බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් සියලු තීන්දු තීරණ ඉතාමත් නිවැරදි හා බුද්ධිමත් ඒවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
ජනාධිපතිවරයා ගත් තීරණය ඉතාමත් නිවැරදි හා කාලෝචිත බව අද ඔප්පු වී හමාර බැවින් ජනාධිපතිතුමන්ට ඇගිල්ල දිගු කරන්නට කිසිවෙකුටත් නොහැකි බව ද අමරවීර මහතා කියයි.
මහලේකම්වරයා මේ අදහස් පළ කෙළේ පසුගියදා තංගල්ල ප්‍රදේශයේ පැවැති මහජන හමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මහලේකම්වරයා -
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනකොට විවිධ අය විවිධ අදහස් පළ කරනවා. සමහරු දැන් බැදුම්කර සිද්ධියට උප්පැන්න පවා දෙන්න පටන් අරන්. නමුත් මේ වංචාව සම්බන්ධයෙන් මුලින්ම අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිළි කෙළේ මම. ඒ 2015 මාර්තු මාසේ. එතකොට මම මේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් නොවෙයි.
ජනාධිපතිතුමාත් මේ බැදුම්කර සිද්ධියට වගකිව යුතුයි කියළා සමහරු එතුමාට චෝදනා කරනවා. නමුත් මේ සම්බන්ධයෙන් කිසිම අයෙකුට එතුමට චෝදනා කරන්ඩ බෑ. මොකද මෛත්‍රිපාල සිරිසේන මහතා කියන්නේ පිරිසිදු චරිතයක්. මේ වනතෙක් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එතුමා ගත් සියලු තීන්දු තීරණ විනිවිදභාවයෙන් යුක්තව සිදු කර තිබෙනවා. ඒ වගේම ඒවා බුද්ධිමත් හා නීත්‍යාකූලයි.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කොමිසමක් පත් කරන කොට උදය ගම්මන්පිල කිව්වේ මේක එම වංචාව යටගහන්ඩ කරපු මගඩියක් විදියට. හැබැයි විමර්ශන පටන් අරන් ඒවා ඉදිරියට යන කොට, ජනමාධ්‍යය තුළ පළ වු කාරණා දැකපු ඒ අය කොමිසම කොච්චර සාර්ථකව කරුණු විමර්ශනය කරනවාද කියළා අවබෝධ කර ගත්තා. ඒ හින්දා ඊට පස්සේ කොමිසමේ හොඳ කිය කියා බැදුම්කර වංචාව නිරාවරණය කිරිමේ අයිතිය තමන්ගේ භුක්තියට ගන්ඩ උත්සාහ කළා.
අපිට කාගෙන්වත් ප්‍රශංසා ලබාගන්න අවශ්‍ය නැහැ. නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වැනි අල්ලසට හා දුෂණයට විරුද්ධ කෙනෙක් ජනාධිපති ධුරයේ හිටපු නිසා තමයි අද මේ මහා වංචාව ගැන තොරතුරු එළියට ඇවිත් තියෙන්නේ..අතීතයේ කොමිසන් සභාවලට වෙච්ච දේවල් මම අලුතෙන් කියන්ඩ ඕනැ නෑ. පසුගිය රජය කාලයේ පත් කරපු කොමිෂන් සභා වාර්තා ගියේ කුණු කුඩයට. කෙනෙකුට එල්ල වුනු චෝදනා යට ගහන්ඩ නම් ජනාධිපති කොමිසන්සභා පත් කර ඒවා යට ගහපු අතීතයක් අපේ රටේ තිබුණා. ඒ නිසා තමයි හුගක් අය බැදුම්කර සිද්ධියට අදාළව පත් කරබු ජනාධිපති කොමිසම පවා සැක කරන්නට පටන් ගත්තේ.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකුවේ අධිපති තනතුරට පත්කිරීමේ දී ඔහුව නිර්දේශ කළේ එවකට මුදල්ඇමැතිවරයායි. අගමැතිතුමාත් ඊට අනුමැතිය දී තිබුණා. මුදල් පනත යටතේ මහබැංකු අධිපතිවරයෙක් පත් කිරීම සඳහා අදාළ විෂයබාර ඇමැතිවරයා නමක් යෝජනා කළ විට ඊට අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කිරිමේ හැකියාවක් ජනාධිපතිවරයාට නැහැ.
ඒ වගේම තමයි මේ තරම් වංචාවක් සිදුවී තිබිය දීත් ඒ බව දැන දැනම ඊළග පස් වසර සඳහාත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කරන ලෙස නැවතත් ඔහුගේ නම යෝජනා කළා. නමුත් මේ තරම් බරපතල චෝදනා එල්ල වී තිබෙන අයෙක් නැවත පත් කිරීමට නොහැකි නිසා තමයි ජනාධිපතිතුමා නව මහ බැංකු අධිපති වශයෙන් ඉන්ද්‍රජිත් කුමරස්වාමි මහතා පත් කෙළේ. ඒ නිසා ඒ ගෞරවය ජනාධිපතිතුමාට හිමි විය යුතුයි. ඉදිරි වසර පහටත් අර්ජුන මහේන්ද්‍රන් මහතා මහබැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීමට මුදල් ඇමැතිවරයාගේ නිර්දේශය ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළා නම් මොකද වෙන්නේ.. එහෙම වුනා නම් ඒක පනින රිළවුන්ට ඉණිමං බදිනවා වාගේ වෙන්න තිබුණා.
හිටපු මහබැංකු අධිපතිවරයාගේ තමන් සේවය කළ පළමු අවුරුද්ද තුළ වංචාවේ තරම රුපියල් මිලියන 11,000යි. දෙවන කාලයත් දුන්නම් කොහොම හිටියිද..? ඒ හින්දා ජනාධිපතිතුමා ගත් තීරණය ඉතාමත් නිවැරදි හා කාලෝචිත බව අද ඔප්පු වී හමාරයි. ඒ හින්දා එතුමට ඇගිල්ල දික් කරන්න කිසිවෙකුටත් බැහැයි ද මහලේකම්වරයා මෙම ජනහමුවේ දී පැවසීය.

0 Comments