* ශිෂ්ට දේශපාලන සංස්කෘතියකට අලුත් ගමනක් ඇරැඹුවා
* ජනපති මෛත්‍රී ප්‍රතිපත්තිගරුක නායකයෙක්
* රට වෙනුවෙන් කළ යුතු දේ නිසි පරිදි ඉටු කළා
ලොව ථේරවාදී බුදු දහම පවතින එකම බෞද්ධ රාජ්‍ය ශ්‍රී ලංකාව බවත්, එවන් බෞද්ධ රටක රජකම ලැබීම යමෙකුගේ පිං මහිමයෙන් සිදුවන්නක් බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පින් මහිමයෙන් සපිරි රාජ්‍ය නායකයකු බවත්, කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රපති කොටපොළ අමරකිත්ති හිමියෝ පැවසූහ.
උන්වහන්සේ එසේ පවසා සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කැලණිය ප්‍රාදේශීය සභාවට හා පෑලියගොඩ නගර සභාවට තරග කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක අපේක්ෂිකාවන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සෙත්පතා කැලණිය රජමහා විහාරස්ථානයේ සංවිධානය කර තිබූ බෝධි පූජාමය පින්කමකදීය.
පසුගිය 03 වනදා පැවති මෙම පින්කම සඳහා ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු හා මන්ත්‍රීවරු ද සහභාගි වූ අතර, එහිදී ප්‍රධාන අනුශාසනාව සිදුකළ කොටපොළ අමරකිත්ති හිමියන් මෙසේ ද කීය.
ශ්‍රී ලංකාවේ රජකම ලැබීම විශේෂ පුණ්‍ය ශක්තියකින් සිදුවන්නකි. බුදු රජාණන්වහන්සේ ද අවස්ථා තුනකදී මේ කුඩා දිවයිනට වැඩමකර ඇත. එහි ජීවත්වන මිනිසුන්ට ද උන්වහන්සේ ආශිර්වාද කර වදාළේ ද මේ රට බුදු දහම පෝෂණය කරනා රටක් වන බවකි.
බුදු හිමියන් උපන් ඉන්දියාවට ද බුදු දහම රැකගන්න නොහැකිවූවා. එහෙත් එහි සිට මේ රටට මහා සඟමිත් තෙරණිය වැඩම වූවාවූ ජයසිරි මහා බෝ සමිඳු මේ වනවිට ද සුවසේ මෙහි වැඩ සිටී. එම නිසාම මේ රට ලොවේ අතිවිශේෂම රටකි. මේ රටේ දේශපාලනය කරනා සියලුම දෙනා මේ විශේෂත්වය හඳුනාගතහොත්, එම විශේෂත්වයේ සිටම වැඩකළ යුතුය. මේ රටේ සභ්‍යත්වය, ශිෂ්ටාචාරය ඇතිකළේ බුදුහිමියන්ය. එමනිසා මේ රට පාලනය කරනවා කියනුයේ බුදු හිමියන්ගේ වස්තූනට, වදනට සහ පිරිසට සුරක්ෂාව දෙමින් රට පාලනය කිරීමය.
ඒ අනුව වත්මන් පින්වත් ජනාධිපති ෛමෙත්රීපාල සිරිසේන මහතා රට පාලනය කරනුෙය් බුදු හිමියන්ගේ වදනට අනුකූලවය. එතුමා ධර්මානුකූල හා ප්‍රතිපත්තිගරුක නායකයෙකි. එතුමාගේ අගය කළ යුතුම ප්‍රතිපත්තිය නම් මේ රටින් සුරාව, මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ගන්නා පියවරය. එම දැඩි අධිෂ්ඨානය එතුමා තුළ පමණක් පවතින්නකි.
මෙම සුරාව හා මත්ද්‍රව්‍ය නිසා මිනිසුන්ගේ ජන ජීවිතය දිනෙන් දින පහළට වැටේ.
එමනිසා පංචශීලයේ දැක්වෙන පස්වන කොන්දේසිය නිල වශයෙන්ම සුරක්ෂිත කිරීම පිණිස එතුමා ගෙන යන්නාවූ ක්‍රියාමාර්ගයට සැබැවින්ම ආශිර්වාද කළ යුතුය.
එසේම වස විස අන්තර්ගත ආහාර හේතුවෙන් ජනතාව රෝගීවී සිටී. එයද සීමා කිරීම හා අවම කිරීම පිණිස ජනාධිපතිවරයා ගෙනයන වැඩ පිළිවෙළ හා තීන්දු තීරණ අතිශයින්ම වැදගත්ය.
රටක නායකයා කළ යුත්තේ මෙයයි. ඔබතුමා එය හොඳින්ම කරමින් සිටී. එතුමා පාලනය භාරගත්දා සිට මේ දක්වා ගෙනගිය වැඩ පිළිවෙළ අතිශයින්ම සාර්ථකය.
ඔබතුමාට දැන් අලුත් ගමනක් යාමට ඇත. එම ගමන අලුත් ගමනක් වීමට රටේ දේශපාලකයිනට ශික්ෂණය හා විනය කියා දිය යුතුය. මෙතෙක් කලක් මේ රටේ දේශපාලනය නම් වචනය අවලංගු වූ වචනයකි.
එසේ අවලංගුවීමට හේතුව වූයේ පැවසූ ශික්ෂණය හා විනය දේශපාලකයින් තුළ නොවූ නිසාය.
බුදුරජාණන්වහන්සේ බුදුවීමට පෙර ක්‍රියා කළේ මහා බෝසතාණන් වහන්සේ ලෙසිනි. උන්වහන්සේ රාජ්‍ය පාලකයකු, පුරෝහිතයකු ලෙස සම්බන්ධවූ අවස්ථා ද ඇත.
එසේනම් දේශපාලන ක්ෂේත්රය බෝසත්වරුන්ගේ ක්ෂේත්රයක් බව පෙන්වාදී ඇත්තේ බුදු හිමියන්ය. මේ රටට සිදුවූ ව්‍යසනය නම් ඒ බෝසත් ගුණ නොමැති දේශපාලකයින් බිහිවීමය. එය වෙනස් කිරීමේ කාර්ය පැවරී ඇත්තේ ජනාධිපතිතුමා වන ඔබ තුමාටය. දේශපාලනය කියනා අමිහිරි වදන මිහිරි වදනක් බවට පත්කිරීමට ශක්තිය ඇත්තේ ඔබතුමාට පමණය. ඒ සඳහා දේශපාලනයේ නිරත සැමට විශේෂ පුහුණුවක් ලබාදිය යුතුය. මන්ද හැමදෙනා තුළම දක්ෂතාවයක් ඇත.
දක්ෂතා, කුසලතා තිබුණ ද, පුහුණුවක් නැති කල ඉන් පල නැත. දේශපාලනයේදී සීමාව පෙන්වාදීම අවශ්‍යම කරුණකි.
අපේ රටේ දේශපාලකයිනට පුහුණුවක් නොදීමේ වරදින් දුක් විඳිනුයේ රටේ අහිංසක ජනතාවය. මේ පුණ්‍යවන්ත චාරිකාව ආරම්භ කිරීමට ඔබතුමාට දැන් කාලය පැමිණ ඇත.
බුදු හිමියන්ගේ දර්ශනය අවශ්‍ය කරනුයේ පන්සලට, බණ මඩුවට පමණක් නොවේ, මිනිසා ධර්ම සංකල්ප ප්‍රයෝජනයට ගත යුතුය. එය ඇති කරලීමට ජනාධිපති වන ඔබතුමාට ශක්තිය, ධෛර්යය ඇති බව කිව යුතුය.
සමාජ ප්‍රශ්න පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති නායකයෙක්
- මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි
මහජන මුදල් වැය කර ක්‍රියාත්මකරන සංවර්ධන ව්‍යාපෘති ඇතැම් දේශපාලනඥයන් තම මුදල් යොදවා කළාක් මෙන් විවෘතකරන බවත්, සමහර විවෘත කිරීමේ උත්සවවලට එම ව්‍යාපෘතියට වියදම් වූ මුදලට සමාන මුදලක් වැය කරන බවත් මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පැවැසූහ.
මහජන මුදල් යොදවා සිදුකරන ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන්ගේ නාම පුවරුද අනවශ්‍ය යැයි උන්වහන්සේ කීහ. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවර්ෂ පූර්ණ පුණ්‍ය මෞලි මංගල්‍යය නිමිත්තෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දුරුතු පෝදා (1දා) පැවැති උත්සවයේ දී අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයේ සංවර්ධනය සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් කෝටි 35ක පමණ මුදලක් ලබාදී තිබෙන බවත් ඒවා තමන්ගේ නොව මහජන මුදල් බව එතුමා නිහතමානීව ප්‍රකාශ කිරීම අගය කරන බවත් කී උන්වහන්සේ රුපියල් කෝටි ගණන් මහජන මුදල් වැයකර තමන්ගේ මුදලින් කළාක් මෙන් උත්සව තියා ව්‍යාපෘති විවෘත කරන දේශපාලනඥයන්ට වත්මන් ජනපතිගේ ක්‍රියාව ආදර්ශයක් යැයි ද කීහ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොවි පුතකු ලෙස පුංචි තැනින් පටන් ගෙන ඉහළටම ගිය ජනනායකයකු බවත් මෙරට හෝ පිටරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබ නොතිබුණ ද එතුමා සමාජ ප්‍රශ්න පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති අත්දැකීම් බහුල හොඳින් තෙම්පරාදු වූ ජන නායකයකු බවත් අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් වරක් මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි යනුවෙන් ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් කළ බවත්, ඒ අනුව යමින් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාති, ආගම්, පාට, පක්ෂ භේද නොමැතිව ජනතා මෙහෙවරක නිරතව සිටින බවත් කී අනුනාහිමියෝ භේද සියල්ල අත්හැර සියලු ජනතාව සමඟ රට ගොඩ නැඟීමේ සිතිවිල්ල හා අධිෂ්ඨානය එතුමා තුළ පවතින බව ද අවධාරණය කළහ.
අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, දඹුල්ල රජමහා විහාරාධිපති, අස්ගිරිය ශ්‍රී පලිපාන චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය ගොඩගම මංගල නාහිමියෝ අනුශාසනාවක් කරමින් අද ඇතැම් දේශපාලනඥයන් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගියාට පසු යළි තමන්ගේ ගමට යන්නේ ආරක්ෂකයන් විශාල පිරිසක් පිරිවරා ගෙන බවත් කී මංගල හිමියෝ මේ සෙල් ලිපිය වර්තමාන දේශපාලනඥයන්ට ඉතා වැදගත් පණිවිඩයක් ගෙන දෙන බව ද උන්වහන්සේ අවධාරණය කළේය.
උත්සවයේ පිළිගැනීමේ කතාව නෙල්ලිගල ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුරකුඹුරේ ධම්මරක්ඛිත හිමි විසින් සිදු කරන ලද අතර, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරු කතා කළහ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකානායක, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
අසේල කුරුළුවංශ
ඡායාරූප - සුදත් සිල්වා (ජනාධිපති මාධ්‍ය අංශය) කැලණිය විශේෂ
0 Comments