Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටේ මානව සම්පත කිසිවිටක අපතේ යවන්නේ නැහැ

 

අගමැති WNS Global Service සමාගමේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගී වෙමින් කියයි

රටේ මානව සම්පත බිඳකින් හෝ අපතේ නොයවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කෙළේ WNS Global Service සමාගමේ නිරීක්‍ෂණ චාරිකාවකට පසුගියදා සහභාගී වෙමිනි.

මෙම වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත තොරතුරු තාක්‍ෂණය සම්බන්ධ ගෝලීය සමුළුව සහ ඉන්දියානු නායකත්ව සැසියට සහභාගීවීමට අගමැති වික්‍රමසිංහ මහතා ආරාධනා ලැබ සිටි.

ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්‍ෂණය (IT) සහ ව්‍යාපාර ක්‍රියාවලින් බැහැර ගත කිරීමේ (BPM) පුරෝගාමී ආයතනයක් වන WNS Global Service සමාගමේ සේවයේ නියුතු තරුණ වෘතීයවේදීන් අමතමින් එහිදි අගමැති වික්‍රමසිංහ මහතා‍ සඳහන් කෙළේ ,රටේ මානව සම්පත බිඳකින් හෝ අපතේ නොයවන බවයි. පරාක්‍රමබාහු නිරිදුන් පැවසූ පරිදි “අහසින් වැටෙන එකදු දිය බිදුවක්වත් ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට නොගෙන මහ සයුර වෙත ගලා යාමට ඉඩ නොදිය යුතුයි” යන භාෂිතය අනුයමින් තම ආණ්ඩුව මේ රටේ සුවිශේෂී හැකියාන් වලින් පිරිපුන් මානව සම්පතින් උපරිම පළ නෙලා ගන්නා බවද අගමැතිවරයා පැවසීය.

තොරතුරු තාක්‍ෂණය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් හෙට දින රටේ අනාගත පැවැත්ම තීරණය කරනු ලබන සුවිශේෂී ක්‍ෂේත්‍රයක් වන බැවින් එහි වර්ධනයට අවැසි පහසුකම් සැපයීමට ආණ්ඩුව නිරතුරු කැපවී සිටින බව කීය.

අගමැතිවරයා මෙම සංචාරය තුළදී WNS සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ දිනේෂ් වික්‍රමනායක මහතා ඇතුළු සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ අනාගත වර්ධනය සිදු විය යුතු ආකාරය සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කෙළේය. මෙම සාකච්ඡාව සඳහා සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අැමැති මලික් සමරවික්‍රම ,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ ,ඩිජිටල් ආර්ථික උපාය මාර්ගික කාර්ය සාධක බලකායේ ප්‍රධානී මහේෂ් අමලියන් යන මහත්වරු ද සහභාගී වුහ.

WNS ව්‍යාපාර සමුහයේ ප්‍රධාන විධායක කේෂව් ආර්. මුරුගේෂ් මහතා-

අගමැතිතුමාගේ මෙම නිරීක්‍ෂණ චාරිකාව තම සමාගමට ඉමහත් ගෞරවයක් ගෙන දෙනවා. අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකාව ව්‍යාපාර ක්‍රියාවලින් බැහැරගත කිරීමේ ක්ෂේත්‍ර‍යේ කේන්ද්‍රස්ථානය බවට පත් කරලීම වෙනුවෙන් ගනු ලබන වෑයම සහ ඒ වෙනුවෙන් කරනු ලබන දැඩි කැපවීම ඉතාමත් ප්‍රශංසනීයයි. විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව මේ වන විටත් මෙම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගෙන ඇති සාධනීය ප්‍රතිපත්ති සැබැවින්ම පැසසිය යුතුයි. ඉදිරියටත් මෙම සහයෝගය ලැබෙනු ඇති බවට විශ්වාසයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලීය ව්‍යාපෘතියක් ලෙස WNS ආයතනය ආරම්භ කරන ලද්දේ 2004 වසරේදී. සේවක මණ්ඩලය 35 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම ආයතනය අද වන විට තරුණ තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයින් 700 ක් පමණ සේවයේ නියතුව සිටිනවා. ඉන්දියාවෙන් පරිභාහිරව සමාගමේ ප්‍රථම ගෝලීය මූල්‍ය හා ගිණුම්කරන ක්‍රියාවලීන් බැහැරගත කිරීමේ මධ්‍යස්ථානය කොළඹ පිහිටු වීමේ දී ඔවුන් මෙරටේ ඉහළ තලයේ මුල්‍ය සහ ගණකාධීකාරී ක්‍ෂේත්‍රයේ මෙන්ම නීති ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලත් දක්‍ෂ තරුණ තරුණියන් රැසක් ආකර්ෂණය කර ගන්නා ලදී. ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් තුළ ඇති නිසග හැකියාවන් නිවැරිදිව හඳුනාගත් WNS සමාගම ඔවුන්ගේ ගෝලීය ගනුදෙනුකරුවන් උදෙසා ස්වයංක්‍රීය රෝබෝ ක්‍රියාවලින් හඳුන්වා දෙමින් ඒ සම්බන්ධව මුලපිරීමක් ද සිදුකරන ලදී. මේ වන විට WNS සමාගම ලොව පුරා පිහිටා ඇති තම මධ්‍යස්ථාන 53 හි වෘත්තිකයන් 35000 කට රැකියා අවස්ථා සම්පාදනය කොට ඇත.

වර්ෂ 2017 රජයේ ජාතික අපනයන උපාය මාර්ග යටතේ ප්‍රමුඛතා අපනයන ක්ෂේත්‍ර 6ක් හදුනාගෙන ඇති අතර ඒවායේ තරගකාරීත්වයක් සහ ආයෝජනවල තිරසාර වර්ධනයක්ද අපේක්‍ෂා කරයි. වර්තමානයේ තොරතුරු තාක්‍ෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලින් බැහැර ගත කිරීමේ ක්ෂේත්‍රයේ වාර්ෂික අපනයන ආදායම අමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2 ක් වන අතර එය 2022 වසර වන විට ඇ.එ.ජ.ඩො.බි 5 ක් දක්වා වර්ධනයක් ද 200,000 පමණ සේවා නියුක්තියක් ද අපේක්‍ෂා කරයි.

මෙම ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්කයන් ළඟ කර ගැනීම සඳහා ඇවැසි යටිතල පහසුකම් සංවර්ධනය, කුසලතා වර්ධනය, ව්‍යාපාර ආරම්භ කොට පවත්වාගෙන යාමේ දර්ශකය සංවර්ධනය කිරීම ආදිය රජයේ ඉලක්ක ගත ආර්ථික ප්‍රතිපත්තිවලට ඇතුළත් වේ. ශ්‍රී ලංකාව ගෝලීය දැනුමේ කේනද්‍රස්ථානයක් බවට පත් කිරීමේ වෑයමේ දී ඉහත කී ක්‍රියාමාර්ග ගැනීම තුළින් මෙම ක්ෂේත්‍රයේ ශක්තිමත් වර්ධනයක් අපේකෂා කළ හැළ.

2018 පෙබරවාරී 19 වැනි දින ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පැවැත්වීමට සැලසුම් කැර ඇති ලෝක තොරතුරු තාක්‍ෂණ සමුළුව සහ ඉන්දියානු නායක්තව සැසිය ඇමැතීමට ශ්‍රී ලංකා අගමැති ඇරයුම් ලබා සිටී. එහිදී ඔහු තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය සම්බන්ධව තම දැක්ම ලොව අනෙකුත් රාජ්‍ය නායකයින් සමඟ හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරයි. මෙම ඓතිහාසික සමුළුව සඳහා රටවල් 80 ක පමණ රාජ්‍ය නායකයින්, තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයන්, අධ්‍යපඥයින් සහ 2500 ක පමණ ස්වේච්ඡා සේවකයින් සහභාගී වීමට නියමිතයි.

ඡායාරූප- රුවන් ද සිල්වා. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();