ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
ජනතාව වෙනුවෙන් රට තුළ ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙළේ තවත් එක් සුවිශේෂ ව්‍යාපෘතියක් වුයේ රාජගිරිය ගුවන් පාලම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට පත් කරමිනි.
රාජගිරිය මන්සන්ධියේ ඉදි කෙරුණු ගුවන් පාලම මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (8) උදේ විවෘත කෙරුණි.
තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.
මෙම පාලම විවෘත කරන අවස්ථාවේදී අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ ගුවන්පාලම අප රටේ මෑත දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික සිහිවටනයක්.
ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සමාජ අයිතින්, මූලික අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස වැළලී තිබුණ යුගයක මේ රටේ ජනතාවට අලුත් ගමනක් යැමට 2015 ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරයා ලෙස මාව තෝරා ගත්තා. එදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මාව ජනාධිපතිධුරයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විවිධ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන වෘත්තීය සමිති යන සැම අංගකින්ම කැපවීමෙන් ලබාදුන් නායකත්වය නිසා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුණා.ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ගත වුණ වසර තුනක කාල පරාසය තුළ රට ඉදිරියට ගෙනයාමට තිබූ අභියෝග රැසක් ජය ගත්තා. එම නිසා ශ්‍රී ලංකා මාතෘභූමිය ලෝකයේ පිළිගත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට හැකි වුණා. එක්සත් ජාතින්ගේ සංවිධානයේ සිට ජාත්‍යන්තරය දිනා ගත්තා. අප රටට විවිධ බලපෑම්, නොපිළිගැනීම්, තර්ජන ලෝකයෙන් එල්ල වී තිබුණා. වසර තුනකට පෙර පැවැති එම කටුක පරිසරයෙන් රට මුදා ගැනීමට හැකි වුණා. ලොව රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තරව සුහදශීලි මිත්‍රත්වය දිනා ගැනීමට සමත් වුණා. එම නිසා ජාත්‍යන්තරයේ සහාය, ආධාර අප රටට ලැබුණා. යහපත් අනාගතයක් සඳහා ඉදිරියට යාමට ජාත්‍යන්තරයෙන් ලැබී තිබෙන සහාය විශිෂ්ඨයි. යහපත් රටක් ගොඩනංවමින් ආණ්ඩුව සංවර්ධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ අපගේ හෘද සාක්ෂිය සනාථ කරනවා.
මාර්ග තදබදය, පොදු ප්‍රවාහන අපහසුකම්, පරිසර දූෂණය රටක නගරයක් තුළ බරපතළ ගැටලු ඇති කරනවා. මාර්ග තදබදය ආර්ථිකයට බලපෑම් ඇති කරනවා. කලට වේලාවට රජයේ කාර්යාලවලට, රෝහල්වලට යාමට ඒමට හා එදිනෙදා කටයුතුවල යෙදීමට මාර්ගවල පවතින තදබදය ජනතාවට පීඩාකාරි වෙනවා. මෙම නව පාලම ඉදිකිරීම තුළින් ගැටලු රැසක් නිරාකරණය වුණා. පරිසර සංරක්ෂණය සිදු කරගෙන මාර්ග සංවර්ධන කටයුතු සිදු වුණා. මෙහි ඉදිකිරීම් කටයුතු නිමකිරීමට කෙටි කලකින් හැකි වී වුණා. භෞතික සම්පත් තුළින් ආරම්භ කරන ලද සංවර්ධන කාර්යන් රැසක්. ඒ සියල්ලම ජනතා අයිතියට පැවරීම යථා කාලයේදී සිදු වෙයි.
1948 මේ රට බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් කරගැනීමට ක්‍රියා කෙළේ දිවංගත මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා ප්‍රමුඛ සමකාලීන නායකයන්. සිංහල, දෙමළ, මුස්ලිම් දේශහිතෛෂි නායකයෝ ගෙනගිය දීර්ඝ කාලීන ඓතිහාසික අරගලය නිදහස ලබා ගැනීමට නායකත්වය ලබා දුන්නා. 1956 මේ රටේ සැබෑ සමාජ පරිවර්තනය සිදු කරමින් ජනවාරි අට වැනිදාවක උපන් දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සමාජ විප්ලවයට නායකත්වය දුන්නා.
කෙටි කාලයකින් ගුවන් පාලම ජනතා අයිතියට පැවරීමට හැකියාව ලබාදුන් මාර්ග සංවංර්ධන අධිකාරිය ඇක්සෙස් සමාගම, ස්පාඤ්ඤ රජය ඇතුළු ලක්ෂ්මන් කිරිඇල්ල, ඩිලාන් පෙරේරා, චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිවරුන් ඇතුළු දායකවුණ සැමට ගෞරවනීය ස්තූතිය පුද කරනවා. යහපත් රටක් මිත්‍රශීලීව ගොඩනගා ගැනීමට සැමගේ සහාය මා අපේක්ෂා කරනවා.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා -
යටිතල පහසුකම් සංවර්ධනයේදී අත්‍යාවශ්‍යයයි. කොළඹ පාර්ලිමේන්තු මහාමාර්ග ලෙස ඉඳි වුණ මාර්ගය ගුවන් පාලම නිසා ආර්ථිකයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.යටිතල පහසුකම් සඳහා මුදල් අවශ්‍යයයි. ඒ සඳහා මුදල් නොතිබුණි. එහෙත් මුදල් සොයා ගැනීමට හැකි වුණා. නුවර ,හම්බන්තොට විශාල සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.
මහවැලියේ අවසාන ව්‍යාපෘතිය ලෙස මොරගහකන්ද ආරම්භ වෙනවා. සැලසුම් සහගතව සංවර්ධන වැඩකටයුතු සිදු වී ගෙන යනවා. එම නිසා කර්මාන්ත, සංචාරක, කෘෂිකර්මාන්ත, ධීවර යන සෑම අංගයක්ම නවීකරණය සිදු වෙනවා. ඒ සඳහා මහාමාර්ග, වතුර, විදුලිය ප්‍රධාන යටිතල පහසුකම් ලෙස අවශ්‍යයි. එම නිසා යටිතල පහසුකම් සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.සංවර්ධනය තුළින් ජනතා අරමුණු ඉටුකර දෙනවා.
ජනාධිපතිතුමා අතින් ගුවන්පාලම විවෘත කිරීම සිදු වුණා. ජනාධිපතිතුමා රට බාර ගත් පසු ආණ්ඩුව ඇති කළ ආර්ථික ව්‍යාපෘති පිළිබඳව ඇමැති හර්ෂ සිල්වා මහතා ප්‍රකාශ කළා. මාස එකොළහකට පෙරාතුව ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට ගුවන් පාලම පත් කිරීමට දායකත්වය දුන් ස්පාඤ්ඤ රජය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇක්සෙස් සමාගම ඇතුළුව සහාය දුන් සැමට ස්තූති කරනවා.
උසස් අධ්‍යාපන මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -
ස්පාඤ්ඤ රජයේ අනුග්‍රහයෙන් මෙම සමාගම යටතේ නුවර මෙවැනිම ගුවන් පාලමක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. ජනාධිපති අගමැතිතුමා දැනුවත්ව ආර්ථික සංවර්ධන කොමිසම හරහා මාර්ග ව්‍යාපෘති අධීක්ෂණ සිදු කර කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව යෝජනා ක්‍රියාත්මක වෙනවා. යහපාලන ආණ්ඩුව බලයට පත් වුණ වහාම ස්පාඤ්ඤ ආධාර මුදල නැවත අධීක්ෂණය කෙරෙනවා.එහි ප්‍රතිඵලයක් ලෙස අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී.දිසානායක මහතා ස්පාඤ්ඤයට ගොස් පෙර පැවැති ගිවිසුම් වෙනස් කර ගැනීමෙන් සියයට පහළවක මුදලක් අඩුකර ගැනීමට සමත් වුණා. ඇමැති හර්ෂ සිල්වා මහතා විශාල උනන්දුවකින් ක්‍රියා කළා.ස්පාඤ්ඤ රජයටත් ස්තූතිය පිරි නමනවා.වාහන තදබදය මාර්ග පහක අඩුකිරීමට මෙම ගුවන් පාලමෙන් හැකි වෙනවා. අමාත්‍යාංශ ලේකම් සභාපති, ව්‍යාපෘති අධ්‍යක්ෂක ඇතුළු සැමටම ස්තූතිය.
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා-
මැතිවරණ නීතිරීතිවලට අනුකූලව මෙම චාම් උත්සවය පවත්වනු ලැබේ. වසර 2014 පැවැති ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය ඇරැඹුවා. ඔවුන් මුල්‍ය ගිවිසුම් අත්සන් කර නොතිබුණා. වසර 2014 නොවැම්බර් මාසයේදී යුරෝ මිලියන පනස්නමයයි දශම පහකට එවකට කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබුණා. වසර 2015 දී අධික රථවාහන තදබදය සලකා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස යුරෝ මිලියන පනස්තුනයි දශම හතකට අනුමැතිය ලබා ගෙන සියයට පහළවක පිරිවැයක් අඩුකර ගත්තා.
ඇමැති චම්පික රණවක, ඇමැති මහින්ද අමරවීර, ඇමැති දයා ගමගේ, ඇමැති ඩිලාන් පෙරේරා, ඇමැති වජිර අබේවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේස්වරම් ස්පාඤ්ඤයේ සෙන්තුනියන් සමාගමේ නියෝජිත අධ්‍යක්ෂක ඇලෙක්ස්, සෙන්තුගියන් සමාගමේ ව්‍යාපෘති කළමනාකරු බුස්තාවෝ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි , ව්‍යාපෘති අධ්‍යක්ෂක පියල් වර්ණකුලසූරිය, ව්‍යාපෘති ඉංජිනේරු හිමන්ත ජයලත් ඇක්සෙස් සමාගමේ ව්‍යාපෘති ඉංජිනේරු ජීවක දහනායක මහත්වරුන් ඇතුළුව ස්පාඤ්ඤයේ ශ්‍රී ලංකා කොන්සල්වරිය ප්‍රියා ජයවර්ධන මහත්මිය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ඇක්සෙස් සමාගමේ නිලධාරිහු, සේවකයින් මේ අවස්ථාවට සහභාගි වූහ.
------------------------------------------------------
මාර්ග තදබදයෙන් පීඩා විඳි මගී ජනතාවගේ අපේක්ෂා මුදුන්පත් කරවමින් රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට
කමනි අල්විස්
මාර්ග තදබදයෙන් පීඩා විඳි සුවහසක් මගී ජනතාවගේ ගැටලුවලට විසැඳුමක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ ඉදිරි පියවරක් තබමින් රාජගිරිය ගුවන් පාලම ඊයේ (8) ජනතා අයිතියට පත් කෙළේය.
චාම්ව අභිමානවත්ව පැවැති එම අවස්ථාව මාර්ග ඉතිහාසයේ සුවිශේෂ සැමරුමක් වන්නේය.ශ්‍රී ලංකාවේ දිගම සහ පළමු වැනි කොන්ක්‍රීට් ගුවන් පාලම වන මෙය සන්ධිස්ථානීය පාලමක් (Landmark Bridge) ලෙස හැඳින්වෙයි.
යහපාලන ආණ්ඩුවට වසර තුනක් සපිරුණු ඊයේ දිනයේ උදේ නමයයි හයට පාලම පීත්තපටි කපා ජනතා අයිතියට පත් කෙළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ය. තිනියාවල පාලිත නාහිමියන් සහ ඇලිකෙවෙල නාහිමියන් පෙරටු කරගත් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ගුවන් පාලම විවෘත කෙරුණි. සර්ව ආගමික පූජකතුමන්ලාගේ ආශිර්වාදයත් මෙහිදී ලබා දුන්හ. ඉන්පසුව ගුවන් පාලම ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කෙළේය.
ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු මැතිඇමැතිවරුන් විශේෂ රථයක නැඟී ප්‍රථම ගමනා ගමනය ගුවන් පාලමේ සිදු කෙළේය.
කාර්යබහුල උදෑසන සහ සවස් කාලයේ වාහන ගමන් කිරීමේ වේගය අටගුණයකින් පමණ වැඩි කිරීමට මෙම ගුවන් පාලම සමත් වෙයි.
ස්පාඤ්ඤයේ සෙන්තුනියන් (Centurion) සමාගම මූල්‍ය දායකත්වය දරමින් සැලසුම සහ ඉදිකිරීම සඳහා සහාය දැක්වීය. එම සමාගමේ අධ්‍යක්ෂක වන ඇලෙක්ස් සහ ව්‍යාපෘති කළමනාකාර බ්‍රස්තාවෝ මහත්වරුද එම අවස්ථාවට සහභාගි වූහ.
දේශීය කොන්ත්‍රාත්කරු ලෙස ඇක්සෙස් සමාගම ක්‍රියා කෙළේය. මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය ඔහු කෙළේය. ශ්‍රී ලාංකික සේවකයින් දෙසීයක් පමණ දිවාරාත්‍රී නොබලා කැපවීමෙන් ලබාදුන් ප්‍රතිඵලය වූයේ නියමිත දිනට මාස එකොළහකට පෙර ගුවන් පාලම විවෘත කැර ගැනීමට හැකිවීමයි.
මෙම පාලම ඉදිකිරීම ඇරඹියේ 2016 ජුනි 5 වැනි දා ය. එතැන් පටන් වැලිකඩ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල මහතා ඇතුළු පොලිස් නිලධාරීහු වාහන ගමනා ගමනය හසුරුවාලමින් අසීරු කාර්ය භාරයක දිවා රාත්‍රී නිරතවිය.
ඡායාරූප- සමන් ශ්‍රී වෙදගේ
0 Comments