අපවත් වී වදාල බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමිගේ ආදාහන පූජෝත්සවය අති විශාල ජනතාවකගේ සෝ සුසුම් මධ්‍ය යේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8) පස්වරුවේ සිදු කෙරිණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරිණි. ශ්‍රී දේහය රැගත් පෙරහැර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිට බොරලැස්ගමුව හන්දියෙන් රත්තනපිටිය හන්දියට පැමිණ රත්තනපිටිය හන්දියෙන් විශ්වවිද්‍යාල මාවත ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණියේය. උන් වහන්සේගේ ශ්‍රී දේහයට ගුවනින් මල් ඉසිමින් ගෞරවය පුද කළහ.
දෙපස මාර්ගය පුරා කහ පැහැති වර්ණයෙන් ධජ ඔසවා විමලරත්න හිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාව පෙළ ගැසී සිටි අතර, සැදැහැවතුන් දේහය සහිත රන්සිවිගෙයට මලින් පුද දීමට ද අමතක කළේ නැත.
මහා නායකහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය, බෞද්ධ මෙන්ම අන්‍යාගමික පූජකවරුන් , ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන නායකයින් ඇතුළු විශාල ජනතාවකගේ සෝ සුසුම් මැද බෙල්ලන්විල විමලරතන හිමියෝ දැයෙන් සමගත්හ.
මෙරටෙහි සිදුකෙරෙන සියලුම ජාතික හා අන්තර්ජාතික මට්ටමේ වැඩසටහන් වලදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ ශාසනික වශයෙන් විශාල යුග මෙහෙවරක් සිදුකර තිබේ.
1942 වර්ෂයේ උපත ලැබූ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් 1956 වර්ෂයේදී පැවිදි දිවියට පත් විය.
පෑලියගොඩ විද්‍යාලංකාර හා දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙන් වලින් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාත්‍රවේදී උපාධියක්ද, විදයෝදය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාත්‍රවේදී උපාධියක් ද ලබාගත්තේය.
එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් දර්ශන විශාරද උපාධියත් හිමිකරගත් පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැපිලියාන සුනේත්ත්‍රාදේවි විද්‍යායතන පිරිවෙනෙන් ගුරු වෘත්තියට පිවිස රත්මලාන පරම ධම්මචේතිය පිරිවේනේ පරිවේනාධිපති ධුරයත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය ධුරයත් උසුලනු ලැබීය.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේඛකාධිකාරී වශයෙන් කටයුතු කරමින් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දුන් උන් වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරයෙන්ද පිදුම් ලැබීය.
මේ අතර මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් බෙල්ලන්විල, රත්නපිටිය සහ විජේරාම අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබිණි.
චමීර ඇල්ලදෙණිය

0 Comments