ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ සැබවින්ම පිදිය යුතු ගුරු කළ යුතු චරිතයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
විමලරතන හිමියන් ශ්‍රේෂ්ඨ යුගමෙහෙවරක් ඉටු කළ බවත් ආර්ථික, සමාජයීය හා ආගමික කටයුතු ඉදිරියට ගෙන ඒමට උන්වහන්සේ කටයුතු කළ බවත් ථෙරවාද බෞද්ධ දර්ශනයේ ගුණ සුවඳින් මුළු රටම බැබළවූ බවත් ජනාධිපතිවරයා කීය.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට ඊයේ (08) එක්වෙමින් එසේ කී ජනාධිපතිවරයා සිය ප්‍රඥා මතය නිර්භයව ඉදිපත් කරමින් සමාජයට නිවැරැදි මඟ කියාදුන් ශ්‍රේෂ්ඨ පඬිරුවනක් බවද කියා සිටියයේය.
කල්‍යාණි පාර්ශවයේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ පැමිණි සිටි පිරිස පංච ශීලයේ පිහිටුවීමෙන් අනතුරුව මතක වස්ත්‍ර පූජාකිරීමද සිදු කෙරිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන මහා නායකහිමියන් අදාහන පුජොත්සව අවස්ථාවයි. මෙම අවස්ථාවේ අප කවුරුත් සංවේගයට පත් අවස්ථාවයි. රටේ පමණික් නොව ලෝකයේම ගෞරවයට පත්ව සිටි බෙල්ලන්විල විමලරතන නායකහිමියන් අපවත්වීම කනගාටුදායක කරුණක්. උන්වහන්සේ මා ඉතා සමීපව දන්නා හඳුනනවා. ථෙරවාද බෞද්ධ දර්ශනයේ ගුණ සුවඳ උන්වහන්සේ අපේ මාතෘ භූමියට පමණක් නොව ලොවට දේශනා කළා. උන්වහන්සේ විනයධර බහුශ්‍රැත මහා පඬිරුවණක් වෙනවා. උන්වහන්සේගේ වියත්බව උගත් බව නොසැලෙන බව ඍජු බව මධ්‍යස්ථබව නිසාම සමාජයේ ගෞරවයට පාත්‍ර වුණා. සමාජය හැඩගැස්වීම වගේම ආර්ථික සමාජයීය ආගමික වශයෙන් ඉදිරියට ගෙනයාමට සිය ප්‍රඥාමතය නිර්භීතව ඉදිරිපත් කළා. උන්වහන්සේට කවුරුත් ගරු කළේ මේ ඍජු බව නිසාමයි. උන්වහන්සේගේ චරිතය මහා ආදර්ශ චරිතයක්.
පූජාච පූජනීයානං- ඒතං මංගල මුත්තමං කියා බුදුරාජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. උන්වහන්සේ පිදිය යුතු චරිතයක්, ගරු කළ යුතු හිමිනමක්. උන්වහන්සේ සෑම විටම නොමියන චරිතයක්. ශ්‍රේෂ්ඨ පඬිරුවණක්. උන්වහන්සේගේ අපවත්වීම අපට දැරිය නොහැකි පාඩුවක්. සමාජය දැනුවත් කිරීම වැනි මහා ශ්‍රේෂ්ඨ යුග මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. රජය හා ලක්වැසි ජනතාව මෙන්ම ලෝකයේ උන්වහන්සේ දැනගත් සියලු දෙනා උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳ සංවේගය පළ කරනවා. රජයේ සංවේගයද පළ කරමින් උන්වහන්සේට නිවන්සුව පතනවා. තෙරුවන් සරණයි.
කල්‍යාණි පාර්ශ්වයේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ
බෙල්ලන්විල විමලරතන හිමියන් බෞද්ධ ශාසනයට මෙන්ම රටට ජාතියට කළ සේවය ඉතා අනර්ඝයි. උන්වහන්සේ කළ මෙහෙය ඉතා විශිෂ්ටයි. උන්හන්සේගේ අපවත්වීම අපට විශාල පාඩුවක් වෙනවා. එය කලක් ගත වනතුරුත් පියවා ගැනීමට නොහැකිවේවි. උගත් වියත් හිමිනමක් ලෙස බුදු දහමට මෙන්ම සමාජයට විශාල මෙහෙවරක් කළා. ඉංග්‍රීසි මෙන්ම සිංහල භාෂා ද්විත්වයෙන්ම වැඩකළ හැකි නිසා එම භාෂාවලින් ග්‍රන්ථ කිහිපයක්ම රචනා කර සාහිත්‍ය පෝෂණය කළා. උන්වහන්සේ එඩිතරව සිය අදහස් පළ කළා. සෝභිත හිමියන් බෙල්ලන්විල විමලරතන හිමියන් මෙන්ම මා ද වසර 40ක කාලයක සිට ආර්ථික සමාජයීය ආගමික වශයෙන් රට ඉදිරියට ගෙනඒමට කටයුතු කළා. උන්වහන්සේගේ අපවත්වීම දැරිය නොහැකි පාඩුවක්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා
බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත්වීම රටට ජාතියට දැරිය නොහැකි පාඩුවක්. දේශපාලන මතවාදයක් නොදැරූ උන්වහන්සේ මධ්‍යස්ථ මත ඉදිරිපත් කරමින් රට ජාතිය ආගම ඉදිරියට ගෙන ඒමට කටයුතු කළා. ඕනෑම රාජ්‍ය නායකයකුට නිර්භයව අදහස් ඉදිරිපත් කරමින් රට වෙනුවෙන් කටයුතු කළා. උන්වහන්සේගේ සේවය අප ඇගයිය යුතුයි. මා බෙල්ලන්විල විහාරය මෙන්ම උන්වහන්සේ ඇසුරු කළේ කුඩා කල සිටයි. අප තරුණ කාලයේදී මෙන්ම ජනාධිපති කාලයේදීත් උන්වහන්සේ අපට ආදර්ශ ලාබදුන්නා. අනුශාසනා ලබාදුන්නා. වැරැද්දක් දුටුවිට එය නිර්භයව ප්‍රකාශ කළා. ඒ නිසාම ජාතියේ ගෞරවයට මෙන්ම ලෝකයේ ගෞරවයට උන්වහන්සේ පත් වුණා. ජාතික ආගමික සමාජය වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටි උන්වහන්සේ සමාජයට නිවැරැදි මඟ පෙන්වුවා. සමාජය තුළ බලපෑමක් ඇති කිරීමට උන්වහන්සේට හැකිවුණා. උන්වහන්සේගේ අපවත්වීම රටට මෙන්ම ජාතියට දරාගත නොහැකි පාඩුවක්.
බෙල්ලන්විල විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි
ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අපවත් වු අවස්ථාවේ සිට බොහෝ පිරිසක් පැමිණියා. ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන මහතා පැමිණියා. විමලරතන හිමියන් මේ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියට පත් කළේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ පදවිය සම්බන්ධයෙන් සතුටින් සිටියා. එතුමා ශත වර්ෂ භාගයකට ආසන්න කාලයක් විහාරස්ථානයේ සමඟ බැඳී කටයුතු කළ. මමත් පුද්ගලිකව එතුමාට ගරු කරනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ කටයුතු මැද අද පැමිණ තිබෙනවා. එතුමා පෙර දින පැමිණි බොහෝ වේලාවක් රැදී සිටියා. ඒ වගේම අපේ නාහිමියන් සමඟ ඉතා ළඟින්ම ඇසුරු කළ කෙනෙක් මැල්කම් රංජිත් පියතුමා. එතුමත් පැමිණි සිටිනවා. සියලු ආගමික නායකයන් සමඟ මිතුරු විමේ ලක්ෂණයක් උන්වහන්සේට තිබුණි. උපකුලපතිතුමා මේ ස්ථානයට වැඩමවන්න කියලා ඉල්ලීමක් කළා. අපවත් වීම වැඩිපුර දැනෙන්නේ කෝට්ටේ සාමග්‍රී සංඝ සභාවටටයි. සරල භාෂාවෙන් ධර්මය රචනය කළ උන්වහන්සේ ජාතික සමාජයීය ආගමික ගැටලු විසඳිමට ඉදිරියන් සිටියා. උන්වහන්සේ සහ මම වසර 40 ක් මේ කටයුතුවල නිරත වුණා. සියලු දේ නැසී යන්න. දාන ශීල භාවනා පිංකම් උන්වහන්සේට අත්පත් වී අකල් මරණයක් ඇති නොවී අමා මහ නිවන් සුව අත්වේවා.
කෝට්ටේ සාමග්‍රී සංඝ සභාවේ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන්
සංඝයා වහන්සේ නමක් තුළ තිබිය යුතු ධර්ම කරුණු හතරක් බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ. මේ ලෝකය තුළ කම්මැලි නැතිව කටයුතු කිරීම, ශාසනික ජීවිතය පවත්වා ගැනීම මෙන්ම ස්වකීය ජීවිතය ඉදිරියට ගෙන යන ගමන් අවසන් ගමන් යා යුතු බව අවබෝධ කර ගත යුතු බව දේශනා කළා. බුදුන් වහන්සේ දේශනා කළා භික්ෂුවකගේ විනය හා භික්ෂුව හැසිරිය යුතු ආකායර පිළිබඳව. ඒ අයුරින්ම විමලරතන හිමියන්ගේ පැවිදි දිවිය සාර්ථකව ගත කළා. සමාජයට විය යුතු රටට විය යුතු යුතුකම් ඉටු කළා. ඒ වගේම ඉවසීමේ ගුණයකින් යුතු උන්වහන්සේ රටට ජාතිය මඟ කියා දුන්නා. උන්වහන්සේගේ අපවත්වීම දැරිය නොහැකි පාඩුවක්.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
බෙල්ලන්විල විමලරතන හිමියන් ආගමික සමගිය වෙනුවෙන් විශාල කැප කිරිමක් කළා. ශ්‍රී ලංකාව රටක් හැටියට ආගමික භක්තිය අඩුවීම නිසා අාගමික පරිහානියක්වන බව උන්වහන්සේ ගේ හා අපගේ මතයයි. මට උන්වහන්සේ මීට සතියකට පෙර හමුවූ අවස්ථාවේදීත් මේ පිළිබඳ සාකච්ඡා කළා. ආගමික භක්තිය නොමැතිකම නිසා සමාජය පරිහානියට ලක් වෙනවා. විශේෂයෙන් නව ලිබරල්වාදී ආකල්ප තරුණ පරම්පරාව පිරිහෙන ලක්ෂණයක් පෙන්නුම් කරනවා. බටහිර රටවල මෙය සිදුවෙමින් තිබෙනවා. ආගමික නැඹුරුව ඉතාම අල්ප මට්ටමකට පත් වෙලා. ඉරිදා දිනයේ අගාමික වැඩකටයුතුවලට හා දහම් අධ්‍යාපනයට මුල් තැනදීමට පාලකයන්ට අපි දැනුම් දුන්නත් එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවාද කියා ප්‍රශ්නයක් තිබෙනවා. රටක ආගමික භක්ති හීන වෙනවිට සමාජය පිරිහෙනවා. සමාජය තුළ අසහනය මතු වෙනවා. මේ වෙනුවෙන් බෙල්ලන්විල හිමියන් සමාජය දැනුම්වත් කිරිමට සියලු ආගමික නායකයන් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කළා. උන්වහන්ගේ අපවත්වීම දැරිය නොහැකි පාඩුවක් වෙනවා. උන්හන්සේට අමා මහ නිවන ලැබේවා.
මහා සංඝරත්නයේ විශාල පිරිසක්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙන්ම විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
චමීර ඇල්ලදෙණිය, සුභාෂිණි සේනානායක, බොරැලස්ගමුව සමූහ, කැස්බෑව සමූහ
ඡායාරූප
රුක්මාල් ගමගේ සහ රංජිත් අසංක

0 Comments