Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එක ඉඩම් හිමියකුට මාසයකට ලක්ෂ 65ක්

චමීර ඇල්ලදෙණිය

මහින්ද රාජපක්ෂ යුගයේ දී ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් විසින් සිය හිතවතුන්ගේ ඉඩම්ලවලට කසළ බැහැර කිරීමට අවසර ලබාදීමෙන් අත්තනගල්ල දඩගමුව ප්‍රදේශයේ කසළ ප්‍රශ්නයක් ඇති කොට මාසිකව විශාල ලෙස මුදල් උපයාගෙන ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවැසුවාය.

දඩුගමුව ප්‍රදේශයේ ඉඩමකට ප්‍රාදේශීය සභා පහකින් කසළ බැහැර කරමින් තිබෙන අතර, ඒ වෙනුවෙන් ඉඩම් හිමියාට මසකට රුපියල් ලක්ෂ 65ක මුදල් ලැබෙන බවද බණ්ඩාරනායක මහත්මිය අනාවරණය කළාය.

මේ ඉඩම් හිමියා මෙවර නව පක්ෂයක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වී ඇති බවත් කසළ ප්‍රශ්නයට රජය ගෙනයන වැඩපිළිවෙළ අක්‍රිය කිරීමට හා ජනතාව නොමඟ යැවීමට මේ පුද්ගලයා කටයුතු කරමින් සිටින බවත් හිටපු ජනාධිපතිනිය කීවාය.

අත්තනගල්ල ප්‍රදේශීය සභාවට අයත් බල ප්‍රදේශයේ කසළ ප්‍රශ්නය විසඳීම සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැදිහත්ව ඇති අතර, එම කසළවලින් දිරන කසළ ප්‍රමාණය කෙරවළපිටියට ගෙන යාමට පියවර ගෙන ඇත.

මීට අමතරව තවත් විකල්පයක් වශයෙන් අත්තනගල්ල ප්‍රදේශයේම අක්කර 300කින් යුත් තම ඥාතීන්ට අයත්වන ඉඩමක කසළ කළමනාකරණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යෝජනා කර ඇති බව ද එතුමිය ප්‍රකාශ කළාය.

අත්තනගල්ල ප්‍රදේශයේ කුණු මාෆියාව වැළැක්වීමට ඉදිරියටත් කටයුතු කරන බවත් ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහාය ලැබී ඇති බවත් බණ්ඩාරනායක මහත්මිය පැවැසුවාය.

කොමිස් ගන්නා පුද්ගලයන් විසින් රටේ සමහර ප්‍රදේශීය සභාවල කසළ ප්‍රශ්නය විසඳීම වෙනුවට ජනතාවට අවහිර වන සේ ඉඩම්වල කසළ ගොඩ ගසමින් මුදල් උපයා ගන්නා බවත් ඊට පරිසර අධිකාරියේ නිලධාරීන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ සහාය ලැබෙන බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කීවාය.

ඉදිරියේ දී කසළ එකතු කිරීමේ දී නොදිරන හා දිරන වශයෙන් කාණ්ඩ පහකට අදාළව කසළ එකතු කිරීමට පියවර ගැනීමට කටයුතු කරන අතර, ඉන් දිරන කසළ ගෙන කෙරවළපිටියට යොමු කරන අතර, ඉන් විදුලිය නිපදවීමට සැලසුම් කර ඇති බවද එතුමිය පැවැසුවාය.

තමන් බස්නාහිර පළාතේ මහ ඇමැතිවරිය ලෙස සිටින කාලයේ මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමට යෝජනා කළ බවත් ඊට විසඳුම් ලබාදුන් බවත් ඊට විපක්ෂය හා කසළවලින් යැපෙන අය විසඳුම්වලට ඉඩ නුදුන් බවත් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.

එහි දී අදහස් දැක් වූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය,

කසළ ජාතික ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. විශේෂයෙන් වේයන්ගොඩ, අත්තනගල්ල, දඩගමුව ගමේ හිටපු ප්‍රදේශීය සභා සභාපතිවරයා අවසර දී තිබෙනවා පුද්ගලික ඉඩමකට කසළ බැහැර කිරීමට. ඒ සඳහා අත්තනගල්ල සභාවෙන් විතරක් ලක්ෂ හයක් මසකට ලබාදී තිබෙනවා. නමුත් ඊට පසුව සභා පහකින් මේ ස්ථානයට කසළ ගෙනවිත් දමා තිබෙනවා. ඒ සඳහා මසකට මේ පුද්ගලයාට රුපියල් ලක්ෂ 65ක් ලැබෙනවා. ඒ මුදල් වියදම් කරමින් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ගමේ ජනතාවත් රවට්ටාගෙන ඉන්නවා. මේ කුණු ප්‍රශ්නය නිසා දඩගමුව වැවේ මාළු ටික මිය ගියා. කිලෝ මීටර් තුනක පමණ දුරට මේ දුඟද හමනවා. මේ ප්‍රශ්නය විසඳීමට මම විශාල සටනක් කළා. දුරකතන ඇමතුම් 70ක් විතර ගන්න වුණා. සාකච්ඡා 20ක් විතර තියන්න වුණා. ජනාධිපතිවරයාත් සාකච්ඡා දෙකකට සම්බන්ධ වුණා. මේ පළාතේ ජනතාවට බීමට තියා නාගන්නවත් ජලය පිරිසිදු මට්ටමක තිබුණේ නැහැ. මේ ඉඩම අයිතිකාරයා මේ වනවිට නව පක්ෂයක ඡන්ද අපේක්ෂකයෙක්. එතුමා දැන් අපි මේ කුණු ප්‍රශ්නය විසඳුවාම අපිට බැණ බැණ යනවා. අපි ඒවට බය වෙන්නේ නැහැ.

ඡායරූප
වාසිත පටබැඳිගේ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();