Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රෝහිත අබේගුණවර්ධන නමින් ලක්ෂ 75ක් හා ලක්ෂ 25ක ස්ථාවර තැන්පතු තිබුණා

Author(s): 
කුමුදු හෙට්ටිආරච්චි

රෝහිත අබේගුණවර්ධන මහතා නමින් පීපල්ස් ලීසිං සමාගමේ රුපියල් ලක්ෂ හැත්තෑපහක හා රුපියල් ලක්ෂ විසිපහක ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් තිබූ බව තම ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීම සම්බන්ධව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩුවේ සාක්කි දෙමින් පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන කාර්යාලයේ විධායක නිලධාරී චමින්ද ජනක සමරක්කොඩි මහතා කොළඹ මහාධිකරණයේදී ඊයේ (21) පැවසීය.

තවද මේරි ඈන් අබේගුණවර්ධන මහත්මිය නමින් වාහන දෙකකට රුපියල් විසිදෙලක්ෂ පහළොස්දහසක හා රුපියල් විසිදෙලක්ෂ හතළිස්දහසක කල්බදු පහසුකම් ලබාගෙන ඇති බව පැවසූ චමින්ද සමරක්කොඩි මහතා කල්බදු වාරික සඳහා චෙක්පත් මඟින් ගෙවීම් සිදුකර ඇති බව සඳහන් කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.

2004/03/31 හා 2006 මැයි 31 අතර කාලයේදී තම ආදායමෙන් උපයාගත නොහැකි මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරූ බවට අධිචෝදනා දෙකක් මත රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුදර්ශන සිල්වා මහතාගේ මෙහෙයවීම මත ඊයේ (21) සාක්කි දුන් චමින්ද සමරක්කොඩි මහතා මෙසේ ද පැවසීය. මා පීපල්ස් ලීසිං සමාගමේ වසර 18 ක සිට සේවය කරනවා. රෝහිත අබේගුණවර්ධන මහතා නමින් අප සමාගමේ රුපියල් ලක්ෂ හැත්තෑපහක ස්ථාවර තැන්පතුවක් තිබුණා. එය 2005/08/09 දින අවසන් කළා. තවද ඔහු නමින් වූ රුපියල් ලක්ෂ විසිපහක ස්ථාවර තැන්පතුවක් ද එදිනම අවසන් කළා.

WP HP 2701 දරන වාහනයට මේරි ඈන් අබේගුණවර්ධන මහත්මිය 2003/12/12 දින රුපියල් විසිදෙලක්ෂ පහළොස්දහසක කල්බදු පහසුකමක් ලබා ගත්තා. තවද ඇය විසින් 2004/01/12 දින WP HQ 8491 දරන වාහනය සඳහා රුපියල් විසිදෙලක්ෂ හතළිස්දහසක කල්බදු පහසුකමක් ද ලබා ගත්තා.

ර. ජ්‍යෙ. අධිනීතිඥවරයා - කල්බදු වාරික ගෙවීම කර ඇත්තේ කෙසේද?

සාක්කිකරු - සියලුම ගෙවීම් චෙක්පත් මඟින් කර තිබෙනවා.

සාක්කිකරු හට පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ගෙවීම නමින් අත්සන් යෙදූ ලේඛනයක් පෙන්වා සිටියි. සාක්කිකරු විසින් එම ලේඛනය හඳුනාගන්නා ලදී.

ප්‍රශ්නය - WP HQ 8491 ට අදාළ කල්බදු පහසුකම් ලබාදීම සම්බන්ධ ලේඛන තිබෙනවාද?

සාක්කිකරු - ඔව්. එහි කල්බදුලාභියා මේරි ඈන් අබේගුණවර්ධන මහත්මියයි. රුපියල් විසිදෙලක්ෂ හතළිස් දහසක මුදලක් කල්බදු ලෙස ලබාගෙන තිබෙනවා.

ප්‍රශ්නය - කල්බදු වාරික සඳහා ගෙවීම් සිදුකළේ කෙසේද?

සාක්කිකරු - මේරි ඈන් අබේගුණවර්ධන නමින් වූ ගිණුමට චෙක්පත් මඟින් වාරික ගෙවීම් සිදුකළා.

ප්‍රශ්නය - WP 2701 වාහනයට කොපමණ මුදලක් කල්බදු ලෙස තම සමාගමෙන් ලබා දුන්නද?

සාක්කිකරු - රුපියල් විසිදෙලක්ෂ පහළොස්දහසක මුදලක්.

ප්‍රශ්නය - ඊට අදාළ වාරික ගෙවීම් කර ඇත්තේ කෙසේද?

සාක්කිකරු - චෙක්පත් මඟින්.

වාහන දෙකට අදාළ කල්බදු වාරික ගෙවීම් සිදුකර ඇති දිනයන් හා ඊට අදාළ වාරික මුදල් ගෙවීම සම්බන්ධ ලේඛන පරීක්ෂා කර බලමින් සාක්කිකරු විසින් අධිකරණයට කරුණු පැහැදිලි කළේය.

විත්තිකාර ‍රෝහිත අබේගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අසන ලද හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්කිකරු මෙසේ ද පැවසීය.

මා අද අධිකරණය හමුවේ සාක්කි ලබා දුන්නේ 2004/05/31 හා 2005/04/01 යන කාලය තුළ සිදුවූ ගනුදෙනුවක් සම්බන්ධවයි. මේ ගනුදෙනුව සිදුකර ඇත්තේ මේරි ඈන් අබේගුණවර්ධන මහත්මියයි. ලේඛන අනුව කල්බදු පහසුකම් ලබාගෙන ඇත්තේ මේරි ඈන් අබේගුණවර්ධන මහත්මිය නමින්. ඊට අදාළ වාරික මුදල් ගෙවීම සිදුකර ඇත්තේද ඇයට අයත් ගිණුමටයි.

වැඩිදුරටත් විභාගය ලබන අප්‍රේල් 02 වැනිදාට කල් තැබුණි.

විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (21) අධිකරණය හමුවේ පෙනී සිටියේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();