වසර 17ක් තිස්සේ නොසලකා හැර තිබූ ව්‍යාපෘතියක් මාස තුනක් වැනි ඉතා කෙටි කාලයක දී අවසන් කර එහි මෙහෙයුම් ද ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පෙරේදා (25) සමත් විය. ඒ අනුව අභිනවයෙන් ඉදි වූ ගුවන් යානා ඉන්ධන පැටවීම සඳහා අත්‍යවශ්‍ය වූ කොලොන්නාව නිමාවේ ස්ථාපිත කරන ලද පෙරහන් පද්ධතිය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා විසින් විවෘත කරනු ලැබීය.
එම පද්ධතිය විවෘත කළ අවස්ථාවේ දී උත්සව සභාව අමතමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පැවැසුවේ මේ පෙරහන් පද්ධතිය ස්ථාපිත කිරීම හේතුවෙන් එක් ගුවන් යානා ඉන්ධන නෞකාවකින් ලංකාවට ඉතිරි වන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 2-3ත් අතර ප්‍රමාණයක් වන බවයි.
නව පෙරහන් පද්ධතිය ස්ථාපිත කිරීම හේතුවෙන් ගුවන් යානා ඉන්ධන සම්බන්ධයෙන් ජේ.අයි.ජී. ආයතනය විසින් මේ වන විට ශ්‍රී ලංකාවට ලබා දී ඇති හොඳයි යන සහතිකය විශිෂ්ට සහතිකය දක්වා ඉහළ නැංවෙනු ඇතැයි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පැවැසීය.
අන්තර්ජාතිකව පිළි ගත් ආයතනයක් වන ජොයින්ට් ඉන්ස්පෙක්ෂන් ගෲප් (JIG) හි මූලික කාර්ය භාරය වන්නේ ගුවන් යානා ඉන්ධන පිරවීමේ දී සම්මත ක්‍රමවේද සහ තත්ත්ව පරීක්ෂණ නිසි ලෙස සිදු වන්නේ දැයි තහවුරු කිරීමයි. ගුවන් යානා ඉන්ධන පැටවීමේ දී පෙරහන් පද්ධතියක් අත්‍යවශ්‍ය බවට එම ආයතනය විසින් මෙරටට අවස්ථා කිහිපයකදීම නිර්දේශ කර තිබිණ. එම නිර්දේශ මත 2001 වර්ෂයේ දී කොලොන්නාව නිමාවෙහි ගුවන් යානා ඉන්ධන පෙරහන් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මූලික ලිපි ලේඛන සැකසුන නමුත් 2017 ජුනි මාසය වන තෙක්ම එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූයේ නැත.
පෙරේදා (25) විවෘත කරන ලද පෙරහන් පද්ධතිය කොලොන්නාව නිමාවෙහි ස්ථාපිත කෙරුණේ සම්පූර්ණයෙන්ම ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණ දැනුමෙනි. ඉලක්ක ගත කාලයට වඩා දින කිහිපයකට පෙර එම පද්ධතිය ස්ථාපිත කිරීමට ද ඔවුන්ට හැකි වූ අතර එම පද්ධතියට සමගාමීව පැයට කියුබික් මීටර් 136ක ධාරිතාවෙන් යුත් පොම්ප දෙකක් ද සවි කෙරිණ. මෙතෙක් කොලොන්නාව නිමාවේ තිබුණේ පැයට කියුබික් මීටර් 114ක පොම්පයකුත්, පැයට කියුබික් මීටර් 60ක පොම්පයකුත්, පැයට කියුබික් මීටර් 50ක පොම්පයකුත් පමණි. කෙසේ නමුත් පෙරේදා සවි කළ පැයට කියුබික් 136ක ධාරිතාවෙන් යුත් පොම්ප දෙක හේතුවෙන් පෙර පැවැති පිරවීම් වේගයට වඩා වැඩි වේගයකින් පිරවීම් කළ හැකි බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම අනාවරණය කරයි.
ක්‍රිසන්ති විතාරණ

0 Comments