බැඳුම්කර-බරපතළ වංචා විවාදයට 8දා පාර්ලිමේන්තුව කැඳවනවා
කට කැපුවත් බලය ලබා ගැනීම සඳහා බොරු නොකියන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයට හැංගීමට හෝ පාපිස්ස යට දැමීමට දෙයක් නොමැති බව අවධාරණය කළ අගමැති වික්‍රමසිංහ මහතා එම නිසා බැඳුම්කර වාර්තාව සහ බරපතළ වංචා සහ දූෂණ වාර්තා ගැන විවාද කිරිම සඳහා පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුව කැඳවන බව ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේ පෙරේදා (27) මොරවක පැවති එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගි වෙමිනි.
පක්ෂ නායකයන්ගේ කැමැත්ත මත 08 දා සිට ඕනෑම දින ගණනක් හැමදාම හෝ මේ පිළිබඳව වාද කිරීමේ අවස්ථාව ලැබෙන බවද කීය.
පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ඇත්තේ තමාට පමණක් බව පෙන්වා දුන් අගමැතිවරයා වාර්තා දෙක ගැන ඕනෑම අවස්ථාවක විවාද කිරීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් බවද අවධාරණය කළේය. පෙබරවාරි 07 දා තෙක් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතු ඇති බැවින් පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කළ බව අගමැති වික්‍රමසිංහ මහතා පැවසිය.
තුන් හතර වතාවක් මේ ගැන පාර්ලිමේන්තුවේ වාද කර ඇති බව පැවසු අගමැති වික්‍රමසිංහ මහතා තව පාරක් විවාද කළා යැයි කිසිම ප්‍රශ්නයක් නොමැති බවද කීය. කොමිෂන් වාර්තා අනුව ක්‍රියා කර නඩු දැමිය හැකි අයට එරෙහිව නඩු ගොනු කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇති බව පැවසු අගමැති වික්‍රමසිංහ මහතා
වංචා සහ දූෂණ පිළිබඳව සොයා බලන කොමිසමේ වාර්තාවේ මහින්ද රාජපක්ෂ මහතාගේ සිවිල් අයිතිවාසිකම් ජිවිත කාලයටම අහෝසි කරන ලෙසත් වැරදිකරුවන්ට නඩු දාන ලෙසත් සඳහන් වී ඇති වුවත් බැඳුම්කර වාර්තාවේ තිබෙන්නේ නඩු දැමීම ගැන සලකා බලන ලෙස බවද කීය.
පාර්ලිමේන්තුවේ ජාතික මට්ටමෙන් දක්වන විනිවිදභාවය පළාත් පාලන ආයතනවලත් ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ අගමැතිවරයා කවුරුන් හෝ සිය පක්ෂයේ මන්ත්‍රිවරයෙකුට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් වුවහොත් ඒ ගැන සොයන බවද සභාපතිවරුන්ට කාන්තාවන් දූෂණය කිරීමට ඉඩ නොදෙන බවද පැවසිය.
විනිවිද භාවයක් ඇති ආණ්ඩුව වාගේ විනිවිද භාවයක් ඇති ප්‍රාදේශිය සභාවක් ගෙන යෑම සඳහා මෙම පෙබරවාරි 10 දා එක්සත් ජාතික පක්ෂයට ජන්දය දෙන ලෙස අගමැති වික්‍රමසිංහ මහතා එහිදි ඉල්ලා සිටියේය.

0 Comments