Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මඟනැඟුම උපදේශන සහ ව්‍යාපෘති කළමනාකරණ සමාගම සේවා සැපයීමෙන් පෙරමුණේ

Author(s): 
අනුර ප්‍රේමලාල්

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමත්‍යාංශය යටතේ පාලනය වන මඟනැඟුම උපදේශන සහ ව්‍යාපෘති කළමනාකරණ සේවා පුද්ගලික සමාගම වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ඉකුත් වසර තුනේ දී රුපියල් කෝටි විස්සක පමණ ලාභයක් ලබමින් මාර්ග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඕනෑම පෞද්ගලික ආයතනයක් සමඟ තරග කරමින් සේවා සපයන්න පෙරමුණ ගෙන සිටින බව එහි ප්‍රගතිය පිළිබඳ පැවැති සමාලෝචන රැස්වීමක දී කරුණු අනාවරණය විය. එහි දී ප්‍රකාශයට පත් කෙරුණු කරුණු යොදා ගනිමින් සකස් වන ලිපියකි.

මාර්ග සංවර්ධන අධිකාරියෙන් ක්‍රියාත්මක වන මඟනැඟුම උපදේශන සහ ව්‍යාපෘති කළමනාකරණ සේවා පුද්ගලික සමාගම උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මඟ පෙන්වීම මත සිදු වන්නකි. දක්ෂ සභාපතිවරයකු වන ජනක හේරත් මහතා එම ආයතනයට පත් කිරීමෙන් පසු ඉදිරි දැක්මක් ඇති නව ප්‍රබෝධයක් එම ආයතනයට ලැබී තිබේ. මුලින්ම සේවකයන් සමඟ සාකච්ඡා කරමින් ඉකුත් රජය සමයේ බලවතුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට යටත් කොට තිබු මේ ආයතනය එයින් මුදා ගන්නා ලදි පසුව සේවක හැකියා දැනුම භාවිත කරමින් මේ ආයතනයට අයත් ගම්පොල හා මහියංගණයේ පිහිටි වල් වැඳී තිබු කෝල් මික්ස් පෙරමුණු යන්ත්‍රාගාර නීරීක්ෂණය කොට ඒවා යළි පණගන්වමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ නව ලොව දැනුම සහිත දායකත්වය ලබාදීමට යෝධ පියවරක් ගෙන තිබේ. 2015 ඔක්තෝම්බර් මාසය වෙන තෙක්ම මඟනැඟුම උපදේශන සහ ව්‍යාපෘති කළමනාකරණ සේවා පුද්ගලික සමාගම මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන්ගේ හිතවතුන්ට ටෙන්ඩර් ලබාදෙන ආයතනයක් විය. සේවකයන්ට නිසි කාර්යාලයක් හා ඔවුන්ට පැවරෙන රාජකාරියක් නොමැතිව සිටි එම සේවක පිරිස ද නිසි කළමනාකාරිත්වයක්, ඉදිරි ගමනක් ගැන විශ්වාසයක් නැති ශෝචනීය අඳුරු කාලයක් පසු කරමිනි.

මේ සියලු ගැටලු හඳුනාගෙන එම සුවිශාල අභියෝගයට මුහුණදීමට ඉදිරිපත් වු මඟනැඟුම උපදේශන සහ ව්‍යාපෘති කළමනාකරණ සේවා පුද්ගලික සමාගමේ වත්මන් සභාපති ජනක හේරත් මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

"මඟනැඟුම යටතේ ආයතන තුනක් ඉකුත් රජය සමයේ ආරම්භ කර තිබෙනවා. ඉන් එකක් අපේ ආයතනය. අනෙක් දෙකම දැන් මේ ආයතනය මෙන්ම අබලන් වී තිබෙනවා. නමුත් මේ ආයතනයට අනාගතයක් හා ඉදිරි දැක්මක් ඇතිව පෞද්ගලික අංශයේ ආයතනත් සමඟ රජයේ ආයතනයක් ලෙස තරග කරන්නේ කෙසේද යන්න ආදර්ශයෙන් අපි ලබා දී තිබෙනවා. ඒ නිසාම මේ වන විට රුපියල් කෝටි විස්සකට අධික මුදලක ලාභයක් ඉපැයීමට හැකි වී තිබෙනවා. මේ ආයතනයෙන් මාර්ග සංවර්ධනය, උපදේශනය, අදාළ ද්‍රව්‍ය සැපයීම සිදු කරනවා. එදා ඉල්ලුමට සේවා සැපයු මේ ආයතනය දැන් එම ස්ථාන වෙත ගොස් ව්‍යාපෘති ලබා ගන්නවා. අපේ ගම්පොල යන්ත්‍රාගාරයේ අපද්‍රව්‍ය මුදා හැරීමේ විශාල ගැටලු මතු වී තිබුණා. පසුව මේ ආයතනය වෙත පරිසර හිතකාමී හරිත ක්‍රමවේදය හඳුන්වා දෙමින් සියලු නිෂ්පාදන පරිසරය ආරක්ෂා වන අයුරින් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. 2015 දී මා පැමිණෙද්දී සේවකයන් හතළිස් පස් දෙනකු සිටියා. ඒ අයට මාස හයක වැටුප් ගෙවීමට පමණක් මුදල් තිබුණා. පසුව වෙනත් ආයතනවලට ගෙවීමට හිඟ තිබු රුපියල් මිලියන එකසිය අනු දෙකක් ගෙවීමට කටයුතු කළා. කොළඹ කාර්යාලයේ යට මහලේ ඉකුත් රජය සමයේ ආනයනය කොට කිසිම වැඩකට නොගෙන තිබු පරීක්ෂණාගාර උපකරණ තිබුණා. රුපියල් ලක්ෂ පන්සියයක ඒවා යොදාගෙන ගම්පොල අටබාගේ අපි පරීක්ෂණාගාරයක් ඉදිකොට දැන් හොඳින් වැඩ කෙරෙනවා. එමෙන්ම ග්‍රාමීය පුනර්ජීව වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග ඉදිකිරීමට ලාභදායි ක්‍රමය තමයි කෝල්මික්ස් ක්‍රමය. එහි දී ඕනෑම පැච් එකක් වුණත් ඉතාම පහසුවෙන් පිළිසකර කර ගත හැකියි. හොට්මික්ස් යාන්ත්‍රික වැඩිබ්ම් හතර ද අපි ඉල්ලා සිටිනවා. අක්‍රීය තත්ත්වයේ තිබෙන මේ වැඩබිම් තම සමාගමට ලබාදුන්නොත් ඒ ශ්‍රේණියේ මාර්ග ද රටට දැනට වඩා ලාභදායි ලෙස ඉදි කිරීමට කටයුතු කරනවා.

කැලෑ වැඳී තිබු ගම්පොල හා මහියංගණය යන්ත්‍රාගාර සේවකයන් සිටියේ ටකරන් මඩුවල. ආහාර ගන්න ස්ථානයක් නෑ. ඒ තත්ත්ව නැති කොට එම ස්ථාන හොඳින් පිළිසකර කොට අරක්කැමියෙක් යොදවා කෑම දෙන වැඩපිළිවෙළක් ඇති කළා. සේවකයන්ගේ දැනුම වැඩි කිරීමට පියවර ගත්තා. මම සේවකයන්ගෙන් ඉල්ලුවේ උනන්දුව හා කැපවීම පමණයි. 2016 දී වැඩිම ලාභය ලැබුවා. ඒ රුපියල් මිලියන එකසිය දාහතක්. මහියංගණය යන්ත්‍රාගාරය තියෙන්නේ කැලෑවක විදුලියවත් නෑ. ක්‍රියා කරන්නේ විදුලි උත්පාදක යන්ත්‍රයකින්. ගම්පොල හා මහියංගණයේ යන්ත්‍රාගාරවල අපද්‍රව්‍ය ජලය යළි ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට රුපියල් ලක්ෂ දහයක් වියදම් කොට පිරිපහදු ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. මින් පරිසරය ද සුරැකෙන අතර අපි යම් මුදලක් ද උපයනවා. වසර පහළොවක් වල් වැඳී තිබු ගම්පොල යන්ත්‍රාගාරය අපි වසර තුනෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න දායකත්වය ලබා දෙනවා. මේ යන්ත්‍රාගාර පිහිටි භූමිවල අපි ඔසු උයන් සකස් කර තිබෙනවා. මහියංගණයේ අපි වැව් තුනක් ඉදි කිරීමට පියවර ගෙන තිබෙනවා. රාජකාරි කටයුතු නැති අවස්ථාවල දී මේ භූමිවල පළතුරු, එළවළු වගා කරනවා.

අපි කරන රැකියාව අමරුවෙන් කරන්නේ හරි මඟ යන්න ඕනේ නිසා. නැත්නම් කලින් අය වගේ මගේ වැඩක් බලාගෙන රැකියාව පහසුවෙන් කරන්න තිබුණා. මගේ එකම තරගය වුණේ රාජ්‍ය ආයතනයක් වුණත් නිසි කළමනාකරණයකින් යුතුව ක්‍රියා කළොත් පෞද්ගලික අංශයත් සමඟ තරඟ කළ හැකි ආයතනයක් කරන්න. මේ වසරට අපි ව්‍යාපෘති දොළහක් කරන්න කටයුතු යොදා තිබෙනවා. අපේ සියලු ආයතන වෙත සූර්ය බල ශක්තිය හඳුන්වා දෙන්න කටයුතු කරනවා. මාර්ග සංවර්ධන අධිකාරියෙන් අපි ලබා ගත් කුණඩසාලේ කර්මාන්තශාලාව පවත්වන ස්ථානය දැනට පාඩු ලබනවා. එය අපි භාරගෙන මාස හයක දී ලාභ ලබන තත්ත්වයට පත් කරන්න කටයුතු යොදනවා. මේ මඟින් රථවාහන අලුත්වැඩියා කරන්න හැකියි. අපි සියලු සැපයුම්කරුවන්ගේ ගෙවීම් මාස තුනෙන් ගෙවීමටත්, සෑම කටයුත්තකටම සැපයුම්කරුවන් දෙදෙනකු ලියාපදිංචි කර ගන්නත් පියවර ගනු ලැබුවා. මේ ආයතනයට ඉතා පැහැදිලි අනාගතයක් ඉදිරි දැක්මක් අපි ඇති කර තියෙනවා."

සටහන- අනුර ප්‍රේමලාල් මඟනැඟුම උපදේශන සහ ව්‍යාපෘති කළමනාකරණ සේවා පුද්ගලික සමාගමේ ප්‍රධාන කාර්යාලය උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් විවෘත වු අයුරු. පසෙකින් වත්මන් සභාපති ජනක හේරත් මහතා ද සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();