ගත්තත් ඒවා වැටෙන්නේ බරපතළ ගනයේ මුල්‍ය අපරාධවලටයි. වසර ගණනාවක් තිස්සේ අති දැවැන්ත ගණයේ මූල්‍ය වංචා කොල්ලෑම් රාශියක් වී තිබෙනවා. බැඳුම්කර චෝදනාව පිළිබඳ විමර්ශන වාර්තාව හා පසුගිය රජය කාලයේ සිදුවූ තවත් සිද්ධි 37කට වැඩි වාර්තා ඉදිරිපත් කර තිබෙනවා.
මේ වංචා පොඩි දේවල් නොවෙයි. මේ සිදුවීම් ලෝක ඉතිහාසයේවත් සිදුව නැහැ. මූල්‍ය වංචා ගොන්නක් සිදුව තිබෙනවා. මේවා කවුද කර තිබෙන්නේ. මේවා කරල තිබෙන්නේ සුදෝ සුදු දේශප්‍රේමය ගැන කතා කරන හා ටයි කෝට් ඇදගත් පිරිසක්. මේ පිරිසට දේශපාලනඥයෝ නිලධාරීන් වංක සහයෝගයෙන් තමයි කර තිබෙන්නේ. මේ චර්යාවෙන් රට ගලවා ගත්තේ නැතිනම් රට ඉදිරියට යන්න බැහැ. මේ රටට පිළිලයක් වෙලා තිබෙන මූල්‍ය අපරාධ වළක්වාලීමට මේ නව පනත ඉතාම වැදගත්.
ලෙයින් තෙත් වුණ අපේ භූමියේ දුප්පත් කමින් පීඩාවට පත් භුමිය මේ දේශප්‍රේමින් කොල්ල කා තිබෙනවා. පාර්ලිමේන්තු පළාත්සභාවට ගෞරවයක් ඉතිරිව තිබෙනවාද? අද ව්‍යවස්ථාදායකයට විධායකට අධිකරණය වගකීමක් තිබෙනවා රට ගමන් කරන දුර්දශා ගමන නැවැත්වීමට. හැමදාම අපරාධ නඩුවකදි නිතියේ දැලට හසු වෙන්නේ හාල්මැස්සන් පමණයි. තෝරු මෝරු හසුව නැහැ. නිලධාරීන් හා දේශපාලනඥයින් වංක සහයෝගයෙන් වැඩ කරනවා. යුක්තියේ පමාව යුක්තියේ නිමාවට හේතුව තිබෙනවා කියා කියමනක් තිබෙනවා. අද නඩු කල්යන බව පෙනෙන්නට තිබෙනවා.
අධිකරණ ක්‍රියාදාමය පිළිබඳ පොදු ජනතාවගේ විශ්වාසය බිඳවැටි තිබෙනවා. එවැනි තත්ත්වයකදී අරාජිකවාදයක් නිර්මාණය වෙනවා. අපි රට එවැනි අරාජිකවාදයකට ඇද දමනවාද කියා සිතා බැලිය යුතුයි. ඒ නිසා අධිකරණය ප්‍රතිසංවිධායන විය යුතුයි. හොරු අල්ලන ක්‍රියාදාමය වේගවත් කරන්න යන විට පිරිසක් ඒ වෙනුවෙනුත් උසාවි යනවා ඒවා කරන්න එපා කියන්න. කාර්යක්ෂම අධිකරණයක් මේ රටට අවශ්‍ය වෙලා තිබෙනවා. මේ රටේ ගෞරවය කෙලෙසපු මූල්‍ය අපරාධ සිදුව තිබෙනවා. මේ සඳහා යුක්තිය ඇති කරන්න අපට බැරි වුණොත් 2020 දි දකින සිහින සුරංගනා කතා විතරයි.
මේ රටේ දේශපාලන දුරාචාරය පරිපාල දුරාචාරය නැති කරන්නයි වත්මන් ආණ්ඩුව ආවේ. රට කොල්ල කෑ මිනිස්සු මොන පැත්තේ හිටියත් ඔවුන්ට දඩැවම් දිය යුතුයි. මෙවර මැතිවරණ ප්‍රතිඵල ගත්විට වසර තුනක් ගත වුවත් හොරුන්ට දඬුවම් ලබා නොදීම හා එවැනි මූල්‍ය වංචා චෝදනා එල්ල වී තිබෙනවා. අපට පසු පසින් සිටි බොහෝ රටවල් අපි පසු පසට යන තැනකට ඇවිත් තිබෙනවා. වැඩ කල් තබමින් පස්ස ගසන රාජ්‍යයක් බවට පත් වීතිබෙනවා. මේ අභ්‍යාග්‍ය සම්පන්න භාවයෙන් පිබිඳීට රටට නව ජාතික දේශපාලනයක් අවශ්‍යයි. දේශපාලන බලය කියන්නේ හැමදාම තිබෙන එකක් නොවයි. පාරම්පරිකව බලාගන්න ලැබෙන පොල් වත්තක් නොවෙයි. ඒ නිසා දේශපාලන චර්යාව හොඳ තැනක තිබිය යුතුයි. ඒ සඳහා කතිකාවතක් ඇතිවිය යුතුයි. පුද්ගලවාදය ගැන කතා කරන එක ලිබරල්වාදයේ කරුණක්.
මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා මුලසුනට පැමිණියේය.
යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩගලස් දේවානන්ද මහතා (ඊපීඩීපී) - අපේ රටේ හය ලක්ෂ පනස් දහසක් පමණ නඩු තීන්දු ලබානුදුන් නඩු තිබෙනවා. එයින් වැඩි ප්‍රමාණයක් දේශපාලන සිරකරුවන් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන අයයි. අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධ නඩු කඩිනමින් විමර්ශනය කර දඬුවම් ලබාදිය යුතුයි. ජාතිවාදී කලකෝලාහල ඇතිවීම වැලක්වීමට පියවර ගත යුතුයි. ආගම්වාදය අවුස්සන පුද්ගලයින් සම්බන්ධ සොයා බැලීමට කොමිසන් සභාවක් ඇති කළ යුතුයි. පොලිසියට නිලධාරින් බඳවා ගැනීමේදී ඒ ඒ ප්‍රදේශවල ජනවර්ගයේ අනුපාතයට අනුව පත්කර ගත යුතුයි.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප) - ජනවාරි 08 වැනිදා ජනතාව අපෙන් ඉල්ලුවේ බඩු මිල අඩු කරන්න නොවයි. ණය ගෙවන්න නොවෙයි. අපෙන් ඉල්ලුවේ මේ රටේ මූල්‍ය වංචා කළ අයට කඩිනමින් දඩුවම් දෙන්න කියායි. අපි ඒ සඳහා මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාශයක් ඇති කළා. එයින් නඩු පැවරී තිබෙන්නේ 15යි. ඒ නඩු තවමත් අහනවා. වසර තුනක් ගතවී තිබියදී මේවා කඩිනමින් නඩුපවරා යුක්තිය ඉටු කරන්න බැරුව තිබෙනවා. මේ හොරු හරිම දක්ෂයි. හොරු අල්ලන්න ආ ආණ්ඩුව හොරු කරන්න හොරු දක්ෂයි.
හොරු අරගෙන ගිහින් උසාවියේ ප්‍රශ්න කරද්දි නිදහස් අරගලයට පණපොවොපු කැප්පෙටිපොෙ වගේ එළියට එන්නේ. නීතිය නිසා ආණ්ඩුව අසරණ වෙලා. ප්‍රමාණවත් නීති අපේ රටේ සකස් වී නැහැ. මුදල් විශුද්ධිකරණය කිරීම වැළැක්වීම අදාළ ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ අපේ රටේ නීති ප්‍රමාණවත් නැහැ කියා ජාත්‍යන්තරය කියා තිබෙනවා. පසුගිය කාලේ කාල්ටන් බංගලාවේ සිරිලිය ගිණුම ගැන කතා කළා. නඩු පැවරුවා. සී එස් එන් නාලිකාව ගැන නඩු පැවරුවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මුදල් විශුද්ධි කිරීම පිළිබඳ නඩු පැවරුවා.
ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා (එජනිස) - නීති විද්‍යාලයට නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් පත්කිරීම හොඳයි. මහින්ද රාජපක්ෂ මහතා අගවිනිසුරුවරිය ඉවත් කළේ දෝෂාභියෝගකින් තුනෙන් දෙකකින් සම්මත කරමින්. නමුත් මේ ආණ්ඩුව මොහාන් පිරීස් අගවිනිසුරුතුමා ඉවත් කළේ නීතියට පටහැනි ලෙසයි. ආණ්ඩුවට වැඩ බැරි කාරණය කියන්නේ නැතිව හොරු ඇල්‍ලුවේ නැහැ කියලා මතයක් ගොඩනගන්න හදනවා.
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා (එජාප) - ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කිරිම වැළැක්වීමට නව නීති ගෙන ආ යුතුයි. එයින් රට ඉදිරියට යනවා වගේම ශ්‍රී ලාංකිකයින් හැටියට රට ඉදිරියට ගෙන යා හැකියි. මේ රටේ ප්‍රශ්නයක් ඇති වුණොත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම වගකිව යුතුයි. මේතනින් පසු මේ රටේ සාමය නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ කියා අගමැතිවරයා අපට ඊයේ පොරොන්දු වුණා. ජනාධිපතිතුමාට මේ ගැන මතක් කරනවා.
ග්‍රාමීය කටයුතු නියෝජ්‍ය අමැති එම් ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා - කඩිනමින් නඩු අසා විසදුම් ලබාදීමට මෙම සංශෝධන පනත් ඉදිරිපත් කර තිබෙනවා. රටක් සංවර්ධනය කිරිමට හා රටක් ඉදිරියට යාමට නීතිය කාර්යක්ෂම විය යුතුයි. නීතිය ඉදිරියේ සියලුදෙනා සමානාත්මයක් තිබිය යුතුයි. වසර තිහක යුද්දයකට පැටලී තිබුණා. සාමය ඇති කළ රට ගොඩනැගීම කරන අවස්ථාවේ ජාතිවාදී කෝලහල ගෙනඒමට සමහරු උත්සාහ කරනවා.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි විජිත හේරත් මහතා (ජවිපෙ) - අද ඉදිරිපත් කළ පනත් තුන සඳහා අපේ එකඟතාව පළ කරනවා. විනිසුරුවරුන්ගේ වැටුප් විෂමතාවන් ඉවත් කිරීම, නීතිඥයන්ගේ වැටුප් වැඩිකිරීම වැනි යෝජනා අධිකරණ ඇමැතිවරිය ප්‍රකාශ කළා. දූෂණ වංචා පිළිබඳ නව අධිකරණ පිහිටුවන බව එතුමිය කිව්වා. නීති ක්ෂේත්‍රය තුළ වෙනම අධිකරණ පිහිටුවීම පිළිබඳ කතාවෙනවා. වංචා දූෂණ කඩිනමින් සොයා බලනවා. කියා තමයි මේ ආණ්ඩුව ආවේ. චෝදනාවලට ලක්වුණ අය අද ආණ්ඩුවෙන් අහනවා එක හොරෙක්වත් ඇල්ලුවෙ නැහැ. මෙය ඉතිහාසයේ සරදමක් වෙලා තිබෙනවා.
ආණ්ඩුවක් විදිහට කියිවාරු ගැහුවත් පසුගිය කාලේ සිදුවූ මූල්‍ය අපරාධ සොයා බැලීමට ආණ්ඩුව සමත් වුණේ නැහැ. අධිකරණ ක්‍රියාව ප්‍රමාදයි කියා සමහර වේලාවට කියන්න පුළුවන්. මැතිවරණ ප්‍රතිඵලය වෙනස් වෙන්න එය එක හේතුවක්. මූල්‍ය අපාරාධ කර තිබෙනවා නම් එය නීතිය ඉදිරියේදී ඔප්පු කර පෙන්විය යුතුයි. චෝදනා ඔප්පු කර ගැනීමට ආණ්ඩුව කඩිනම් නොකිරීම නිසා හොරු කියනවා දේශාපල පළිගැනීමක් කරනවා කියන්න පුළුවන් වෙලා තිබෙනවා. මෙය වෙනස් කිරීමේ වගකීම ආණ්ඩුව සතුව තිබෙනවා. අගමැතිවරයටා විශ්වාසභංගය ගෙන ඒමේදී බැඳුම්කර වංචාව පමණක් නොවයි අනෙකුත් බරපතල වංචා දූෂණ පිළිබඳ සොයා බලා කටයුතු නොකිරීම සම්බන්ධවත් ඇතුළත් කළ යුතුයි. පළමු නඩුව විදිහට බැඳුම්කර වංචාව පිළිබඳ නව අධිකරණයේදී විභාගයට ගත්තනාම් අද විශ්වාසභංගය එන්නේ නැහැ.
පසුගිය කාලයේ නීති විද්‍යාලයෙ කටයුතු සිදු වුණේ පාලකයාට උවමනා ආකාරයෙනුයි. පාලකයාගේ පුතාට හොරෙන්ම විභාගය ලියා නීතිඥයෙක් වූ ඉතිහාසයක් තිබුණා. ඒ වගේම නීතිවිද්‍යාලයේ හිටපු විදුහල්පතිගේ පුතාත් නීතිඥයෙක් වුණා කියා සමාජයට කතාවක් ආවා. සරත් එන් සිල්වා නීති විද්‍යාලයේ ඉන්න කාලයේ වෙනම බලඅධිකාරියක් තිබුණා. එම බල අධිකාරිය වෙනස් කළ යුතුයි. නව උප විදුහල්පතිවරයෙක් පත් කිරීමේන පම්‍ණයක් එය වැළක්වන්න බැහැ.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා (එජනිස) - සද්භාවයෙන් ගෙන එන පනතක් නම් අපි විරුද්ධ නැහැ. පරිගණක බැංකු පනත හා විදේශ විනිමය බැංකු පනත හා තාක්ෂණ ශිල්පි පරිගණක අපාරධ සනාථ කිරීමට අවබෝධය ඇති නීති ක්ෂේත්‍රයක් තිබිය යුතුයි. අපි ඒ දෙසට තවම ගමන් කර නැහැ. ඒ දැනුම ඇති විනිසුරු ආසනයක් නැතිනම් සාධාරණ යුක්තියක් බලාපොරොත්තු වෙන්න බැහැ.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා (එජාප) - කෙනෙකුට අසාධාරණයක් සිදු වෙනවා නම් ඔවුන්ට යුක්තිය ලබාගන්න පුළුවන් වෙන්නේ අධිකරණය මගිනුයි. ඒ නිසා ගොඩගැසී තිබෙන නඩු ඉක්මන් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු අපි ඉටු කරන්න ඕන. නව අධිකරණ ඇති කර නඩු කඩිනමි කළ යුතුයි.
කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා (එජාප) - අධිකරණ පද්ධතියක් ස්ථාපිත දූෂිතයින්ට විරුද්ධව කඩිනමින් නඩු විභාග කර දඩුවම් ලබාදිය යුතුයි. දූෂිතයින් වංචාකරුවන් රටට හෙළි කළ යුතුයි. ව්‍යාපාරිකයකුට චෙක් පතක් ලබාදුන්නොත් එය අගරු වුණොත් ඔහුට දඩුවමක් ලබාදීමට සිදු වන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳ නීති සම්පාදනය කළ යුතුයි.
සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා - අපරාධවල සම්බන්ධ මිනිමරුවො, කුඩු කාරයො එය දිගටම කරගෙන ගිහින් තිබෙනවා. නඩු භාණ්ඩ තිබෙනවා. මල්වානේ ඉඩම නිවස තිබෙනවා. තාජුඩීන්ගේ මිනිය තිබෙනවා. මේවා තිබෙනවා. නමුත් කළ කෙනෙක් නැහැ. අපරාධකරුවන් නිවැරදිව කර තිබෙනවා. නමුත් නිවැරැදිව නඩු තීන්දු දී තිබෙනවා. මහ බැංකු කොල්ල කා තිබෙනවා. එයින් දෙදෙනක් අල්ගෙන තිබෙනවා.
හොරු හරියට වැඩේ කරද්දි අල්ලන්නේ නැත්තේ කොතනින්ද? මේ රට විනාශ කළේ පාලකයො හා පුජකයො කියා ස්වාමීන් වහන්සේ කෙනෙක් බණකට කිව්වා. ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙ සිදු වීමේදී බොළඳ තර්ක ගෙන එනවා. අපරාධකරුවන් ආරක්ෂා කරන්නේ නීතිඥයන් අධිකරණය හා පාලකයින් විසින්. එය තමයි තිත්ත ඇත්ත. අද කෙලින් අධිකරණයක් නීතියක් රටේ නැහැ. හොරු රෑන එළියට එද්දි නීතිඥයින් සුදුහුණු ගානවා. එය ලැජ්ජයි. මේ පනත් මොනවා ගෙනාවත් වැඩක් නැහැ. මේ මුළු ක්‍රමය වෙනස් විය යුතුයි. සරත් එන් සිල්වා කිව්වා මම හිරගෙද යන්න ඕන කෙනාව රජ ගෙදර යැව්වා කියාලා මට සමාවෙන්න කියා. අගවිනිසුරු කෙනෙක් එහෙම කියද්දි පොඩි විනිසුරුවන් ගැන කුමන කතාද? ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය නාමල් රාජපක්ෂට නිතී විභාගය ලියන්න සීත කාමරයක් සකස් කර දුන්නා.
එතුමියගේ ස්වාමිපුරුෂයාට විරුද්ධව කටයුතු කළ නිසයි එතුමිය හැරුණේ. තනියම යුද්ධය දිනපු ගෝඨාභය උසාවියට බයයි. ඒ නිසා තමයි අත්අඩංගුවට ගන්න එපා කියා ඇප දෙන්න කියා ඉල්ලනවා. මෙහිදී හොරා වැරැදි නැහැ. නීති හදන අයයි වැරැදි. අද හොරු ටික අභියෝග කරනවා හොරු ඇල්ලුවද කියා? පක්ෂ විපක්ෂ බහුතරය සියයට 75ක් ඉන්නේ හොරුයි. සෑම පක්ෂයෙ වතගොත මගේ ෆයිල් එකේ ඇත. මේ පාර්ලිමේන්තුවේ ටැක්ස් වංචා නොකළ කෙනෙක් ඉන්නවාද? නැහැ මමත් ඇතුළුව නැහැ. අපි තිත්ත ඇත්ත කතා නොකර වෙනත් දේ ගැන කතා කළොත් රට ඉදිරියට යන්නේ නැහැ.
මේ රට සුරපුරයක් කරන්න විනිසුරුවරුන්ට පුළුවන්. අපි පහුගිය ටිකේ රතු වරෙන්තු නිල් වරෙන්තු දැක්කා. ඩුබායි ගියා අපේ කෝදාගොඩ මහතා ඇතුළු පිරිසක් නමුත් පිටරට බැංකුවලින් හොරු අල්ලන අපිට සහයෝගයක් නැහැ. මොකද හොරා ඒ අයගේ සේවා දායකයා. ආසියාවේ දූෂිත රටවල් හතරට අවේ මේ සේවා දායකයින් ඉන්න නිසයි.
මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි ලකී ජයවර්ධන මහතා මුලසුනට පැමිණියේය.
පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක ප්‍රියාත්ත මහතා (එජාප) - විශේෂ අධිකරණය ස්ථාපිත කිරීමට එරෙහිව පිරිසක් අධිකරණය හමුට ගියා. හොරු තමන්ගේ වංචා එළිවෙයි කියා බයෙන් උසාවි යන බව එය දිහා බලද්දි අපට පෙනෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනතක් ක්‍රියාත්මක කරන්න හදනවා කියා හොරු පෙන්වන්න උත්සාහ කරනවා. හොරු අල්ලන්න අධිකරණ තව දහයක් හරි දාල කටයුතු කළ යුතුයි.
අධිකරණ ඇමැති තලතා අතුකෝරාළ මහත්මිය - ගැසට් කිරීමේදී සිදුවූ තාක්ෂණික වරදක් නිවැරැදි කර තිබෙනවා. ඒ වගේම නීති අධ්‍යාපන සභාවේ නිති විද්‍යාලයට නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ඇති කර තිබෙනවා. නීති විද්‍යාලය කියන ස්ථානය වැදගත්කම හා අවශ්‍යතාව මේ රටේ සෑම ආයතනයක කේන්ද්‍රස්ථානයක්. එහි විදුහල්පතිවරයාට අසනිපයක් වුණොත් නියයෝජ්‍ය විදුහල්පතිවරයාට වැඩකටයුතු කරගෙන යාමට හැකියාව තිබෙනවා. මොහාන් මන්ත්‍රීතුමා නීතිපති තනතුර ගැන කතා කළා. අපි හොරු අල්ලනට කියා ජනතාවගේ ඉල්ලීමක් තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය ක්‍රියාපිළිවෙළ සිද්දවීගෙන යනවා. දේශපාලන සතුරන්ට දඩුවම් කර විදිහට ෆොන්සේකා හිරේ දැම්ම ආකාරය වගේ අපි කවුරුත් හිරේ දාන්නේ නැහැ. අපි නීතිය ක්‍රියාත්මක කර හැකි පරිසරය නිර්මාණය කරනවා. අපි වැරැදි පූර්වාදර්ශ ඉදිරියට ගෙන යන්න උත්සාහ කරන්නේ නැහැ. මොහාන් පිරිස් අගවිනිසුරු ඉවත් කළ විදිහ ගැන කතා කළාට පත් කළ විදිහ ගැන කතා කළේ නැහැ. අධිකරණයේ අගවිනිසුරු ඇතුළු අධිකරණ කොමිසන් සභාව යටතේ තිබෙන සෑමදෙනාට ස්වාධිනව කටයුතු කිරීමට අයිතිය ලබාදී තිබෙනවා. ඒ කාලේ පත්වූ උදවිය ඉන්නවා.
ඒ අයට චෝදනා කරන්න පුළුවන්. විශේෂ අධිකරණ බිය වූ පුද්ගලයින් අධිකරණය ගිහින් තිබෙනවා. විශේෂ අධිකරණයක් ස්ථාපිත කරනවා කියා අපි ජනතාවට දුන් පොරොන්දුවක්. විනිසුරුවන්ගේ හා අධිකරණ ක්ෂේත්‍රයේ පසුගිය ජනවාරි මාසයේ සිට වැටුප් වැඩි කර තිබෙනවා. අපි ද්වේශයකින් ක්‍රෝධයකින් කටයුතු කරන්නේ නැහැ. බැඳුම්කර නඩුව විභාගය ගන්නත් ඉඩ තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව බොහොම සැහැල්ලුවට කතා කළා. නීති පති දෙපාර්තමේන්තුවට ඇගිලි ගහපු අය නිතිපති දෙපාර්තමේන්තුවේ පහසුකම් ගැන බැලුවේ නැහැ.
පනත් හා රෙගුලාසි සංශෝධන සහිතව සම්මත විය.
පාර්ලිමේන්තුව අද (21) පස්වරු 1.00 යළි රැස්විය.

0 Comments