බුද්ධ ශාසනයේ චිරස්ථිය වෙනුවෙන් අනූපමේය මෙහෙවර සමුදායක් කළ විස්කම් සදිසි නිර්මාණ ගුණෝපේත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වන අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ගෞරවාර්හ ශාසන කීර්ති, ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර, ධර්ම ප්‍රභා ධීරානන්දාභිධාන කළාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ, උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක, කම්මට්ඨාන විශාරද අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමියන්ගේ 65 වන ජන්ම දිනය නිමිත්තෙනි.
උන් වහන්සේ මෙලොව එළිය දකින්නේ 1953 ජනවාරි මස 26 වැනිදාය. වෙළෙඳ ව්‍යාපාරික බී. ඒ. ගුණතිලක මහතාගේ පීතෘත්වයෙන් හා එම්. එම්. සෝමාවතී ගුරුමාතාවගේ මාතෘත්වයෙන් පරිපූර්ණව සොයුරු සොයුරියන් 13 දෙනෙක් අතර හැදී වැඩෙන මේ පුංචි දරුවා බමුණුආරච්චිලාගේ අබේසිරි එඩ්මන් චන්ද්‍රකුමාර නම් විය. ගුණයහපත් පින්බර මවුපියන්ගේ රැකවරණය ලැබ නිසි වයසට පාසල් ගමන අරඹන චන්ද්‍ර කුමාර පුංචි පුතා දහතුන්වන විය එළැඹෙද්දී විදු බිමට සමු දී දෙදිනක් ඉක්ම යන විට බොදු බිමට ප්‍රවේශ වී සසුන්ගත වන්නේ 1966 මැයි මස 30 වැනිදාය.
ආභිධම්මික වාගීශ්වර යාගොඩ ධර්මප්‍රභ නාහිමිපාණන් වහන්සේ ගුරුකොට ගනිමින් ශාසනයට ප්‍රවිශ්ට වූ අපේ නායක හාමුදුරුවෝ සිය පැවිදි බිම වූ අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයෙන් බැහැරව මාලිගාතැන්න විවේක සේනාසනයට වැඩමකොට මැණික්දිවෙල ශ්‍රී දේවානන්ද නාහිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ පස්මසක් කමටහන් ප්‍රගුණකොට පසුව සිරිසඟබෝ භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානයට ප්‍රවේශ වූහ.
මතුගම ශ්‍රී ධීරානන්ද නාහිමිපාණන් යටතේ භික්ෂු වත පිළිබඳව අධ්‍යාපනය ලැබූ උන් වහන්සේ අලුත්ගම බෝගමුව බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථානයේ දී නේවාසික භාවනා පාඨමාලාවක් හදාරා 1970 දී විද්‍යෝදය මහා පිරිවෙනට ඇතුළු වූහ. අනතුරුව 1972 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී 1982 දී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. පසුව විජයපුර භාවනා මධ්‍යස්ථානයේ (සිරිවිජය විදර්ශන පිරිවෙන) ගුරු තනතුරට පත්වන අපේ නාහිමිපාණන් වහන්සේ පිරිවෙන් පරීක්ෂක, භාවනා උපදේශක තනතුරින් පිදුම් ලබන්නේය. ඉන් අනතුරුව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු ඇතුළු බොහෝ ඇගයීම්වලට හිමිකම් කියමින් ආ ප්‍රශංසනීය අර්ථ පූර්ණ ගමන් මඟ මෙලෙසින් හෙළි පෙහෙළි වී ඇත්තේය.
පිරිවෙන් ගුරු වෘත්තියෙන් සිය ශාසන මෙහෙවර ආරම්භ කරන උන් වහන්සේ සුවහසක් හිමිවරුන් නැණ නුවණින් පෝෂණය කළ අතර සුවහසක් අගතිගාමී යොවුන් සිත් භාවනා සිසිලින් සිසිල්කොට සුගතිගාමී ධර්මකාමී යොවුන් පරපුරක් දැයට දායක කළහ. එම නිසාම උන් වහන්සේ කම්මට්ඨාන විශාරද ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ.
අද වන විට උන් වහන්සේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පූජනීයත්වයට පාත්‍ර වූ මහා බුද්ධ භුමි ත්‍රිත්වයක් නිර්මාණය කර ඇත්තේ ය. සෑම පුන් පෝ දිනකම දහස් ගණනක් වූ ශීල සමාධි උවැසි උවැසියන්ට දහම් රස විඳිමින් කමටහන් ප්‍රගුණ කිරීම සඳහා ශීල භාවනා මධ්‍යස්ථානයක් ප්‍රතිස්ථාපනය කර ඇත්තේය. මේ අනූපමේය ශාසන මෙහෙවර කරද්දීම 64 වැනි වියට පත්වන අපේ නාහිමිපාණන් වහන්සේ අද වන විටය ගෞරවාර්හ ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්මප්‍රභා ධීරානන්දාභිධාන කළාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, කම්මට්ඨාන විශාරද, ආදී ගෞරව නාම හා තනතුරුවලින් පිදුම් ලබමින් මතුමත්තේ ද ශාසන සේවාව සඳහා පාරමී පූරණය කරන්නාහ.
සද්ධාරංසි නාහිමිපාණන්ගේ ප්‍රථම ශාසනික මෙහෙවර ද සම්ප්‍රදායික බෞද්ධ නිර්මාණ කලාවෙන් ඔබ්බට ගිය නිර්මාණයක් විය. ඒ නිර්මාණය වන්නේ බුදු සසුනෙහි සිව්වනක් පිරිස නිර්මාණය වූ අනුරාධපුර අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරයයි. බුදු සසුනේ පැවැත්මට පුරෝගාමී මෙහෙවරක් කළ උපාසක උපාසිකා, භික්ෂු භික්ෂුණීන්ගේ ප්‍රතිමා ද අසූමහා ශ්‍රාවක විහාරය තුළ නිර්මාණය කිරීම විශේෂත්වයකි. සිරිලක බුදු සසුන ස්ථාපිත කිරීමට ඉවහල් වූ බෝධීන් වහන්සේලා විසිඅට නමක් සංකේතවත් කරමින් විහාරස්ථානය වටා අටවිසි බෝධීන් වහන්සේලා ද රෝපණය කිරීමට උන් වහන්සේ උනන්දු වූහ.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ පාරිසරික වටිනාකම මනාව පැවැත්ම කෙරේ බලපාන අන්දම මැනවින් අවබෝධ කර ගත් මහෝත්තමයකු වන සද්ධාරංසි නාහිමියන්ගේ ඊළඟ ශාසනික මෙහෙවර වූයේ අනුරාධපුර - තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලම නම් වූ වනගත ගම්පියසේ සිරිසම්බුද්ධ ශ්‍රාවක චාරිකාරාම පුදබිම ඉදිකිරීමය. පරිසරය නසා, වනසා අහස උසට මහා දාගැබ්, සුවිශාල බුද්ධ මන්දිර ඉදිවනවාට වඩා ස්වාභාවික පරිසරයට අනුකූලව පරිසර හිතකාමී බෞද්ධ නිර්මාණ නිමවීම සඳහා අපේ පරිසරවේදියාණන් සිහින දුටුහ. ඒ ඔස්සේ ඒකාග්‍ර වූ සිතුවිලි ධාරා තුළ සම්මා සම්බුදු රජුන්ගේ තෙවන වර ලක්දිව වැඩම කිරීම ජීවමාන වූ අතර ඒ තුළ මහරහතුන් වහන්සේලා පන්සියයක් සමඟ ගිරිහිසින් බැස චාරිකාවේ වඩින දර්ශනයක් දුටු උන් වහන්සේ පාරම්පරිකව පන්සල් නිමැවුම් රටාවෙන් ඔබ්බට ගොස් නිර්මාණාත්මක පින්බිමක් ස්ථාපිත කිරීමේ මහා මෙහෙවරට ප්‍රවේශ වූහ. දුර බැහැර වන ලැහැබ් කඳු මුදුන් ආදී මනා ලෙස පිහිටි පරිසර පද්ධති සොයා ගිය උන් වහන්සේ ඒ තුළින් බොදු බිමක් බිහිකිරීමේ අපේක්ෂාව මල්ඵල ගන්වන්නට වෙහෙසුනාහ.
අනතුරුව නාහිමිපාණන් වහන්සේගේ අභිප්‍රාය පිළිබඳ දැනුවත් වූ නිමැවුම්කරු නෙල්ලිකුලම වනපෙත සද්ධාරංසි නාහිමිපාණන්ගේ පාදස්පර්ශ පාරිශුද්ධ වූ දිනයේ සිට කටුකොහොල් බැහැර වී වනස්පතීන්ගේ සෙවණට 2004 වර්ෂයේ ජූලි මස 06 වැනි දින ශාසන මෙහෙවර ආරම්භ වූහ. 2004 ආරම්භ වී 2005 වසරේ සංඝාවාසයට මුල්ගල තබා 2006 නොවැම්බර් මස 06 වැනි දින වන විට නෙල්ලිකුලම වන ලැහැබ තුළ පුංචි දෙව්රමක් විවෘත විය. අවුකන බුදුරුව හා සමාධි පිළිමය නිර්මාණය කළ අපේ හෙළ කලාකරුවන් ගමන් ගත් මගෙන් ද ඔබ්බට ගිය සද්ධාරංසි නම් වූ මහා යතිවරයාණන් තුළ සැඟ වී සිටි, බෞද්ධ කලාකරුවා ජීවමාන කළ නෙල්ලිකුලම සම්බුද්ධ චාරිකාරාමය මහා බුදු බැතියෙන් වන්දනා මාන කිරීමට දැන් විවෘතව පවතී. මේ පුණ්‍ය භූමිය මහා සංඝරත්නය රජයේ මැති ඇමැතිවරුන් හා බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් පසුගිය දා උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. දිනක් මෙහි පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මහා පුණ්‍ය භූමිය දැක අප නාහිමිපාණන් වහන්සේට සතුට පළ කරමින් මෙවන් ශාසන සේවා තව තවත් සිදු කිරීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළහ.
සද්ධාරංසි නාහිමියන්ගේ මීළඟ ශාසනික මෙහෙවර වූයේ අනුරාධපුර නෙල්ලිකුලමට නුදුරු කොක්කිච්චිය නැමැති වනගත පෙදෙස තුළ සිරි සම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරය ඉදි කරවීමය. බුදු සිරිතේ ප්‍රාතිහාර්ය අවස්ථා රැසක් මේ වන වදුල තුළ නිර්මාණය කර තිබෙනු දක්නට ලැබේ. පන්සල, වෙහෙර බුදු පිළිම මේ ආදී ශාසනික නිර්මාණ මෙතෙක් බිහි වී ඇත්තේ පන්සල් බිමකය. නොඑසේ නම් හෙළිපෙහෙලිකොට මනාව සැකසූ සුදු වැලි අතුල භූමියකය. එහෙත් අක්කර දහයක් පමණ වූ වනගත වපසරියක් තුළ තැනින් තැන නිර්මාණය වූ පාරිසරික අසිරිය අතරින් පාන පෙළහර කුමක් ද. මේ වන ගැබ තුළ බුද්ධාලම්භන ප්‍රීතිය වගා කරනු සඳහා නිර්මාණය කර ඇති බුදු පෙළහර විශ්මිත නිර්මාණයකි. මේ පුද බිම තුළ නිර්මාණය කර තිබෙන නිර්මාණ අතුරින් ප්‍රධාන තැනක් ගන්නේ දහසක් බුදුන් බුදු වූ වග සනිටුහන් කරන සම්බුද්ධ විහාර මන්දිරයයි. එහි කටයුතු ද දැන් නිම වෙමින් පවතී.
සසුන් කෙත අස්වැද්දීම වෙනුවෙන් මහා පුදබිම ත්‍රිත්වයක් නිර්මාණය කළ සද්ධාරංසි නාහිමියෝ සම්බුද්ධ ශාසනයේ හෙට දවස වෙනුවෙන් බුදු පුත් පරපුරක අවශ්‍යතාව මැනවින් හඳුනා ගත්හ. පුණ්‍යභූමි නිර්මාණය කර එම පුණ්‍යභූමි කසාවතින් බැබළවීම අපේ ශාසන වංශයේ අනාගතය වෙනුවෙන් කළ යුතුම වූ කාර්යභාරයකි. ඒ වෙනුවෙන් කුල දරුවන් සියයක් සසුන්ගත කර දේශයේ බුදු සසුන පවත්වාගෙන යඋම සඳහා උන් වහන්සේ දුරදක්නා නුවණින් කටයුතු කර ඇත.
අනුරාධපුර, ඇලයාපත්තුව රෝහලේ ඇඳන් 25ක් සහිත රෝහල් වාට්ටුවක් සාදවා භික්ෂූන් වහන්සේ උදෙසා වෙනම කොටසක් වෙන් කර දුන් සද්ධාරංසි නාහිමියෝ වෛද්‍යවරුන් සඳහා ද කාමරයක් සාදවා දුන් අතර මේ සඳහා රුපියල් ලක්ෂ 45ක් පමණ වැය කළහ.
නිවාස අහිමි අන්ත දිළිඳු පවුල් දෙකක් සඳහා අනුරාධපුර දේවානම්පියතිස්සපුර ගම්මානයේ අංගසම්පූර්ණ නිවාස දෙකක් සාදවා එම පවුල්වලට පරිත්‍යාග කළහ. රණවිරු පවුල්වලට මෙන්ම ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් ද පොත්පත් ආදිය පරිත්‍යාග කරමින් සමාජ සේවාවේ නිරත වන උන් වහන්සේ පසුගිය කාලයේ ගංවතුරින් අනාථ වූ දහස් ගණනක් පිරිසට ආහාර පාන හා අත්‍යාවශ්‍ය භාණ්ඩවලින් ද උදව් උපකාර කළ අතර යුද සමයේ ආබාධිත රණවිරුවන් උදෙසා කෘත්‍රිම පාද ආදී අවශ්‍ය දෑ ලබා දුන්හ. මාස්පතා අසරණ රෝගීන් වෙනුවෙන් ඇලයාපත්තුව ග්‍රාමීය රෝහලට රුපියල් දස දහසක අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබාදීම දැනට වසර දහයක් තිස්සේ සිදු කරනු ලබයි. ඇලයාපත්තුව මහ විදුහලට විශාල අඩුපාඩුවක්ව පැවති බුද්ධ මන්දිරයක් ලක්ෂ දහයක වියදමින් ඉදිකරදීම නාහිමියන්ගේ තවත් සමාජ සත්කාරයකි.
මේ ආදී ආගමික හා සමාජීය මෙහෙවරවල නිරත අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබ ඉදිරියේ දී ශාසනය වෙනුවෙන් තව තවත් මෙහෙරව ඉටු කිරීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.
අනුරාධපුර නැඟෙනහිර සමූහ
සේනපුර ඩී. නිශ්ශංක

0 Comments