බදුල්ල දිස්ත්රික් සමූහ ජයසේන විජේනායක
බදුල්ල දිස්ත්රික්කයේ සමස්ත භූමි ප්රමාණයෙන් 80%කට වැඩි ප්රමාණයක් නායයෑමේ අවදානම් තත්ත්වයේ පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් 1: 10, 000 පරිමාණයෙන් සකස් කරන ලද නවතම සිතියම්වලින් අනාවරණය වී තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සකස් කරන ලද බදුල්ල දිස්ත්රික්කයේ නායයෑමේ අවධානම් ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාස 15 සිතියම් හා දත්ත ඇතුළත් සංයුක්ත තැටි එම ප්රාදේශීය ලේකම්වරුන්ට භාර දීම හා ඔවුන් දැනුවත් කිරීම වෙනුවෙන් බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ දී පසුගිය 17 වැනිදා පැවැති රැස්වීමක දී මේ බව අනාවරණය විය. ඌව පළාත් ආණ්ඩුකාර ඇම්. පී. ජයසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මේ රැස්වීමේ දී බදුල්ල දිස්ත්රික්කයේ අධි අවදානම් තත්ත්වයේ පවුල් 6000ක් සිටින බවත් ඒ අතර අවදානමට ලක්විය හැකි ගොඩනැගිලි 161, 000ක් තිබෙන බවත් පරීක්ෂණවල දී අනාවරණය වී ඇතැයි එහි දී හෙළි විය.
තව දුරටත් අදහස් ප්රකාශ කළ ආණ්ඩුකාරවරයා, දිවයිනේ දිස්ත්රික්ක අතර නායයාම් අවදානම් සහිත දිස්ත්රික්කයක් ලෙස බදුල්ල අයත්වන බැවින් මෙවැනි සිතියම් සකස් කිරීම මඟින් ඒ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කිරීමට හැකි බවත් ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට විශේෂ ස්තූතිය පළ කළ යුතු බව ද පැවැසීය.
මීරියබැද්ද නායයාම් සිදුවීම භුකම්පනයකින් වූ බව අනාවරණය වී ඇති බව ද එවැනි අපදා අවස්ථා සහිත ස්ථාන කල් ඇතිව හඳුනා ගැනීමටත් ඒ මඟින් ජනතාවට හා දේපලවලට වන හානි වළක්වා ගැනීමට පුර්ව සූදානම් වීම මඟින් හැකිවන බව ද පැවැසීය. බදුල්ල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 12ක හඳුනාගත් ග්රාමසේවා වසම් 263කට අදාළ සිතියම් මේ අවස්ථාවේ සකස් කර ඇති බව දැනගන්නට ලැබුණා. ඒ අනුව මේ පිළිබඳ අවධානය යොමුකර ඉදිරියට සිදුවිය හැකි නායයාම් ඇතුළු අපදාවලින් හැකි උපරිම අයුරින් වළක්වා ගනිමින් නිලධාරීන් ක්රියා කරනු ඇතැයි මා අපේක්ෂා කරනවා, ඉදිරි කාලයේ දී සංවර්ධන කටයුතු කිරීමේ දී භුමි ප්රදේශ හඳුනා ගැනීමේදී ද මේ සිතියම් වැදගත් වනවා ඇත. එමෙන්ම නව ඉදිකිරීම්වල දී පළාත් පාලන ආයතනවල නිලධාරීන් මේ පිළිබඳ අවධානය යොමු කර බලපෑම්වලට යටනොවී නිවැරැදි තීරණ ගෙන කටයුතු කිරීම වැදගත් බව පැවැසීය.
මේ අවස්ථවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන, ඌව පළාත් ප්රධාන ලේකම් පී. බී. විජේරත්න, බදුල්ල දිස්ත්රික් ලේකම් නිමල් අබේසිරි, ආණ්ඩුකාර ලේකම් එච්. එම්. සෝමතිලක, බදුල්ල දිස්ත්රික් අපදා කළමනාකරණ අධ්යක්ෂ උදයකුමාර, ඌව පළාතේ පළාත් පාලන කොමසාරිස්, ප්රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වූහ.
මෙහි දී ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ඇම්. පී. ජයසිංහ මහතා අතින් අදාළ ප්රාදේශීය ලේකම්වරු වෙත අදාළ සිතියම් සහිත සී. ඩී. තැටි ප්රදානය කිරීමක් ද සිදුකරන ලදි.
0 Comments