මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේමියන් ටියුඩ්හෝප් මහතා පසුගියදා (04) රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම අමාත්‍යාංශයේදී මුණගැසුණි. පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල අල්ලස, දූෂණය හා විනිවිදභාවය ආදී කරුණු සම්බන්ධයෙන් විමසා බැලීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් කළ ටියුඩ්හෝප් මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන් විමසීය.
මෙහිදී ඇමැතිවරයා සඳහන් කළේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා ගෙවුණු වසර කීපය තුළ පියවරයන් රැසක් ගෙන ඇති බවයි. ඒ අතර ස්වාධීන මැතිවරණ කොමිෂම, ක්‍රමසම්පාදන කොමිෂම ආදී කොමිෂන් සභා වන බව පෙන්වා දෙන ලදි. අල්ලස දූෂණය අවම කිරීම සඳහා කවර ක්‍රියාමාර්ග ගෙන ඇද්දැයි කළ විමසීමට පිළිතුරු ලෙස ඇමැතිවරයා සඳහන් කළේ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ කාර්යභාරය පුළුල් කර අදාළ පරීක්ෂණ කටයුතු ස්වාධීන කරගෙන යාමට අවශ්‍ය වටාපිටාව නිර්මාණය කරදීමට රජයට හැකිවූ බවයි.
එමෙන්ම රජයක සේවයෙන් අල්ලස, දූෂණය පිටුදැකීම සඳහා වූ විධිමත් වැඩපිළිවෙළක් ඉක්මනින්ම හඳුන්වාදීමට අවශ්‍ය මූලික සාකච්ඡාවක් අල්ලස් කොමසාරිස් ජනරාල්වරයා සමඟ පැවැත්වූ බවද හෙතෙම පැවැසීය. ටියුඩ්හෝප් මහතා සඳහන් කළේ රටක් ලෙස ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි. මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු පාර්ලිෙම්න්තුව දැනුවත් කරන බවද හෙතෙම පැවැසීය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාද සහභාගි විය.
උදුලා පීරිස්
0 Comments