Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පවුලේ ආර්ථිකය ගැන සොයා බලන්න නව ඒකකයක් පිහිටුවූවා

අගමැති රනිල් වික්‍රමසිංහ

පවුලේ ආර්ථිකය පිළිබඳව සොයා බලා විසඳුම් ලබාදීම සඳහා නව ඒකකයක් පිහිට වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (8) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී පැවසීය.

පවුල් ආර්ථික ඒකකය පිහිටුවීමෙන් අනතුරුව එහි ප්‍රථම සාකච්ඡාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේදී අරලියගහ මන්දිරයේදී පැවති අතර එහිදි මාධ්‍යට ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කෙළේය. එහිදි අගමැති වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය. අලුතින් පිහිටුවන ලද පවුල් ආර්ථික ඒකකය මඟින් පවුලේ ආර්ථිකයේ ඇති වියදම, ආදායම, එය රටේ ආර්ථිකයට කෙරෙන බලපෑම මෙන්ම රටේ ආර්ථිකය පවුලේ ආර්ථිකයට බලපාන්නේ කෙසේද වැනි කරුණු පිළිබඳව මෙම ඒකකය මඟින් සොයා බලනවා.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ අලූත් ඒකකයක් ආරම්භ කරනු ලැබුවා. ඒ තමයි පවුල් ආර්ථික ඒකකය. ජාතික ආර්ථිකය පිළිබඳ තොරතුරු අප සතුව තිබෙනවා. එසේම ඒවා ක්‍රියාත්මක කරනවා. නමුත් ගෙදර ආර්ථිකය පිළිබඳ තොරතුර අප ලබාගත යුතු වෙනවා. ජීවන වියදම සලකා බැලීමේදී විශේෂයෙන්ම අපේ අවධානය යොමු වූයේ අත්‍යවශ්‍ය ආහාර පිළිබඳවයි. නමුත් අද ගෙවල්වල අත්‍යවශ්‍ය ආහාර පමණක් නොව අනෙකුත් බොහෝ වියදම් දැරීමට සිදු වෙනවා. ගමනා ගමනය, ඇඳුම් පැලඳුම්, ටියුෂන් ගාස්තු, දුරකතන ගාස්තු, නිවාස කුලී, පෙර පාසල් ගාස්තු ආදී වියදම් ගණනාවක් තිබෙනවා. සමහර පවුල්වල ආහාර පාන වියදමට වඩා මෙවැනි අංශවල වියදම ඉහළයි. ඒ නිසා පවුලේ ආර්ථිකයක තිබෙන වියදම කොපමණද? ආදායම කොපමණද? එය රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද? ඒ වගේම රටේ ආර්ථිකය පවුලේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද? ආදී වශයෙන් සොයා බැලීමට මෙම අලූත් ඒකකය කටයුතු කරනවා. ඊට සම්බන්ධ පාර්ශ්වයන්ගේ පළමු රැස්වීම අපි අද පැවැත්වූවා.

මේ රටේ ජනතාවට ජීවත්වීමට හැකි දියුණු ආර්ථිකයක් අපි සකස් කළා. ඒ වෙනුවෙන් සහන ලබා දුන්නා. ඒ වගේම අපි ඒ පිළිබඳව යළි සලකා බලනවා. ඒ අනුව මුදල් තියෙන ආකාරයට අනුව රජය ක්‍රියා කරනවා. මේ කර්තව්‍ය සඳහා පවුල් ආර්ථික ඒකකය නමැති අලූත් ඒකකය ඉතා වැදගත් වෙනවා.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අැමැති ඉරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අැමැති ආචාර්ය හර්ෂ ද සිල්වා, අගමැති ලේකම් සමන් ඒකනායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාං‍ශයේ ලේකම් කේ.ඩි.එස්. රුවන් චන්ද්‍රික, ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එච් සමරතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

ඡායාරූප- මාලන් කරුණාරත්න 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();