දෙමෝදර සමුහ ආර්. එම් . සෝමරත්න
බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක ජීව අත් බෝම්බයක් රැගෙන ගොස් එය බස්රිය තුළදී පිපිරි යාම පිළිබඳව රෝහල් ගතව සිටි සාජන් මේජර්වරයෙකු මාර්තු 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට පත්කරන ලෙස බණ්ඩාරවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ඩබ්ලිව්. එන්.එල්.පී.ගුණසේකර මහතා දියතාලව පොලිසියට නියෝග කොට ඇත. බණ්ඩාරවෙල, දියතලාව අතර පිහිටි කහගොල්ලේදී බස් රථයක් තුළ මෙම බෝම්බය පිපිරී ගිය අතර ඉන් 19 දෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුලු කරන ලදි.
යුද හමුදා නිලධාරියෙකුගේ බෑගයක තිබි මෙම අත්බෝම්බය බස්රිය තුළදී පිපිරි ගොස් ඇතිබව දියතලාව පොලිසිය විසින් යුද හමුදාව සමඟ ඒකාබද්ධව කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත. සිද්ධියෙන් බරපතළ තුවාල ලබා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන රෝහලේ සිටියදී මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදුව මෙසේ රක්ෂිත බන්ධනාගාරයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 06 වැනි යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ හමුදා නිලධාරියෙකු වන ජනක ලෙස්ලි කුමාර චන්ද්‍රසේන නැමැත්තෙකි.
පසුගිය පෙබරවාරි මස 21 වනදා සිදුවූ මෙම බෝම්බ පිපිරීමෙන් යුධ හමුදා නිලධාරීන් 07 දෙනෙකුද, ගුවන් හමුදා නිලධාරීන් 05 දෙනෙකුද, රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් වශයෙන් තුවාල ලබා සිටියහ. සැකකරු උසාවියට ඉදිරිපත් කළ දියතලාව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.කේ.එච්.හල්පිට මහතා සැකකරු පිළිබඳ කරුණු දක්වමින් හෙතෙම අත්බෝම්බයක් ගෙන ආ බවට පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් බස් රථය තුළ ක්‍රියාත්මක වූ CCTV කැමරාවේ දර්ශන අනුව සහ සැකකරුගෙන් ලත් තොරතුරු හා තුවාල ලැබුවන්ගේ කරුණු මත මෙම කරුණු සනාථ වී ඇති බව පැවසීය.
රක්ෂිත බන්ධනාගාරයට පැමිණවීමේ තීන්දුව දීමට පෙර මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම සිද්ධිය පිළිබඳව සැකකරුට යම් කිසිවක් පැවසීමට තිබේදැයි විමසු පසු මට මේ සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් කරන්න තිබේයැයි සැකකරු පැවසූ අතර ඒ සඳහා ඉදිරි දිනයක අවස්ථාව ලබාදෙන බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කොට තිබේ. මේ වන විට සැකකරු බන්ධානාගාර ආරක්ෂාව යටතේ තවදුරටත් එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු වරද පිළිගෙන පොලිසියට ප්‍රකාශයක් කර ඇතිබව අනාවරණය වේ.
2017 වර්ෂයේ සිට හෙතෙම මුලතිව් හමුදා කඳවුරෙන් ස්ථාන මාරුවීම් ලැබ පැමිණි බවත් තමා මේ වන විට විවිධ කරුණු නිසා රුපියල් ලක්ෂ 15 ක පමණ ණය වී ඇති බවත් ඒ නිසා තම පවුලට වැන්දඹු විශ්‍රාමික වැටුප් ලැබෙන අයුරින් අත්වැරැද්දකින් හමුදා කඳවුරේදී බෝම්බය පිපිරෙන ලෙස සිය දිවි නසා ගැනීමට සැලසුම් කළ බවත් එහෙත් අවාසනාවකට කහගොල්ලේදී බෝම්බය පිපිරි ගිය බවටත් මේ වන විට කරුණු අනාවරණය වී තිබේ.
සිද්ධිය පිළිබඳ බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.කේ.හරිත හල්පිට මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන අතර යුද හමුදාවද වෙනම පරීක්ෂණයක් අරඹා තම මූලස්ථානයට කරුණු ඉදිරිපත් කොට ඇත. බන්ධනාගාරය විසින් මහේස්ත්‍රාත්වරයාගෙන් කරන ලද ඉල්ලිමක් පරිදි සැකකරු බදුල්ල මහ රෝහලට මාරු කොට එවා ඇත.
0 Comments