පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය නගරයේ පසුගිය දා (21) පැවැති පොදු ජන පෙරමුණේ රැස්වීම අවස්ථාවේ දී ප්‍රදේශයේ විදුලිය සහ ජලය කපා හැර තිබූ බවත්, ඒ සඳහා රටේ අධ්‍යාපන ඇමැතිවරයා එක්වීම කනගාටුදායක බවටත් චෝදනා කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා සිදුකර ඇති ප්‍රකාශය අධ්‍යාපන ඇමැතිවරයා ලෙසත්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා සහ කුරුණෑගල දිස්ත්‍රික් නායකයා ලෙසත් තරයේ ප්‍රතික්ෂේප කරන බව ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
තවද මෙවැනි ක්‍රියා නැවැත්වීමට පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව පොහොට්ටුවට ඡන්දය ලබාදිය යුතු බවටත් මෙහිදී මන්ත්‍රීවරයා කර තිබූ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, වේදිකා ගිනි තැබීම්, රැස්වීම්වලට කඩාපැන වෙඩි තැබීම, පොලිසිය හා හමුදාව මාර්ග ආරක්ෂණ කටයුතුවලින් ඉවත් කිරීම, රැස්වීම් පැවැත්වීමට නියමිත ව තිබූ ක්‍රීඩාංගණ සහ ස්ථානවලට බාධා කිරීම, විදුලිය සහ ජලය කපාහැරීම, ස්ථාන වෙන් කරගැනීමට අවකාශ නොදීම වැනි පහත් ක්‍රියා සිදුකළ පසුගිය රාජපක්ෂ පාලනයේ දේශපාලන සංස්කෘතිය 2015 ජනවාරි 08 වැනි දා සහ 2015 අගෝස්තු මස 17 වැනිදා ජනතාව විසින් සහමුලින් ම ජරාජය කර දැමූ බවයි.
දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම බස් රථ පුරවා මිනිසුන් රැගෙන එමින්, පවතින ජනමතය දෙගුණ තෙගුණ කර පෙන්වමින්, අපහාස, අවලාද, උපහාස නඟමින් දේශපාලනයෙහි නිරතවීම පුරුද්දක් කරගත් පරාජිත රාජපක්ෂ රෙජිමය වර්තමානයේ ද තම නග්න දේශපාලනය මෙවැනි සිදුවීම් හරහා ප්‍රදර්ශනය කරමින් සිටින බව ද අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කරයි.
අදාළ රැළිය පැවැත්වුණු පසුගිය 21 වැනි දා කුලියාපිටිය ප්‍රදේශයේ සත්‍ය වශයෙන් ම විදුලිය බිඳවැටීමක් හෝ ජල කප්පාදුවක් සිදුවූයේ නම් එවැන්නක් සිදුවූයේ කුමන හේතුවක් නිසා ද යන්න පිළිබඳ කුලියාපිටිය නගර සභාවේ ලේකම්වරයාගෙන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වයඹ පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගෙන් කරුණු විමසීමට කටයුතු කරන්නැයි තමන් මේ වනවිටත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කරයි. ඕනෑම පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී ව කරුණු සොයාබැලීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන රජය රට තුළ අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දී ඇති බව ද පෙන්වා දෙන ඇමැතිවරයා මඩ, අවලාද නඟමින් තමන් දේශපාලනය කළ ආකාරයට ම අනෙක් පාර්ශවයන් ද දේශපාලනය සිදුකරන්නේ’යැයි සිතමින් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රමුඛ පොහොට්ටු කණ්ඩායම ගෙන යන පහත් මාධ්‍ය සංදර්ශනවලට නිසි පිළිතුරු එළඹෙන පෙබරවාරි 10 වැනි දා ජනතාව විසින් ලබා දෙනු ඇති බව ද අවධාරණය කරයි.

0 Comments