Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ණය ගැටලු විසඳා ගෙන ජනතාවට සහන සැලසීමට අපට හැකිවුණා

Author(s): 
කමනි අල්විස්

වැලිසර සතොස මෙගා අලෙවි සල විවෘත කරමින් අගමැති කියයි

ගෙදර අයවැයට වැදුණු පහර අඩුකර දෙමින් ජාතික ආර්ථිකයට වැදුණු පහර අඩුකර ගැනීමට මේ වසරේදී දෙස් විදෙස් ආයෝජකයන්ගේ සහායෙන් රටේ සංවර්ධනය වේගවත්ව සිදුකරගෙන යාමේ අවස්ථාව රජයට ලැබී තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම නිසා සාධාරණ මිලට පාරිභෝගික ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට හැකියාව සැලසෙන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය. පාරිභෝගික ජනතාව රැක ගනිමින් සහන මිලට ඔවුන්ට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම රජයේ අරමුණ බවත් අගමැතිවරයා පැවසීය.

ගෙවීමට නොහැකි ණය උගුලක හිරවී තිබුණ ආර්ථිකයක් වත්මන් රජයට ලැබී තිබුණ බවත් ක්‍රමානුකූලව එම ණය ගැටලු විසඳා ගනිමින් ජනතාවට සහන සැලසීමට රජය සමත්වුණු බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

පළමුවැනි සතොස මෙගා අලෙවිසල පසුගියදා (5) වැලිසරදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළේය. ඉන්පසුව පැමිණ සිටි පිරිස අමතමින් අගමැතිවරයා මේ බව පැවසීය.

සතොස මෙගා වෙළෙඳසල් පනහක් රටේ ස්ථාපිත කිරීම අරමුණයි. රථවාහන විශාල සංඛ්‍යාවක් වරකට ගාල් කිරීමට හැකි ඉඩ පහසුකම් සහිතව මේ මෙගා අලෙවි සල හෙබිය.

ඖෂධ අලෙවිසලක්, බේකරියක්, බැංකු යනාදි සියලුම අංගවලින් සැදුම්ලත්ය. දරුවන් වෙනුවෙන්ම ඔවුන්ගේ සුවපහසුව උදෙසා නේචර් සීක්‍රට් වෙතින් පැන්ඩා බේබි ළමා අංශයකි. දරුවන්ට කෙළි සෙල්ලම් කිරීමේ අවස්ථාව එමගින් සලසා තිබේ. මේ සෑම අංගයක්ම අගමැතිවරයා නිරීක්ෂණය කළේය. කොමර්ෂල් බැංකුවේ ඒටීඑම් යන්ත්‍රය අගමැතිවරයා මෙහිදී විවෘත කළේය.

පාරිභෝගිකයන්ගේ එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තැන්පත් කර තිබුණ ස්ථානය අගමැතිවරයාගේ විශේෂ අවධානයට ලක්විය. එහි තිබුණ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් මැනවින් නිරීක්ෂණය කිරීමට අගමැතිවරයා යුහුසුළු වන අයුරු දක්නට ලැබුණි. එකම වහලක් යටින් සාධාරණ මිලට සියලුම පාරිභෝගක අවශ්‍යතා සපුරාලීමට සතොස ගෙන තිබෙන සාධනීය පියවර අගමැතිවරයාගේ පැසසුමට ලක්විය.

ජා ඇල, අනුරාධපුර, නුවර, බදුල්ල ප්‍රදේශවල මෙන් මෙගා ශාඛා ඇරැඹීමට ශක්‍යතා අධ්‍යයනයක මේ වනවිට නිරතව සිටින බව සතොස සභාපති එම්.රිස්වාන් හමීඩ් මහතා පැවසීය. මේ වනවිට සතොස අලෙවි සල් හාරසීයක් රට පුරා ස්ථාපිත කර තිබේ.

1949 ජූලි 1දා අංක 47 දරන පනත යටතේ සතොස ව්‍යාපාරික කටයුතු ඇරඹුවේ එවකට හිටපු වෙළඳ ඇමැති ටී.බී.ඉලංගරත්න මහතාය.

මෙහිදී වැඩිදුරටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය‍.

හාල් පිළිබඳව පැන නැගුණු ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳාදීමට ක්‍රියා කරනවා. ලබන කන්නයටත් හාල් ආනයනය සිදුවේවි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩුවක් නොමැතිව පාරිභෝගිකයන්ට මෙහිදී මිලදී ගැනීමට හැකිය. රුපියල් හැටදෙකට හාල් තිබෙනවා . තමන්ට අවශ්‍ය අන්දමට විවිධ මිල ගණන් යටතේ හාල් මිලදී ගැනීමට අවස්ථාව සැලසී තිබෙනවා.

පොල් සම්බන්ධව ගැටලුවක් තිබෙනවා. නියඟය ඇතුළු ස්වභාවික ආපදා හේතුවෙන් පොල් ඵලදාවේ අඩුවක් ඇති වුණි. ආනයනය කිරීමට හැකියාවක් නැත්තේ රෝග පැතිරීමක් සිදුවීම හේතුවෙන්ය. පොල් පිළිබඳවත් ජනතාවට සහනදායි පියවරක් ඉදිරියේදී ගැනීමට ක්‍රියා කරගෙන යනු ලබයි. රුපියල් හැටපහ බැගින් පොල් විකුණනු තමන් දුටු බව ජෝන් අමරතුංග ඇමැතිවරයා මෙහිදී පැවසීය.

දේශගුණික විපර්යාස හේතුවෙන් එළවළු වගාවේ පවා වෙනස්කම් සිදුවුණා. භාණ්ඩ මිල ඉහළ යාමට කාලගුණික බලපෑම් හේතුවුණා. එම නිසා නිපැයුම අඩුවුණා. ඉදිරියේදී එළවළු මිල අඩුවේවි. සුපිරි වෙළෙඳසල් ආකාරයට සතොසත් වර්ධනය වී තිබෙනවා. ආහාර ද්‍රව්‍ය සපයන සියලුම වෙළෙඳසල් සතොස සමඟ එකට එකතු කරගෙන ඒ තුළින් පාරිභෝගිකයන්ට සහන මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට පියවර ගන්නවා.

නියඟය ගංවතුර ආර්ථිකයට බැරෑරුම් ප්‍රශ්නයක් . සමහරු පැවසුවේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය මැයි ජූලි වනවිට නැතිවෙන බවයි. ඍණ එකයි දශම දෙකට කෘෂිකර්මාන්තයේ අඩුවීමක් සිදුවුණා. තේ, රබර් මිලටත් එය බලපෑවා. ආහාර නිෂ්පාදනය අඩුවුණා. මේ සියලු අභියෝගයන්ට සාර්ථකව පිළිතුරු දෙමින් රටේ ආර්ථිකය රැකගැනීමට හැකි වුණා.

සතොස නවීකරණය කරගෙනයන අතරවාරයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයන්ට සහන මිලට ලබාදෙමින් රජයේ අරමුණ ඉටුකිරීමට ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා ක්‍රියාකරනවා. මෙගා අලෙවිසල් 50ක් රටේ ඇරැඹීම එතුමාගේ ඉලක්කයක්. එය පාරිභෝගිකයාට යහපතක්. වර්තමාන සමාජය ශක්තිමත් කරමින් මධ්‍යම පන්තිය, වැඩකරන ජනතාවට ගැළපෙන ආකාරයට සතොස ප්‍රතිසංවිධානය සිදුවීම ඵලදායි ක්‍රියාවක්. රැකියාවේ නිරත යුවළට එකම වහලක් යටින් අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩ ලබාගැනීමට හැකිවීම කාලය ඉතිරිවීමක් මෙන්ම පහසුවක්ද සලසයි. කාලය අනුව ගැළපෙන ලෙස සතොස ජනතාවට සමීපවීම සතොස ප්‍රතිසංවිධානය තුළින් සිදුවීම ප්‍රශංසනීයයි. අතීතයේ දන්නා පරිදි ග්‍රාම නිලධාරි කොට්ඨාසයට පැවතුණේ එක සතොස ශාඛාවයි. එම තත්ත්වය වර්තමානයේ සහමුලින්ම වෙනස් වී තිබෙනවා. සතොස විශාල දියුණුවක් වර්තමාන රජය යටතේ ලබාගෙන තිබෙනවා.

වෙළෙඳ හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා- ජීවන වියදම අඩුකිරීමේ රජයේ ප්‍රතිපත්තියට සැමවිටම සතොස සහාය දක්වනවා. සතොස මාසික ආදායම රුපියල් බිලියන තුනයි දශම දෙකක් බවට පත්වී තිපෙනවා. පෙර පැවතියේ මාසිකව බිලියන එකයි දශම දෙකක ආදායමක්. සතොස ආදායම වාර්තා තැබූ ආයතනයක් බවට පත්වී තිබේ. වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ගෙන් පාරිභෝගික ජනතාව රැක ගැනීමට සතොස ශාඛා 400 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිපෙනවා. සතොස රජයෙන් යැපෙන ආයතනයක් ලෙස නොව ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගැනීමට හැකි වී තිබෙනවා. 400 වැනි සතොස අලෙවිසල බදුල්ලේදී හරීන් ප්‍රනාන්දු, ලක්ෂ්මන් සෙනෙවිරත්න ඇමැතිවරු විවෘත කළා. ඇමැති පාලිත රංගෙ බණ්ඩාර මහතා ආනමඩුවේදීත් මන්නාරමේදී බද්යුදීන් ඇමැතිවරයාත් සතොස අලෙවිසල් විවෘත කළ බවත් මෙහිදී ඇමැති බද්යුදීන් මහතා පැවසීය.

ක්‍රිස්තියානි කටයුතු සංචාරක ප්‍රවර්ධන ඇමති ජෝන් අමරතුංග මහතා -

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු ජීවන වියදම අඩුකිරීමට ගතයුතු පියවර පිළිබඳව නිතරම සාකච්ඡා පවත්වයි. පාරිභෝගික ජනතාවට සහන ලබාදීමට එතුමන්ලා සැමවිටම උත්සුක වෙයි. මෙම ස්ථානයට එනවිට රුපියල් හැටපහට පොල් අලෙවි වෙනවා දුටුවා. විපක්ෂය බොරුවට කෑමොර දෙනවා පොල් සම්බන්ධව. නමුත් පොල් මිල අඩුවී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වෙළඳ සහ වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් නීල් අශෝක සතොස සභාපති එම්.රිස්වාන් හමීඩ් යුනිලිවර් සමාගමේ සභාපති කාල් කෲස්, ෆොන්ටෙරා කළමනාකරු හරිත හේවගේ නියෝජිත චිත්‍රානන්ද වික්‍රමවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.යුනිලීවර්, නෙස්ලේ, ලින්ක්, සන්රිච්, ෆොන්ටෙරා, ස්ටැටසන්ස් යන පෞද්ගලික ආයතන සතොස මෙගා වෙළෙඳ සංකීර්ණය සඳහා විශාල දායකත්වයක් ලබා දුන් බව සතොස පවසයි.

ඡායාරූප - හිරන්ත ගුණතිලක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();