Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔබ ගිය මඟ මල් පිපී ඇත

ශ්‍රීපති සූරියආරච්චි මහතා 2008 පෙබරවාරි 09දා

හදිසි අනතුරකින් මිය ගියේය.

මේ අනතුර ස්වාභාවික එකක් ද,

සැලැසුම් සහගත එකක් ද යන්න ගැන

සංවාදයක් අදත් පවතී. ඔහු එවකට රටේ පැවැති දූෂණයට හා භීෂණයට එරෙහිව

ප්‍රසිද්ධියේ සටන් කළේය.

ඊට සම්බන්ධ නායකයන්ට ද අභියෝග කළේය.

ශ්‍රීපති මියගොස් අදට(09)

හරියට ම වසර දහයකි. ඔහුගේ වියෝව වෙනුවෙන් ඇමැති මංගල සමරවීර එදා ලියන ලද ලිපියක් අද අප නැවත පළකරන්නේ දූෂණයට එරෙහි සටන පණගැන්වීම සඳහාය.

මාගේ සදාදර මිතුරකු වූ ද, දේශපාලන සගයකු වූ ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ ඛේදජනක හදිසි අභාවය පිළිබඳව දැනගන්නට ලැබීමෙන් මම බලවත් සේ කම්පනයට හා ශෝකයට පත් වුනෙමි. ශ්‍රීපති මහතාගේ අභාවය මට දේශපාලන මිතුරකු හා සගයකු අහිමිවීමක් පමණක් නොවේ. එය මේ රටේ නිදහස් හා සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින සමස්ත ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයට ම සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවකි.

ශ්‍රීපති සූරියආරච්චි මහතා විවිධ ක්ෂේත්‍රයන්හි සුවිශේෂ දස්කම් විස්කම් පෑ තරුණයෙකි. දේශපාලනඥයෙකි. එමෙන්ම විශාල දේශපාලන අනාගතයකට හිමිකම් පෑ තරුණ දේශපාලනඥයෙකි. ඔහු නීතිඥයෙක් විය. පරිපාලකයෙක් විය. විවිධ ක්ෂේත්‍රයන්හි හසල දැනුමක් ඇති බුද්ධිමතෙක් විය. උගතෙක් විය. එමෙන්ම ඔහු දක්ෂ කථිකයකු හා විවාදයේදී ප්‍රතිවාදීන් දණගැස්වූ අපූරු කුසලතා ඇති විවාදකරුවෙක් විය. එසේම ඔහු මනා සංවිධායකවරයෙකු ද වූයේය. මේ සියල්ල පරිණත දේශපාලන නායකයකුට අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු ගුණාංග හා කුසලතාවන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ සියලු ගුණාංග ඔහු සතු විය.

මේ සියලු කුසලතා සහ දස්කම් සමඟ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වූයේ තරුණ අවධියේමය. 1998 සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයෙකු වූ ඔහු සිය සංවිධාන ශක්තිය මැනවින් පෙන්නුම් කිරීමට පටන් ගත්තේ වසර 2000 දී සිටය. සෘජු දේශපාලනයට සම්බන්ධ වන්නට කලින් සූරියආරච්චි මහතා සිය නීතිඥ වෘත්තිය මගින් පක්ෂයට උපරිම සේවයක් ලබා දුන්නේය. මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පක්ෂයේ කීර්ති නාමය වර්ධනය කිරීම සඳහා ඔහුගෙන් කැපී පෙනෙන සේවයක් ඉටු විය. රාජ්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයේ ද ඔහු වරින්වර බොහෝ වගකීම් ඉසිලීය.

2001 දී පරිවාස ආණ්ඩුව බිඳවැටී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජ්‍ය බලය අහිමිවීමෙන් පසුව එය නැවත ලබාගැනීම සඳහා පුරෝගාමී වූ අතලොස්සක් දෙනා අතර ශ්‍රීපති සූරියආරච්චි මහතා කැපී පෙනෙන චරිතයක් විය. එදා අප ගත කළ දේශපාලන වශයෙන් ඉතා දුෂ්කර වූ කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සෙසු ප්‍රගතිශීලී බලවේග නැවත නඟාසිටුවීම සඳහා ඔහු විසින් ඉටුකළ මෙහෙවර අතිමහත්ය. පක්ෂයේ මතවාදය ජනතාව අතර තහවුරු කරලීම සඳහා ඔහු "ලක්මිණ" නමින් සති අන්ත ජාතික පුවත්පතක් ද ප්‍රකාශයට පත් කළේය.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැඟීමේ පුරෝගාමියෙක් විය. ඉන්පසු 2004 දී රාජ්‍ය බලය නැවත ලබාගැනීම සඳහාත් ගෙන ගිය අරගලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට ශක්තිය හා ධෛර්යය ලබාදෙමින් සමීපව සිටි කිහිපදෙනා අතර ශ්‍රීපති සූරියආරච්චි මහතා ද ප්‍රබල චරිතයක් විය.

ශ්‍රීලනිප - ජවිපෙ සන්ධානය ගොඩනැඟීමට සිදුකරන ලද සම්බන්ධීකරණ කටයුතුවලදීත්, ඊට අදාළ ගිවිසුම සකස් කිරීමේදීත්, ශ්‍රීපතිගෙන් විශාල දායකත්වයක් ලැබිණ. එක්සත් ජනතා නිදහස් සන්ධානය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා එහි ව්‍යවස්ථාව පවා කෙටුම්පත් කරනු ලැබුවේ ඔහු විසිනි. වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මුලින් අග්‍රාමාත්‍ය තනතුරට පත්වීමටත් ඉන්පසුව ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමට මඟපෑදුණේ 2004 වසරේදීය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ එම ඓතිහාසික ජයග්‍රහණය පිටුපස සිටි අතලොස්සක් දෙනා අතර ශ්‍රීපති සූරියආරච්චි ද වූ බව අමතක කළ නොහැක.

කැලණියේ ශ්‍රීලනිප සංවිධායකවරයා වශයෙන් ද පසුව ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ද නියෝජ්‍ය ඇමැතිවරයෙකු හා අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ ශ්‍රීපති සූරියආරච්චි මහතා 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට තෝරා පත්කර ගැනීම සඳහා ගෙන ගිය එම සටනේ අභීත සෙන්පතිවරයෙක් විය. ජනතා විමුක්ති පෙරමු‍ණ හා ජාතික හෙළ උරුමය ඇතුළු සියලු බලවේග මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා එක්රොක් කිරීමට ඔහු දැඩි වෙහෙස මහන්සියක් දැරීය. ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ මාධ්‍ය මෙහෙයුම පිටුපසින් සිටි පුරෝගාමීන් අතර ඔහු පුරෝගාමියෙක් විය. ඇත්ත වශයෙන් ම, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමට ක්‍රියාකළ ජනාධිපතිවරණ මෙහෙයුමේ පුරෝගාමි සෙන්පතියන් 05 දෙනා අතර සූරියආරච්චි මහතා ද විය. මේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු තුළ වූයේ විස්මයජනක කැපවීමකි. ඇතැම් විට ජයග්‍රාහී ඉලක්කය කරා සෙසු අයද ඇදගෙන යාමේ අපූරු ආකර්ෂණ බලයක් ද ඔහු තුළ විය.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව එම ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීම සඳහා පුරෝගාමී වූ පිරිස අතර සූරියආරච්චි මහතා සිටියේය. ජනාධිපතිවරයාගේ ගමන නිවැරදි මාවතට යොමු කිරීම ඔහුගේ එකම අරමුණ විය.

මේ වෙනුවෙන් ඇතැම් විට විශාල කැපකිරීම් කිරීමට ඔහුට සිදු වූ අන්දම අපට මතකය. අමාත්‍ය ධුර සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් මතු වූ විට ඔහු වරක් සිය කැමැත්තෙන්ම එක් අමාත්‍ය ධුරයකින් ඉවත් විය. මහින්ද චින්තනයේ ඇතුළත් පොරොන්දු ඉටු කිරීම සඳහා ඔහු මහත් වෙහෙසක් දැරීය. අමාත්‍යවරයෙකු වශයෙන් තරුණ පරපුරේ කුසලතා වර්ධනය කිරීමටත් ඔවුන්ට රැකියා අවස්ථා ලබාදීමටත් සූරියආරච්චි මහතා අමාත්‍යවරයෙකු ලෙස නිර්මාණශීලී වැඩ කොටසක් ඉටු කළේය.

සූරියආරච්චි මහතා මාරාන්තික තර්ජනවලට මුහුණ දුන්නේ ඔහු අමාත්‍ය ධුරය දරමින් සිටියදීය. වරක් ඔහු ඉලක්ක කර ගනිමින් ඔහු ගමන් ගත් මාර්ගයේ බෝම්බ අටවා තිබූ බව වාර්තා විය. ඒවා කවුරුන් විසින් සිදුකළ ඒවාද යන්න අදටත් පැහැදිලි නැත. කල් යාමේදී දේශපාලන මතභේද වර්ධනය වූ බව සැබෑය. එහෙත් පක්ෂය හෝ රජය හැර යාමේ අරමුණක් ඔහු තුළ නොවීය. කෙසේ වෙතත් හදිසියේම දිනක එනම් 2007 පෙබරවාරි 09 වැනිදා ‍මම සහ අනුර බණ්ඩාරනායක ඇමැතිතුමා සමඟ ඔහු ද තනතුරෙන් ජනාධිපතිවරයා විසින් පහකරනු ලැබුවෙමු. ඊට හේතු වූයේ සූරියආරච්චි මහතා ඒ වන විටත් රජය තුළ පැවති බොහෝ දූෂණ ක්‍රියා පක්ෂය තුළ හෙළිදරව් කිරීමට පටන්ගෙන තිබූ නිසාය.

අමාත්‍ය ධුරයෙන් නෙරපා දැමූ පසු ඔහුගේ කට වැසිය හැකි යැයි බලධාරීන් කල්පනා කළ ද සිදුවූයේ අනෙකකි. ඔහු ඉතාමත් නිර්භීත ලෙස බොහෝ දූෂණ ක්‍රියා හෙළිදරව් කිරීමට පටන් ගත්තේය. ජනාධිපතිවරණ සමයේ දී එල්ටීටීඊය හා මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ ඇතැමුන් අතර සිදු වූ බව කියන රහස් ගනුදෙනු ඔහු හෙළිදරව් කළේය. ඔහු ඒ ගැන කියන්නට නොබියව අල්ලස් කොමිසම හමුවට ගියේය. තම චෝදනා ඔප්පු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා සිටියේය. එහෙත් ඒ කිසිවකට ප්‍රතිචාරයක් ලැබුණේ නැත. කුප්‍රකට ටෙලිකොම් ගනුදෙනුවක් හරහා හොර රහසේ උපයා ගන්නට සැලසුම් කොට තිබූ වැඩපිළිවෙළක් ව්‍යාර්ථ වූයේ සූරියආරච්චි මහතා ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නීතියෙන් ජයග්‍රහණයක් ලබා ගත් නිසාය.

අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වය හා එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් තැබීමටත් පසුව ජාතික සභාව ගොඩනැඟීමටත් සූරියආරච්චි මහතා පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කළේය. පසුගිය කාලය තුළ ජාතික සභාව මගින් සංවිධාන කෙරුණු ජනරළ රැස්වීම් මාලාවේ මුල්පෙළේ කථිකයෙකු වූයේ සූරියආරච්චි මහතාය. ජාතික සභාවේ සෑම ප්‍රධාන පෙළේ කටයුත්තකටම ඔහු සම්බන්ධ විය. ඔහු හෙළිකළ දූෂණ ක්‍රියා පාලකයන්ට හිසරදයක් විය. දේශපාලන සහ අවංකත්වය සමඟ මුසු වූ නීති විශාරද දැනුම ඉවසා දරාගැනීමට ඔවුනට පුළුවන්කමක් නොවීය. මේ නිසා මහින්ද රාජපක්ෂ රජයට විරුද්ධව එළිපිට කතා කළ දේශපාලනඥයන් අතළොස්සක් දෙනා අතර සූරියආරච්චි මහතා ඉදිරියෙන්ම සිටියේය. පසුගිය කාලය තුළදී එවැනි පුරෝගාමී විපක්ෂ දේශපාලන නායකයන් ගණනාවක් ම අපට අහිමි විය. කුමන හේතුවක් නිසා හෝ ඔවුන් තම ජීවිතවලින් සමුගැනීම නිසා තමන්ගේ කරදර හිරිහැර අඩුවනු ඇතැයි පාලකයන් කල්පනා කරනවා විය හැකිය.

එහෙත් ලෝක ඉතිහාසයේ කිසි දිනෙක එවැනි තත්ත්වයක් උදා වී නැත. වීරයන් අහිමි වූ පමණින් ඔවුන් ආරම්භ කළ ව්‍යාපාර වැනසී යන්නේ නැත. සූරියආරච්චි මහතා කැප වී සිටි දූෂණය හා භීෂණයට එරෙහි වූ අරගලය ඉදිරියට ගෙන යාමට කැප වී සිටින පිරිස් බොහෝ වෙති. ශ්‍රීපති සූරියආරච්චි මහතාට පිදිය හැකි ‍ලොකුම උපහාරය වන්නේ ද ඔහු ඉතාමත් නිර්භීත ලෙස හා ඉතා අවංක ලෙස හා කැපවීමෙන් යුතුව මෙහෙය වූ දූෂණයට, භීෂණයට හා ඒකාධිපතිත්වයක අනතුරට එරෙහිව සටන ඉදිරියට ගෙන යාමයි. සූරියආරච්චි මහතා පැතූ ඒ නිදහස් වූත්, සාධාරණ වූත්, ප්‍රජාතන්ත්‍රවාදී වූත් ලෝකය ශ්‍රී ලංකාවාසීන්ට උදාකර දීම සඳහා පෞද්ගලිකව මාද ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පකෂයේ මහජන පාර්ශ්වයත් එම පාර්ශ්වය සමඟ සන්ධාන ගතවීමෙන් බිහි වී ඇති ජාතික සභාවත් අධිෂ්ඨානශීලීව හා නොබියව ක්‍රියාකරන බව ශ්‍රීපති සූරියආරච්චි මහතා‍ගේ දේහය ඉදිරියේ අපි ප්‍රතිඥා දෙමු.

අවසාන වශයෙන් ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ හදිසි අභාවය නිසා බලවත් කම්පාවට හා ශෝකයට පත් වී සිටින එතුමාගේ බිරිය හා දූ දරුන්ටත් පවුලේ ඥාති මිත්‍රාදීන්ටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ සාතිශය සංවේගය පළකර සිටිමු. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();