2015 වසරේ සිට වත්මන් රජය ක්‍රියාවට නැංවූ සංවර්ධන කාර්යයන් අතුරින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන නිවාස හා ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළ මුල්තැනක් ගනු ලබයි. ශ්‍රී ලංකාවේ පාරම්පරික ජනතාව බහුතර ලෙසින් ජීවත්වන ග්‍රාමීය ප්‍රදේශ තුළත්, වඩාත් සංකීර්ණ නිවාස ගැටලු පවත්නා නාගරික ප්‍රදේශ ආශ්‍රිතවත්, රටේ ආර්ථිකය ශක්තිමත් කරලීම උදෙසා සිය දායකත්වය ලබාදෙන වතුකරයේ ජනතාව උදෙසාත්, දශක කිහිපයක් ජනවාර්ගික ගැටලුවට මුහණ දුන් උතුරු නැඟෙනහිර ජනතාවගේ නිවාස හා ජනාවාස ගැටලු සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ ජන ජීවිතයට වඩාත් සමීප නිවාස හා ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළක් 2015 වසරේ සිට සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ තුළින් ක්‍රියාත්මක කෙරේ.
සහභාගීත්ව නිවාසකරණය
මේ වැඩපිළිවෙළේ මූලික අරමුණ වනුයේ, මේ සෑම ජන කොටසකගේම නිවාස අවශ්‍යතාවය තේරුම් ගනිමින්, ඔවුන්ගේ පුර්ණ සහභාගීත්වයෙන්, ඔවුන් සඳහා වූ නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන් නිර්මාණය කොට ඔවුන්ගේම පූර්ණ දායකත්වයෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමයි. ඒ හේතුවෙන් මේ ජන කණ්ඩායම්වල විවිධ වූ අවශ්‍යතාවයන් මේ නිවාස හා ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළ තුළින් එකම කාල රාමුවක් තුළදී ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේ.
මෙතෙක් පැවැති කිසිදු රජයකට, නිවාස හා ජනාවාස ක්‍ෂේත්‍රයේ නිශ්චිත දත්ත හා තොරතුරු එක්රැස් කර ගැනීමට නොහැකි විය. බොහෝ දුරට සිදුකරනු ලැබුවේ දස වසරකට වරක් පවත්වනු ලබන නිවාස සංගණනය පාදක කර ගනිමින් සකස් කරන්නා වූ තොරතුරුවලට අනුගතවෙමින් වාර්ෂිකව නිවාසකරණය සඳහා වූ සැලසුම් සකස් කිරීමයි.
විධිමත් නිවාස සමීක්ෂණයක්
නිවාස හා ඉදි කිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි 2016 වසරේ දී නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය, ප්‍රථම වරට දිවයිනේ සියලු දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සමගින් ගම් මට්ටමේ සේවයේ නියුතු සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජාතික නිවාස සමීක්ෂණයක් පවත්වනු ලැබීය. මේ සමීක්ෂණයට අනුකූලව දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා වසම් මට්ටමින් වඩාත් නිවැරැදි නිවාස තොරතුරු එක්රැස් කර ගැනීමට හැකියාව ලැබිණි. සමස්තයක් ලෙසින් ගත් කළ එම සමීක්ෂණයට අනුව දිවයින පුරා පවත්නා 52, 77, 408ක් වූ සමස්ත නිවාස ප්‍රමාණයේ 1, 227, 523 වැඩි දියුණු කළ යුතු නිවාස වශයෙන් හඳුනාගෙන තිබේ. මෙයට අමතරව නිවාස 1, 340, 928ක් අලුතින් ඉදි කළ යුතු නිවාස වේ. මේ නව නිවාස ඉදි කිරීම් ප්‍රමාණය තුළ දැනට දිවයින පුරා පවත්නා තාවකාලික නිවාස, පොල්අතු සෙවිලි නිවාස, තහඩු සෙවිලි නිවාස වැනි නිවාස ඒකකයන් අයත් වේ. මෙයට අමතරව නිවාස ඉදි කිරීමට ඉඩමකට හිමිකම් නොමැති පවුල්, කුලී නිවාස පදිංචිකරුවන් වැනි කණ්ඩායම් ද මේ නිවාසලාභීන්ගේ ප්‍රමාණයට අයත්වේ.
සමස්ත නිවාස ප්‍රමාණයෙන් අඩක් ඉදිවිය යුතුයි
සමස්තයක් ලෙසින් ගත් කළ මෙරට පවත්නා පනස් දෙලක්ෂයකට අධික නිවාස ප්‍රමාණයෙන් විසිපන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අලුතින් ඉදි විය යුතු නිවාස හෝ වැඩි දියුණු කළ යුතු නිවාස ලෙසින් හඳුනාගෙන ඇත.
ඒ අනුව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක, සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව විවිධ නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන් යටතේ ක්‍රියාවට නංවනු ලබන්නේ මේ සමීක්ෂණ වාර්තාවේ සඳහන් නිවාස අවශ්‍යතාවයන් සපුරාලීම ඉලක්කකොටයි.
ශ්‍රී ලංකාවේ නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන මෙරට ජනතාවගේ වඩාත් ආකර්ෂණීය සංවර්ධන වැඩසටහනක් බවට පත්වීමත්, ජාත්‍යන්තර ප්‍රජාව එම වැඩසටහන පිළිබඳ අවධානය යොමු කිරීමටත්, මුලික හේතුව වූයේ මේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ සඳහා නිවාසලාභීන්ගේ උපරිම දායකත්වය හා සහභාගීත්වය හිමිවීමයි. සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ වෙනුවෙන් රජය විසින් සිදුකරනු ලැබුවේ නිවාසලාභියාට තම නිවහනේ මූලික ඉදි කිරීම් සිදු කිරීමට අවශ්‍ය සැලසුම් සමගින් තාක්ෂණ උපදෙස් ලබාදෙමින් තමන්ට දැරිය හැකි නිවසක් ඉදි කර ගැනීමට අවශ්‍ය මූලික මුදල ලබාදීමයි. නිවාසලාභියා විසින්, එහි තමන් සතු ඉතිරි කිරීම් සමඟින් තම ශ්‍රමය ද එක් කරලමින් රාජ්‍ය ප්‍රතිපත්තීන් හා සැලසුම්වලට අනුගතවෙමින් තම නිවහන තම දායකත්වයෙන් ඉදිකර ගැනේ.
එම සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන වඩාත් ප්‍රායෝගිකව ඵලදායී අයුරින් රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුගතවෙමින් ක්‍රියාත්මක වූ කාලයක් ලෙසින් 2015 වසරේ සිට මේ දක්වා වූ කාලය හඳුන්වාදිය හැකිය. එකී කාලය තුළ දී රාජ්‍ය මූල්‍ය ආයෝජනය සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන සඳහා විශාල වශයෙන් වර්ධනයවී ඇත.
නිවාස සංවර්ධනයට වැඩි මූල්‍ය ආයෝජනයක්
2010 වසරේ සිට 2014 වසර දක්වා වූ පසුගිය පාලන සමය තුළ දී සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ සඳහා රජය විසින් සිදු කළ සමස්ත මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 5637කි. එසේ වුවද, 2015 වසරේ සිට වර්තමානය දක්වා මේ මූල්‍ය ආයෝජනය වාර්තාගත මට්ටමකින් වර්ධනයවී තිබේ. 2015 වසරේ දී රජය සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනට රුපියල් මිලියන 4627ක මුදලක් ආයෝජනය කරමින් පවුල් 84, 680 කට ප්‍රතිලාභ හිමිකර දී ඇති අතර, 2016 වසරේ දී මේ මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 6738 කට වර්ධනය කළ අතර, ප්‍රතිලාභ ලැබූ පවුල් ප්‍රමාණය 124, 854ක් විය. 2017 වසර අවසානයේ ආයෝජිත මුළු මුදල රුපියල් මිලියන 9625.551කි. ප්‍රතිලාභ හිමිකරගත් පවුල් ප්‍රමාණය 59, 826 කි.
ආදර්ශ ගම්මාන 500ක්
නිවාස හා ඉදි කිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක, සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ නිශ්චිත ජාතික ඉලක්කය සැලසුම්වී තිබේ. මේ සියලු ඉලක්ක ඉටු කර ගැනීම උදෙසා සියලු වැඩසටහන් විධිමත්ව ක්‍රියාවට නැංවේ. එකී සැලැස්මට අනුකූලව 2015 වසරින් ආරම්භ කළ සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහනේ මූලික අරමුණ වූයේ 2017 වසර අවසන් වනවිට දිවයින පුරා ආදර්ශ ගම්මාන 500ක ඉදි කිරීම් කටයුතු සිදු කිරීමයි. එම අරමුණ ඉටු කර ගැනීමේ හැකියාව අදාළ වැඩසටහන සිය ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තුළින් පෙන්නුම් කර ඇත. මේ වැඩසටහනට අනුව 2015 වසරේ ආදර්ශ ගම්මාන 40ක් දිවයින පුරා ඉදිකර ඇති අතර, 2016 වසරේ දී එම ගම්මාන ප්‍රමාණය තවත් 197කින් වර්ධනය කර ඇත. 2017 වසර ආරම්භයේ සිට 2017 වසර අවසන් වනුයේ එම වර්ෂය තුළ දී පමණක් අභිනවයෙන් ඉදි කිරීම් ඇරැඹි ආදර්ශ ගම්මාන ප්‍රමාණය 270කි. සමස්තයක් වශයෙන් ගත්කළ 2015 වසරේ සිට 2017 වසරේ නොවැම්බර් 24 දිනට සැමට සෙවණ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන යටතේ දිවයින පුරා ඉදි කිරීම් ඇරැඹි ආදර්ශ ගම්මාන ප්‍රමාණය 507කි. එම සමස්ත නිවාස ප්‍රමාණය 15, 963කි. ඒ සඳහා ආයෝජිත මුදල රුපියල් මිලියන 6170කි.
නිශ්චිත වශයෙන් 2017 වසර අවසන්වීමට ප්‍රථම මේ ආදර්ශ ගම්මාන 500 ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබෙන අතර, නිවාස හා ඉදි කිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස පෙන්නුම් කරදෙන ආකාරයට රජයේ ප්‍රතිපත්තිය හා ජාතික නිවාස වැඩසටහනේ මූලික අරමුණ වනුයේ 2020 වසරේ වත්මන් රජයේ පාලන කාල පරිච්ඡේදය තුළ දී මෙවන් ආදර්ශ ගම්මාන 2500ක් දිවයින පුරා ඉදි කරලීමයි.
ඉදි කෙරෙන්නා වූ මේ සෑම ආදර්ශ ගම්මානයක්ම නිවාස සඳහා සීමා නොවේ. අදාළ ආදර්ශ ගම්මාන නිවාසලාභීන්ගේ අයිතියට පත් කරන අවස්ථාව වනවිට සෑම නිවසක්ම ගෙයකට අවශ්‍ය මුලික උපාංගයන්ගෙන් සමන්විත වන අතර, ගෙවතු වගාව සමඟින් නිවාසලාභියාගේ ජන ජීවිතයට අවශ්‍ය කරන්නා වූ සියලු උපාංග එයට එක්ව තිබේ. එමෙන්ම අදාළ ආදර්ශ ගම්මානය විධිමත් ජනාවාසයක් ලෙසින් පැවැත්වීම සඳහා අවශ්‍ය කරන්නා වූ මාර්ග, ජලය වැනි මූලික පහසුකම් ද එයට එක්වේ.
ග්‍රාමීය නිවාස වැඩසටහන සවිමත් කළ ග්‍රාමශක්ති
මේ සියලු කාර්යන් සිදු කිරීම උදෙසා ජනාධිපතිවරයාගේ පුරෝගාමීත්වයෙන් ක්‍රියාත්මක ජනාධිපති කාර්යයසාධන වැඩසටහනේ සියලු ක්‍රියාකාරකම් මේ ආදර්ශ ගම්මාන වැඩසටහන සමඟින් ක්‍රියාත්මක කෙරේ. එමෙන්ම ජනාධිපතිවරයාගේ මූලික අදහසක් පෙරදැරිකොට ක්‍රියාත්මක ග්‍රාමශක්ති ජාතික වැඩසටහන සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනට අනුගතවීම මෙහි දී වඩාත් අගය කළ යුතුවේ. ගම්මාන ආශ්‍රිතව නිවාස සංවර්ධනය මුල්කොටගත් සෙසු සියලු සංවර්ධන කාර්යයන් ඉටු කිරීමේ දී ගම සතු සවිය ශක්තිමත් කරලීම උදෙසා වූ ග්‍රාමශක්ති වැඩපිළිවෙළ වඩාත් ක්‍රියාශීලීව ක්‍රියාත්මක වේ. මෙයට දායකත්වය ලබාදෙන ක්‍ෂේත්‍ර නිලධාරීන් ග්‍රාමශක්ති නිලධාරීන් වශයෙන් ගමේ සංවර්ධනය සඳහා දායකත්වය ලබාදේ. ගමේ නිවාස සමිතිය ගම්මානයේ නිවාස සංවර්ධන කාර්යයන් සඳහා මූලික තීරකයක් ලෙසින් කටයුතු කරන අතර, දිස්ත්‍රික් මට්ටමින් දිසාපතිවරයාගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් නිවාස කමිටු, ප්‍රාදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් යුත් ප්‍රාදේශීය කමිටු සහ ගම් මට්ටමින් ස්ථාපිත කර ඇති ගැමි නිවාස කමිටු මේ ගම්මාන හඳුනා ගැනීම, සංවර්ධනය කිරීම සහ නිවාසලාභීන්ගේ අයිතියට පත් කිරීම දක්වා සියලු කාර්යයන් සඳහා සිය දායකත්වය ලබාදෙනු ලබයි.
ඒ අනුව සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ ආදර්ශ ගම්මාන වැඩසටහන් ඇතුළු සියලු සංවර්ධන වැඩසටහන් හුදෙක්, නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශයට හෝ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සිමානොවී ගම හා ආශ්‍රිත සියලු කාර්යයන්හි සේවයේ නියුතු සංවිධාන හා පුද්ගලයන්ගේ දායකත්වය ලැබෙන ආකාරයෙන් මේ වැඩසටහන සැලසුම්වී ඇත.
පවුල් ලක්ෂයකට විසිරි ණය
ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව නව ආදර්ශ ගම්මාන බිහිවීමට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි නිවාසලාභීන් පෞද්ගලිකව සිය නිවහන් ඉදිකර ගැනීමට විශාල කැමැත්තක් දක්වනු ලබයි. විසිරුණු නිවාස අවශ්‍යතාවය සපුරාලීම උදෙසා ක්‍රියාත්මක, මේ නිවාස සංවර්ධන වැඩසටහන 2015 වසර සිට මේ දක්වා වඩාත් සාර්ථකව ක්‍රියාත්මක විය. විසිරි නිවාස වැඩසටහන ලෙසින් හඳුන්වාදෙනු ලැබූ දීප ව්‍යාප්තව නිවාසලාභීන්ගේ පෞද්ගලික නිවාස අවශ්‍යතාවයන් ඉටු කිරීම උදෙසා ක්‍රියාත්මක කරනු ලැබූ මෙකී වැඩපිළිවෙළ යටතේ 2015 සිට 2017 වසර අවසානයේ නිවාස ප්‍රතිලාභීන් 82,000ක් සඳහා ප්‍රතිලාභ හිමිකර දී ඇති අතර, ඒ සඳහා ආයෝජිත මුදල රුපියල් මිලියන 286,223 කි.
උදාකළ ගම්මාන තුළ නිවාස 1773ක් ඉදිවේ
අසූව දශකයේ සිට දිවයින පුරා ඉදි කෙරුණු නිවාස ව්‍යාපෘතීන්හි පවත්නා නිවාස වැඩි දියුණු කිරීමේ උදාකළ ගම්මාන සංවර්ධන වැඩසටහන සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ 2016 වසරේ දී ආරම්භ විය. එම වැඩපිළිවෙළ යටතේ 2016-2017 දෙවර්ෂය තුළ නිවාස 1773ක ඉදි කිරීම් කාර්යයන් සිදුකර ඇති අතර, ඒ සඳහා වැය කොට ඇති මුදල රුපියල් මිලියන 286.223ක් වේ.
උතුරේ අවතැන් වූවන්ට නව ගම්මාන 48ක්
දශක කිහිපයක යුද්ධය හේතුවෙන් උතුරේ ජනතාවට, සිය පාරම්පරික නිවහන් අහිමි විය. ඔවුන් තම පවුලේ අවශ්‍යතාවයට අනුකූලව නිර්මාණය කරනු ලැබූ නිවාස සහ එය මුල්කොට ගත්තා වූ ජනාවාස නැවත නිර්මාණය කර ගැනීම, උතුරු නැඟෙනහිර ප්‍රදේශයන්හි යුද්ධයෙන් අවතැන් වූ ජන කණ්ඩායමේ මූලික අවශ්‍යතාවයක් විය.
මෙය වඩාත් නිවැරැදිව තේරුම්ගත් සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ, 2017 වසරේ සිට උතුරේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ හඳුන්වාදෙනු ලැබීය. නිවාස හා ඉදි කිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුකූලතාවය දක්වමින් රජය විසින් එම සංවර්ධන ක්‍රියාදාමය යටතේ උතුරු පළාතේ යාපනය, මන්නාරම, වවුනියාව, මුලතිවු සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක තුළ නව ආදර්ශ ගම්මාන 48ක නිවාස 2500ක ඉදි කිරීම් කටයුතු සිදු කිරීමට අනුමැතිය ලබාදුන් අතර, මේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ සඳහා රාජ්‍ය මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 1268කි.
මේ මුදල් ආයෝජනය තුළින් උතුරේ සියලු දිස්ත්‍රික්ක තුළ යෝජිත ආදර්ශ ගම්මාන 49 හි සියලු නිවාසයන්හි මුලික ඉදි කිරීම් කටයුතු දැනටමත් නිමකොට තිබේ. ඒ සෑම නිවසකම ඉදි කිරීම් කටයුතු සඳහා රජය, එක් නිවසකට රුපියල් ලක්ෂ 05 බැගින් ආධාර මුදල් ප්‍රදානය කළ අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබාදුන් තාක්ෂණික දායකත්වය සහ ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන දායක කරගනිමින් තම ශ්‍රමය හා ඉතිරි කිරීම් ද එක්කරමින් මේ ප්‍රජාව සිය නිවාස ඉදිකර ගැනීම සිදුකරයි.
මේ වැඩපිළිවෙළේ සාර්ථකත්වය හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ දී ද සහභාගීත්ව නිවාස සංවර්ධනය දායක කර ගනිමින් උතුරේ ජනතාවට නිවාස පහසුකම් සැපයීමට රජය තීරණය කර ඇති අතර, 2018 වසරේ යෝජිත මේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ තුළින් නිවාස ඒකක 5000ක් රුපියල් මිලියන 3000ක මූල්‍ය ආයෝජනයකින් ඉදි කිරීමට නියමිතව ඇත.
මඩකලපුවට නිවාස 1000ක්
උතුරු පළාතේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළේ සාර්ථක අත්දැකිම් පාදක කර ගනිමින් නැඟෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කය තුළ අවතැන් වූ දරුපවුල් 1000 කට නිවාස පහසුකම් සැපයීම සඳහා රජය රුපියල් මිලියන 500ක මුදලක් ආයෝජනය කළ අතර, එම මූල්‍ය ආයෝජනය මඟින් මඩකලපුව දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මාන 20ක් සහ උදාකළ ගම්මාන 15ක් ඉදි කිරීම 2017 වසරේ දී සිදුවිය.
වැලිඔය ගම්මාන 18ක නිවාස 1000ක්
මුලතිවු දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ගත වූ යුද සමයේ දී දැඩි අභියෝගයට ලක් වූ ප්‍රදේශයක් විය. වර්තමානයේ එම ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කඩිනම් සංවර්ධනයට සමගාමීව සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ යටතේ ද විධිමත් නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. එම වැඩපිළිවෙළට අනුකූලව වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආදර්ශ ගම්මාන 09ක් හා උදාකළ ගම්මාන 09ක ඉදි කිරීම් කටයුතු සිදුකෙරෙන අතර, එම ආදර්ශ ගම්මාන 09 තුළ ඉදි කෙරෙන නව නිවාස ප්‍රමාණය 519කි. උදාකළ ගම්මාන 09 ආශ්‍රිතව නිවාස 565ක සංවර්ධන කාර්යයන් සිදුකෙරේ. සමස්ත ක්‍රියාවලිය සඳහා රාජ්‍ය මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 372ක් වේ.
වවුනියාව බෝගස්වැව නිවාස සංවර්ධනය
වවුනියාව උතුරු කලාපයේ බෝගස්වැව පාරම්පරික ගම්මානය, යුද්ධයෙන් දැඩි ලෙසින් හානියට පත් වූ ප්‍රදේශයකි. එහි පවත්නා සියලු නිවාස අලුතින් ඉදි කිරීම හා පිළිසකර කිරීම සිදු කළ යුතු තත්ත්වයක පවතී. සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළේ ක්‍රියාකාරීත්වය, නිවාස හා ඉදි කිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීම මත බෝගස්වැව පාරම්පරික ගම්මානයට හඳුන්වාදීම හේතුවෙන්, අද බෝගස්වැව පාරම්පරික ගම්මානයේ ආදර්ශ ගම්මාන 06ක නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් ඉදි කිරීම හා වැඩි දියුණු කිරීම සිදුකෙරේ. ඒ සඳහා වූ රාජ්‍ය මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 229 කි.
වකුගඩු රෝගීන් 1500කට නිවාස
දිවයින පුරා විවිධ ප්‍රදේශයන්හි වකුගඩු රෝගයෙන් පීඩාවට පත් වූ රෝගීන් සඳහා ඔවුන්ගේ ප්‍රතිකර්මයනට සුදුසු ආකාරයෙන් නිවසේ විවිධ උපාංග වැඩි දියුණු කිරීමත් නිවසේ ජීවත්වන සෙසු නිවාසලාභීන්ට අවශ්‍ය නිවාස පහසුකම් සපයාදීමත් අරමුණුකොට වකුගඩු රෝගයෙන් පීඩාවට පත් පවුල් සඳහා නව නිවාස සංවර්ධන වැඩසටහනක් 2017 වසරත් සමඟින් හඳුන්වා දෙනු ලැබීය.
මේ වැඩසටහන 2017 වසර තුළ අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, වවුනියාව, මාතලේ, බදුල්ල, අම්පාර, ත්‍රිකුණාමලය, මුලතිවු, මොණරාගල, රත්නපුරය, ගම්පහ, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කයනට හඳුන්වා දුන් අතර, ඒ තුළින් පවුල් 1506කට නිවාස පහසුකම් සපයා දීම සිදු කළ අතර, එකී වැඩසටහනට රාජ්‍ය මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 500කි. යෝජිත මේ නිවාස සංවර්ධන වැඩසටහන තුළින් වකුගඩු රෝගයෙන් පීඩාවට පත් වූ රෝගීන් සඳහා සිය රෝගය සුවදායක තත්ත්වයට ගෙන ඒමට සුදුසු ආකාරයෙන් සිය නිවහන, වැසිකිලිය වැනි උපාංග සකස් කරන අතර, නිවසේ සෙසු නිවාසලාභීන්ට එම නිවාස පිළිසකර කිරීම තුළින් ප්‍රතිලාභ හිමිවේ.
සම්පත් සෙවණින් පවුල් 7973කට නිවාස ඉදි කිරීමට රුපියල් මිලියන 78ක්
අසූව දශකයේ සිට උදාගම් ව්‍යාපාරය යටතේ දිවයින පුරා නිවාස ඉදි කරලීම වෙනුවෙන් ලබාදුන් ණය මුදල් නැවත අය කර ගනිමින් එම මුදල් නව නිවාස ඉදි කිරීමට හා පවත්නා නිවාස වැඩි දියුණු කිරීම වෙනුවෙන් ප්‍රතිආයෝජනය කිරීමේ වැඩපිළිවෙළ පසුගිය තෙවසරක කාලපරිච්ඡේදය තුළ දී වඩාත් විධිමත් ආකාරයෙන් සිදුවිය. නිවාස හා ඉදි කිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි නිවාසලාභීන් විසින් නැවත ගෙවනු ලබන මුදල් ආයෝජනය කිරීමේ සම්පත් සෙවණ වැඩපිළිවෙළ සකස් කරන අතර, එකී වැඩසටහන යටතේ නව නිවාස ඉදි කිරීමට හා පවත්නා නිවාස වැඩි දියුණුව වෙනුවෙන් ණය මුදල් ප්‍රදානය කිරීම සිදුකෙරේ.
එම කාර්යය මුල්කොට 2015-2017 වසර දක්වා පවුල් 7973 කට ප්‍රතිලාභ ප්‍රදානය කර ඇති අතර, එම වැඩසටහනට ආයෝජිත මුදල රුපියල් මිලියන 878.255 කි.
ශිල්ප සවියෙන් නිවාස හා ඉදි කිරීම් ක්‍ෂේත්‍රයට සවියක්
මෙරට ඉදි කිරීම් කර්මාන්තය හා නිවාස සංවර්ධනය උදෙසා දැඩි පුහුණු ශිල්පීය අවශ්‍යතාවයක් පවතී. එම තත්ත්වය වඩාත් නිවැරැදිව තේරුම් ගැනීම තුළින් නිවාස හා ඉදි කිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා, සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනට සමගාමීව සැමට සෙවණ ශිල්ප සවිය වැඩසටහන හඳුන්වා දෙනු ලැබීය. එම වැඩපිළිවෙළේ මූලික අපේක්ෂාව වූයේ නිවාස සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන ප්‍රදේශයන්හි ශිල්පීය හැකියාවන් පෙන්නුම් කරන තරුණ තරුණියන් හට වඩු හා මේසන් කර්මාන්තය මුල්කොටගත් ශිල්පීය වැඩසටහන හඳුන්වා දී ඔවුන්ට නිසි පුහුණුවක්, දීමනාවක් හිමිකර දැනුම සමගින් නිවාස සංවර්ධන කාර්යයන් හා ඉදි කිරීම් කර්මාන්තයට ඔවුන් යොමු කිරීමයි. 2016 වසරේ දී මේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 500ක් වැය කරමින් වඩු හා මේසන් කාර්මික ශිල්පීන් 10000කට පුහුණුව ලබාදුන් අතර, 2017 වසරේ දී රුපියල් මිලියන 94ක මූල්‍ය ආයෝජනයකින් ඉදි කිරීමට ඉලක්කගත ශිල්පීන් ප්‍රමාණය 1800 කි.
සෑම පවුලකටම නිවසක හිමිකම
සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන හුදෙක්, නිවාස ඉදි කිරීමට පමණක් නොවේ. මෙතෙක් මෙරට ඉදි වූ සෑම නිවසක හිමිකම ලබාදීම රජයේ අපේක්ෂාවයි. ඒ අනුව අසූව දශකයේ සිට මෙරට ඉදි වූ සෑම නිවසකම හිමිකම ලබාදීම සඳහා වූ විශේෂිත වැඩපිළිවෙළක් නිවාස හා ඉදි කිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාවට නංවා ඇත. එකී වැඩසටහනට අනුකූලව දිවයින පුරා ඉදි වූ සියලු නිවාස ව්‍යාපෘතීන්හි නිවාසලාභීන්ට අදාළ නිවාසයන්හි අයිතිය හිමිකරදීම 2020 වසරට ප්‍රථම සිදු කිරීමට ඉලක්කකර තිබේ. මේ වැඩපිළිවෙළ යටතේ 2015 වසරේ සිට 2017 වසරේ වර්තමානය වනවිට නිකුත් කර ඇති සින්නක්කර ඔප්පු ප්‍රමාණය 6407 කි.
සින්නක්කර හිමිකම ඔප්පුවකින් ලබා ගැනීමට අමතරව නිත්‍යානුකූලව තමන් ජීවත්වන නිවසේ අයිතිය තමන්ට ලබා ගැනීමට අමතරව සිය නිවහනේ සමාජ අයිතිය හිමිකරදීම අරමුණුකොට රජය ක්‍රියාත්මක කරනු ලබන බදු ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන කොළඹ නගරය ඇතුළු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක කෙරේ. මේ බදු සහන ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ 2016 වසරේ සහ 2017 වසරේ ලබාදුන් ඔප්පු ප්‍රමාණය 9397කි. මේ අනුව 2015-2017 කාල පරිච්ඡේදය තුළ නිවාස හිමිකම් ලබාදීමේ ක්‍රියාවලිය යටතේ සින්නක්කර හා බදු ඔප්පු නිකුත් කිරීම තුළින් ප්‍රතිලාභීන් 15804 කට සහායවී තිබේ.
දුප්පතුන්ගේ නිවාසකරණයට පිහිට වූ සෙවණ අරමුදල
අඩු ආදායම්ලාභී ජනකොටස සඳහා මෙවන් ආකාරයට රාජ්‍ය මූල්‍ය අනුග්‍රහයෙන් නිවාස ණය ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට සමගාමීව දුප්පත්කමින් අසරණ භාවයට පත්වූවන් සඳහා නිවසක් ඉදිකරදීම තුළින් පිහිටවීම අරමුණුකොට අසූව දශකයේ ආරම්භ කළ සෙවණ අරමුදල වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන කාල පරිච්ඡේදයක් ලෙසින් වර්තමානය හඳුන්වා දිය හැකිවේ. පසුගිය දෙවසරක කාලය තුළ දී සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ ප්‍රසාදයට පත් දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන් මේ වැඩසටහන සඳහා සෙවණ අරමුදල වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයන් සිදුකරනු ලැබීය. සිය වැටුප අනෙකුත් දීමනා සෙවණ අරමුදලට නිරන්තරයෙන් පරිත්‍යාග කිරීමෙන් නිවාස හා ඉදි කිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මේ සඳහා වඩාත් නිවැරැදි ආදර්ශය ලබාදී තිබේ. එවන් පරිත්‍යාග තුළින් සෙවණ අරමුදල ශක්තිමත් වන අතරතුර ජාතික ලොතරැයි මණ්ඩලය, සෙවණ ලොතරැයිය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම හේතුවෙන් එකී ලොතරැයි පත් අලෙවිය විශාල වශයෙන් වර්ධනයවී ඇත. ඒ සියලු මූල්‍ය දායකත්වය තුළින් 2015 වසරේ සිට මේ දක්වා එම අරමුදල් ප්‍රතිලාභ ලැබූ පවුල් ප්‍රමාණය 4399කි. එයට සෙවණ අරමුදල ලබාදුන් මූල්‍ය දායකත්වය රුපියල් මිලියන 88.458කි.
මධ්‍ය ආදායම්ලාභීන්ට දැරිය හැකි නිවසක්
මධ්‍ය ආදායම්ලාභීන් නිරන්තරයෙන් නිවාසකරණය සඳහා ඔවුන්ගේ ආදායමට සරිලන අයුරින් නිවසක හිමිකමක් ලබාදීම රාජ්‍ය වගකීම වුවද, එය මෙතෙක් සාර්ථකව ඉටු කර ගැනීමට නොහැකි විය. ඒ පිළිබඳ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මධ්‍ය ආදායම්ලාභීන්ට නිවාස ලක්ෂ 05ක් ඉදි කිරීමේ ජාතික නිවාස වැඩපිළිවෙළ දියත් කරනු ලැබීය. නිවාස හා ඉදි කිරීම් ඇමැතිවරයාගේ උපදෙස් පරිදි නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මැදිහත්කරු ලෙසින් මේ නිවාස සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, රජය විසින් ලබාදෙන මූලික යටිතල පහසුකම්වලින් සමන්විත ඉඩම් භාවිතාකොට පෞද්ගලික අංශයේ මූල්‍ය ආයෝජනයෙන් මධ්‍ය ආදායම්ලාභීන්ට දැරිය හැකි මිලකට නිවාස ඉදි කරලීම එම නිවාස සංවර්ධන වැඩසටහන තුළින් සිදුකෙරේ.
මෙහි ප්‍රථම නිවාස ව්‍යාපෘතිය පානදුර, වාද්දුව ප්‍රදේශයේ, ‘සීබ්‍රිස්’ නමින් ඉදි වූ අතර, මධ්‍ය ආදායම්ලාභීන්ට සරිලන අයුරින් නිවාස 196කින් සමන්විත මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජිත මුදල රුපියල් මිලියන 1250ක් වේ.
‘ග්‍රීන්වැලි’ නමින් ජල්තර හෝමාගම ප්‍රදේශයේ ඉදි වූ මෙහි දෙවන නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1945ක මුදලක් ආයෝජනය කර ඇති අතර, ඉදිවී ඇති නිවාස ප්‍රමාණය 352 කි.
රාගම, දඹුවවත්ත ප්‍රදේශයේ, ලාවන්‍යා හයිට්ස්, නමින් ඉදි වූ මෙහි තෙවන නිවාස ව්‍යාපෘතිය නව නිවාස 124කින් සමන්විත වන අතර, වැය වූ මුදල රුපියල් මිලියන 750 කි.
මේ වැඩසටහන යටතේ ඉදි වූ විශාලතම නිවාස ව්‍යාපෘතිය වන සිවුවන ව්‍යාපෘතිය, මවුන්ට් ක්ලිෆර්ඩ් රේන්ජ්, හෝමාගම ජල්තර ප්‍රදේශයේ ඉදිවන අතර, නව නිවාස 860කින් යුක්තව ඉදිවන මේ නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජිත මුදල රුපියල් මිලියන 5504ක් වේ.
මධ්‍ය ආදායම්ලාභීන් අතර බෙහෙවින් ජනප්‍රිය නිවාස ව්‍යාපෘතියක් බවට පත්ව ඇති මේ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික දායකත්වයෙන් යුක්ත වන අතර, මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ හා යක්කල වැරැල්ලවත්ත ප්‍රදේශයේ තවත් නිවාස ව්‍යාපෘති දෙකක් මේ වසර තුළ දී ආරම්භ කෙරේ.
ජාතික නිවාස වැඩසටහනට වැඩි රාජ්‍ය මූල්‍ය ආයෝජනයක්
සහභාගීත්ව නිවාස සංවර්ධනය මුල්කොට වර්තමානයේ ක්‍රියාත්මක කරන සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ 2015 වසරේ සිට නිවාස ප්‍රතිලාභීන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරමින් සාර්ථක සංවර්ධන වැඩපිළිවෙළක් ලෙසින් ක්‍රියාවට නැංවුණු බව, ඉහත ක්‍රියාකාරකම් සාක්ෂි දරයි.
2015 වසරේ ඇරැඹි මේ ජාතික නිවාස වැඩපිළිවෙළ 2017 නොවැම්බර් මාසය වනවිට පවුල් 2,56,169 කට නිවාස ප්‍රතිලාභ හිමිකර දී ඇති අතර, ඒ වෙනුවෙන් රාජ්‍ය මුල්‍ය ආයෝජනය රුපියල් මිලියන 16412 කට ආසන්න වේ.
මේ සියලු ක්‍රියාකාරකම් හේතුවෙන් 2018 වසරේ දී රජය විසින් සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන මුල්කොටගත් නිවාස සංවර්ධන කාර්යයන් වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 10,000ක රාජ්‍ය අරමුදල් ප්‍රමාණයක් වෙන්කර දී ඇත. මෙරට ග්‍රාමීය ප්‍රදේශ තුළ මෙන්ම නාගරික හා වතුකරය හා උතුරු නැඟෙනහිර ප්‍රදේශවල ජීවත්වන නිවාසලාභින්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කිරීමට අදාළ අරමුදල් උපරිම වශයෙන් දායකකර ගැනීම සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ අපේක්ෂාවයි.
ලක්විජය සාගර පලන්සූරිය

0 Comments