Author(s): 
නෙල්කා මැදගෙදර

මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින තමන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන විසින් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සම් 2ක් ඉදිරිපත් කර තිබේ.

ඔවුන්ට ඇප දීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙන ලද 2018.02.16 දිනැති නියෝගය සහ එම නියෝගය තහවුරු කළ 2018.03.09 දිනැති මහාධිකරණ නියෝගය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම් මගින් ඉල්ලා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, මූල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා, එම දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ ලෙස නම් කර සිටිති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් තමන් ඉකුත් පෙබරවාරි 4 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත්කළ බව පෙත්සම්කරුවෝ පවසති. තමන් ඇප මත මුදාහැරීමට කළ ඉල්ලීම පෙබරවාරි 16 දින මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව බස්නාහිර පළාත් මහාධිකරණයට කළ ප්‍රතිශෝධන ඉල්ලීමද ඉකුත් මාර්තු මස 09 දින ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්වල සඳහන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පෙත්සම්කරුවන් සම්බන්ධ බී වාර්තා සහ වැඩිදුර වාර්තා ඉදිරිපත් කළ අතර එමගින් භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා 2016 නොවැම්බර් මස 25 සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධ විමර්ශනයෙහි ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු ලෙස පෙත්සම්කරුවන් නම් කර ඇත. ඉකුත් පෙබරවාරි මස 4 වැනිදා සිය නිවෙසේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගත් බවත්, ඊට හේතූන් පැහැදිලි නොකළ බවත් සඳහන් කරන පෙත්සම්කරුවන් කෙසේ වුවද තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව දැනසිටි බව පෙත්සම්කරුවෝ සඳහන් කරති. පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ තමන් ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව සඳහන්වේ. ඊට එරෙහිව පෙබරවාරි 28 දින මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධ කරුණු විමසූ මහාධිකරණය පෙත්සම්කරුවන් ඇප මත මුදාහැරීම ප්‍රතික්ෂේප කළ බව සඳහන් වේ.

එලෙස ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත් සහ මහාධිකරණවලින් ලබාදුන් නියෝගය වැරැදි බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. නිසිලෙස කරුණු සලකා බැලීමෙන් තොරව අදාළ නියෝග ලබාදී ඇතැයි මෙම පෙත්සමෙහි දැක්වේ.

මෙලෙස දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ රඳවා තැබීම නිසා පෙත්සම්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට පිරිමැසිය නොහැකි පාඩුවක් සහ හානියක් වන බව පෙත්සම්වල සඳහන් වේ.

එබැවින් ඕනෑම ඇප කොන්දේසියක් මත තමන් මුදාහරින ලෙස නියෝග කරන්නැයි පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති. නීතිඥ සනත් විජේවර්ධන මහතා ‍මගින් මෙම පෙත්සම් ගොනු කර තිබේ.