Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහල් 60ක ගොඩනැගිලි 3ක් ඉදි කිරීමට පියවර ගන්නවා

Author(s): 
චමීර ඇල්ලදෙණිය

අමෙරිකානු ඩොලර් බිලියන එකක වියදමින් මහල් 60කින් සමන්විත ගොඩනැඟිලි තුනක් ලබන ජූලි මාසයේ දී මූල්‍ය නගරයේ ඉදිකිරීමට පියවර ගන්නා බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ දී පෙරේදා (25) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"මේ වන විටත් මූල්‍ය නගරයේ ගොඩනැඟිලි ඉදිකිරිමට වන පරිසර හා ශක්‍යතා වාර්තා ලබාගෙන තිබෙනවා. කොළඹ මූල්‍ය නගරයේ ඉඩම් අයිතිය ශ්‍රී ලංකා රජය සතු ඉඩමක් ලෙස ලබන මාර්තු මාසයේ දී ගැසට් කිරිමට නියමිතයි. ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරනවා. පසුව එය අනූනව බදු ක්‍රමය යටතේ චීන හාබර් සමාගමට පැවරීමට කටයුතු කරනවා. අනතුරුව ලබන ජූනි මාසයේ දී චීන හාබර් ආයතනය විසින් පළමු ගොඩනැඟිලි ඉදිකිරිම් සිදු කිරිමට නියමිතයි. ලබන වසර වන විට හෙක්ටෙයාර් 269 ගොඩ කර අවසන් කරනවා. එයින් හෙක්ටෙයාර් 20ක පළමු ඉදිකිරීම් සිදු කිරීමට නියමිතයි.

මේ නව මූල්‍ය නගරයට සුවිශේෂී පාලන තන්ත්‍රයක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. බදු අයකිරීම හා පරිපාලනය පැත්ත අඩංගු නීතිමය ලියැවිල්ලක් සකස් කරමින් තිබෙනවා. එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ලෝකය පුරා තිබෙන මූල්‍ය ආයතනවල තමන්ගේ මූලස්ථාන ලංකාවේ පිහිටුවීම අපේ ඉලක්කයයි. මෙහි අභ්‍යන්තර ප්‍රවාහනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී හරිත ප්‍රවාහනවලට මුල්තැන දෙනවා. පා ගමනින් යෑමට, බයිසිකලයෙන් හා පොදු ප්‍රවාහනවලට මුල් තැන දෙනවා. පුද්ගලික මෝටර් රථවලට ප්‍රමුඛතාව ලැබෙන්නේ අවසානයටයි. වරාය චෛත්‍ය පාර හරහා පෑලියගොඩට ගුවන් පාලමක් ඇති කිරිමට අපි දැනට සැලසුම් කර තිබෙනවා. එය අධිවේගී මාර්ගයට පිවිසුමක් වෙනවා. ඉන් පසුව ගොල්ෆේස් අසල මුහුද යටින් දිවෙන මාර්ගය හරහා කොල්ලුපිටිය දක්වා මුදුහුබඩ මාර්ගයක් ඇති කිරිමට බලාපොරොත්තු වෙනවා. භූගත මුහුදු මාර්ගය හරහාත් මූල්‍ය නගරයට ඇතුළු විය හැකියි. මේ සඳහා සම්පූර්ණ ආයෝජනය චින හාබර් සමාගම විසින් සිදු කරනවා.

මේ ඉඩමේ කොටස් තුනක් තිබෙනවා. එනම් රජයට අයත් හෙක්ටෙයාර් හැටක ප්‍රමාණය, පොදු ජනතාවට තිබෙන හෙක්ටෙයාර් අනූවක ප්‍රමාණය, චීනයට බදු දෙන හෙක්ටෙයාර් 110ක කොටස ලෙසයි. පොදු ජනතාවට ඉන්න පුළුවන් උද්‍යානයක් පවා ඉදි වෙනවා. පසුගිය රජය විසින් කාර් රේස් පැවැත්වීමට තිබූ තැන මේ උද්‍යානය සකස් කරනවා. ඊට අදාළ පස ලෙස කොළඹ නගරයේ දිරාපත් වන කාබනික පස් පමණක් යොදා ගන්නවා. ඒ නිසා මෙය කොළඹින් බිහිවෙන උද්‍යානයක් වෙනවා. ගෝල්ෆේස් එකත් තවත් පුළුල් වෙනවා.

පසුගිය වසරේ ආයෝජනවලින් සියයට 46ක් ගෙනැවිත් තිබෙන්නේ අපේ අමාත්‍යාංශය හරහා. ආර්ථික වර්ධනය ලබා ගත් සියයට හතරෙන් සියයට එකක් ලබා දී තිබෙන්නේ අපේ අමාත්‍යාංශයෙන්. මේවා රජයේ ආයෝජන නොවෙයි. ඒ නිසා රුපියල ශක්තිමත් වෙනවා. ඒ නිසා ජනතාවට විශාල ප්‍රතිලාභ හිමි වෙනවා. මෙයින් රැකියා 80,000ක් පමණ නිර්මාණය වේවි."

ඡායාරූපය - වාසිත පටබැඳිගේ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();