Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ විශ්වවිද්‍යාලයේ හෙද පීඨය මේ වසරේ දී ඇරැඹේ

 ශ්‍රී ලාංකීය හෙද අධ්‍යාපනයට නව දැක්මක් සහිතව කොළඹ විශ්ව විද්‍යාලයේ හෙද පීඨය මේ වසරේ දී ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලාංකීය හෙද ක්‍ෂේත්‍රය මුහුණ පා ඇති ප්‍රධානතම අභියෝගය ජය ගැනීම සඳහා වසර කිහිපයක් තිස්සේ සිදුකරන ලද කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ඉල්ලීමට අනුව කොළඹ විශ්ව විද්‍යාලය හෙද අධ්‍යාපනය වෙනුවෙන්ම කැපවූ හෙද පීඨයක් ශ්‍රී ජයවර්ධනපුර ජාතික හෙද විදුහල මූලික කරගෙන ආරම්භ කිරීමට තීරණයකර ඇත.

මේ පසුබිම තුළ කොළඹ විශ්ව විද්‍යාලය 2017 වසරේ දී ප්‍රථම වරට හෙද උපාධිය හැදෑරීම සඳහා සිසුන් 100ක් පමණ හෙද පීඨයට ඇතුළත් කර ගැනීමට යෝජනා වී ඇත. හෙද පීඨයේ වැඩකටයුතු සම්පූර්ණ කර ගත් පසු වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 500 දක්වා වැඩි කිරීමටද බලාපොරොත්තු වෙයි. මෙයින් 70% ක් ඉසෙඩ් අගය මත පදනම් වූ ක්‍රමවේදය ඔස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තෝරා ගනු ලබන අතර, 30 % ක් ඩිප්ලෝමාධාරී හෙද හෙදියන්ගෙන් බඳවා ගනු ලැබේ.

ශ්‍රී ලංකාවේ විධිමත් හෙද අධ්‍යාපනය ආරම්භ වූයේ 1939 දී කොළඹ හෙද විදුහල ස්ථාපනය කිරීමත් සමඟමය. හෙද විදුහල් 17කින් තුන් අවුරුදු හෙද ඩිප්ලෝමා පාඨමාලාව හදාරා දැනට රජයේ රෝහල්වල ලියාපදිංචි හෙද නිලධාරීහු 30 000 ක් පමණ සේවය කරති. 1

994 දී ශ්‍රී ලාංකීය හෙද හෙදියන් සඳහා උපාධි පාඨමාලාවක් කැනඩාවේ ඇතබැස්කා විශ්ව විද්‍යාලයේ සයෝගයෙන් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින් මුල් වරට ආරම්භ කරන ලදී.

එසේම හෙද විද්‍යාපති උපාධිය ශ්‍රී ලාංකීය හෙද හෙදියන් 20කට පමණ වසර 2000 -– 2002 අතර කාලයේදී ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩි විශ්ව විද්‍යාලය මගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මැදිහත් වීමෙන් ලබාගැනීමට අවස්ථාව සැලසුණි.

වසර කිහිපයක උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස 2005 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මඟින් අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත (ඉසෙඩි) අගය පදනම් කරගෙන සිසුන් 25ක් පමණ ජීව විද්‍යා විෂය ධාරාවෙන් වසර 4 ක හෙද උපාධිය හැදෑරීම සඳහා බඳවා ගන්නා ලදී.

මෙයද ශ්‍රී ලාංකීය හෙද අධ්‍යාපනයට නව මුහුණුවරක් ලැබුණු අවස්ථාවක් වූ අතර පේරාදෙණිය, රුහුණ, යාපනය හා නැගෙනහිර විශ්ව විද්‍යාලයන්හිද හෙද උපාධි පාඨමාලා මින් අනතුරුව ආරම්භ කරන ලදී.

දැනට කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයත් පෞද්ගලික ආයතන කිහිපයකමත් හෙද උපාධි පාඨමාලා ආරම්භ කර ඇත. එහෙත් ශ්‍රී ලාංකීය හෙද හෙදියන්ගෙන් ඉතාමත් අතලොස්සක ප්‍රමාණයකට පමණක් හෙද උපාධිධාරීන් වන්නට අවස්ථාව ලැබුණි .

මේ නව හෙද පීඨය විසින් උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාව හදාරන සිසුන් හට විද්‍යාවේදී හෙද උපාධිය ලබා දීමට අමතරව දැනට සේවයේ නියුතු හෙද හෙදියන්ට විද්‍යාවේදී හෙද උපාධිය ආංශික ප්‍රවේශ මාර්ගයන් තෙවන වසර සිට හැදෑරීමටද අවස්ථාව සැලසෙනු ඇත. එසේම හෙද පීඨය ස්ථාපනය කිරීම තුළින් පශ්චාද් හෙද උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළම හැදෑරීමටද හෙද හෙදියන්ට අවස්ථාව සැලසෙනු ඇත.

ලෝකයේ හැම රටකම පාහේ හෙද අධ්‍යාපනය උපාධි මට්ටමක පැවතෙන යුගයක ශ්‍රී ලංකාවේ ද හෙද පීඨයක් ආරම්භ කිරීම හෙද ප්‍රජාව පමණක් නොව රට වැසියන් සියලු දෙනාම ලද විශාල ජයග්‍රහණයකි මේ තුළින් ගුණාත්මක හෙද සේවයක් ලබා දීමට අවස්ථාව සැලසෙනු ඇත.

මෙහිදී හෙද නායක නායිකාවන් සැමවිටම ආදර්ශමත් විය යුතු අතර පුද්ගලිකව හා වෘත්තීය මටිටමින් යහපත් ප්‍රතිරූපයක් මහජනතාව තුළ ගොඩනැගෙන ආකාරයට තමන්ගේ සේවය ලබාදීමට වග බලාගත යුතුය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();