චන්දිමා කරුණාරත්න
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම නිර්දේශ කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.
බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව තිබෙන චෝදනා අතරට මගනැඟුම අරමුදලෙන් මුදල් රුපියල් කෝටි 15ක් අවභාවිතය, රාජ්‍ය දේපල හා රාජ්‍ය වාහන රුපියල් කෝටි 6ක් අවභාවිතය ඇතුළුව රජයේ නිලධාරින් 100 දෙනකු දේශපාලන අවශ්‍යතා සඳහා අයුතු ලෙස යෙදවීමෙන් රුපියල් කෝටි 26ක අලාභයක් රජයට සිදු කර තිබෙන බවත් නියෝජ්‍ය ඇමැති පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
මෙම චෝදනාවන්ට බැසිල් රාජපක්ෂ මහතා සමඟ වගකිව යුතු පාර්ශවයන් 10 දෙනකු පිළිබඳව කොමිෂන් සභාව පරීක්ෂණ සිදුකර ඇත. සෙසු පාර්ශ්වකරුවන් වන්නේ බත්තරමුල්ල පදිංචි පුංචිබණ්ඩාර ජයසුන්දර, පස්යාල පදිංචි ආර්. ඒ. අමිත කිත්සිරි රණවක, පිළියන්දල පදිංචි චන්ද්‍රා වික්‍රමසිංහ, මට්ටක්කුලිය පදිංචි ශාන්ත බණ්ඩාර, කිරුළපන පදිංචි ඩබ්ලිව්. ඒ නිහාල් සෝමවීර, ජා-ඇළ පදිංචි ජූඩ් රොෂාන් නිලන්ත ප්‍රනාන්දු, කඩුවෙල පදිංචි කේ. එරංග දිල්රුක්ෂි, ගම්පහ පදිංචි ඩබ්ලිව්. විමලසේන, මාළඹේ පදිංචි එච්. පී. ලලිත් කුමාර යන අයවලුන් ය. කොමිෂන් සභාව විසින් බැසිල් රෝහණ රාජපක්ෂ මහතා වරදකරු බවට පත්කර තිබෙන අතර ඒ අනුව කොමිෂන් සභාව නීතිපතිවරයාට නියම කර තිබෙන්නේ මහාධිකරණය හමුවේ නඩු පවරන ලෙසටයි. දණ්ඩ නීති සංග්‍රහයේ 113 වගන්ති සහ අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ බැසිල් රාජපක්ෂ මහතා දඬුවම් ලැබිය යුතු දූෂණය නම් වරද සිදුකර තිබේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තියේ 5, 1 වගන්තිය යටතේ පොදු දේපළ සාපරාධි පරිහරණයට ලක්කිරීමේ චෝදනාව යටතේ වරදකරු වන බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
පසුගියදා රජයේ විද්‍යුත් මාධ්‍යයකින් බැසිල් රාජපක්ෂ මහතා සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් විකාශනය වූ අතර එහිදී මෙම ප්‍රශ්න රාජපක්ෂ මහතාගෙන් ඇසුවේ නැති බව පැවසූ නියෝජ්‍ය ඇමැති පෙරේරා මහතා බැසිල් මහතා පාලනය කරපු මුද්‍රිත මාධ්‍ය ආයතනයක් පවා මේවා පල නොකළ බව පැවැසීය.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මේ බව පැවසුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ ඊයේ (29) පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

0 Comments