පොළොන්නරුව, ලක්ෂඋයන ගම් පියස මැදින් ගලාවිත් සෝමාවතිය ප්‍රදේශයෙන් මහවැලි ගඟට ගලා බසින කුඹුක්කන්ආරුව හරහා ඉදිවූ නව පාලම පෙරේදා (07) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
දෙස් විදෙස් වාරි ඉංජිනේරුවන් විසින් කරවන ලද ජල පැන්නුමක් වන පැරැණි ගිනිපෙට්ටි පාලම අබලන් වීම හේතුවෙන් ඊට විකල්පයක් ලෙස ඒ ආසන්නයේ මේ නව පාලම ඉදිකෙරිණි.
ගොවි ජනපද ආරම්භයේ ඉදිකරන ලද ගිනිපෙට්ටි පාලම දිනෙන් දින අබලන් තත්ත්වයට පත්වෙද් දී එය සංරක්ෂණය සඳහා කාලය එළැඹියේ දැනට වසර ගණනාවකට පෙරාතුවය. එහෙත් ඒ ආසන්නයේ විකල්ප පාලමක් ඉදිවීමේ යෝජනා උපන්ගෙයිම මියැදුණු අවස්ථා බොහෝ වූ අතර, එම ජනතා සිහිනය
යථාර්ථයක් බවට පත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කරන ලද පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේය.
ඒ අනුව පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 1331ක් වැය කරමින් නව පාලම ඉදිකෙරිණි.
අවට ගම් රැසක් යා කරමින් ඉතා දර්ශනීය ලෙස ඉදිකර ඇති මේ පාලම (07) පෙරවරුවේ ජනතා අයිතියට පත්කෙරුණේ කිසිදු ආරාධිත අමුත්තකු නොමැති චාම් උත්සවයක දී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ප්‍රදේශයේ දරු දැරියන් පිරිසක් අතින්වීම ද විශේෂත්වයකි.
ඊයේ පස්වරුවේ එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා ප්‍රදේශවාසීන් සමඟ සුහද කථා බහක නිරත විය.
පොළොන්නරුව සේවා මුක්ත කඳවුර මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති කොස්සින්නේ පියරතන නායක ස්වාමීන් වහන්සේ ද එම අවස්ථාවට වැඩම කර සිටියහ.
මේ අතර පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ 53 වැනි සංවත්සරය නිමිත්තෙන් එම විද්‍යාලයේ දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවැති පෙරහැර නැරැඹීමට ද ජනාධිපතිවරයා ඊයේ (08) පෙරවරුවේ එක්විය.
පොළොන්නරුව නව නගරයේ සිට රාජකීය විද්‍යාලය දක්වා මේ පෙරහැර ගමන් කළ අතර, විද්‍යාලයේ විදුහල්පති රවිලාල් විජේවංශ මහතා ඇතුළු ගුරු භවතුන් හා සිසු දරු දැරියන් මීට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
කපිල ආරියවංශ

0 Comments