Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මානව සම්පත් අවශ්‍යතාවලට සරිලන විෂයයන් හැදෑරීමේ වැඩපිළිවෙළක් සකසනවා

අනාගත මානව සම්පත් අවශ්‍යතාව නිසි පරිදි හඳුනාගෙන ඊට ගැළපෙන විෂයයන් හැදෑරීමට සිසුන් යොමු කිරීම සඳහා සියලු අධ්‍යයන ආයතන ඒකාබද්ධ කර ගනිමින් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම සංවර්ධනය කරගැනීම මෙන් ම වෘත්තීය සුදුසුකමක් ලබාගැනීම ද සිදු විය යුතු බව අවධාරණය කරන ඇමැතිවරයා, ඒ සඳහා අ.පො.ස. (උසස් පෙළ) සඳහා නව ප්‍රායෝගික විෂයයන් 26ක් හඳුන්වා දී ඇති බව ද සඳහන් කරයි.

ඇමැතිවරයා මේ මේ බව පැවැසුවේ 2017 සමස්ත ලංකා පාසල් නර්තන තරගයේ සම්මාන ප්‍රදානය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පසුගිය දා (24) පැවැති උත්සවයේදී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"මේ වන විට ගණිතය, විද්‍යාව, තාක්ෂණය, ඉංග්‍රීසි වැනි විෂයයන් උගන්වන ගුරුවරුන්ට ලබා දෙන විදේශ පුහුණු අවස්ථා ඉදිරියේ දී සෞන්දර්යය විෂය ගුරුවරුන්ට ද ලබාදීමට අවශ්‍ය පියවර ගන්නවා."

2017 සමස්ත ලංකා පාසල් නර්තන තරගයේ ජයග්‍රාහී සිසු දරුවන් 120 දෙනකු වෙත සහතික පත් ලබා දීම අධ්‍යාපන ඇමැතිවරයා අතින් සිදු වූ අතර, සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය සාර්ථක කරගැනීම වෙනුවෙන් දායක වූ ප්‍රවීණ කලාකරුවන්, නර්තන විෂය භාර අධ්‍යක්ෂවරුන්ගේ සේවය ඇගයීම ද සිදු කෙරිණි.

මේ නර්තන තරගාවලියේ දී දේශීය සම්ප්‍රදායන්ට අයත් උඩරට, පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන් ද, විදේශීය සම්ප්‍රදායන්ට අයත් වන භරත, කතක් වැනි සම්ප්‍රදායන් ද, දරුවන්ගේ සුවිශේෂ නිර්මාණ හැකියා ඇගයීම වෙනුවෙන් නව නර්තන නිර්මාණ ද ඇගයීමට ලක් කෙරිණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද, සම්මානනීය නර්තන ශිල්පිනී රැජිණි සෙල්වනායගම් මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();