අලුතින් පාසල් 400ක උසස් පෙළට විද්‍යා විෂය ඉගැන්වීමට ආරම්භ කළා
- ඇමැති අකිල විරාජ් කාරියවසම්
වෙනස් වන ලෝකයේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි මෙරට විද්‍යා අධ්‍යාපනය නැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ඵල දරමින් දැනුමෙන් හා තාක්ෂණයෙන් පිරිපුන් පරපුරක් අනාගතයේ මේ රටේ බිහි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රටේ සියලු දූදරුවන්ට විද්‍යාගාර පහසුකම් ලබා දීම සහතික කිරීම සඳහා කුඩා පාසල් 3000කට ජංගම විද්‍යාගාර කට්ටල ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා 'විද්‍යාවෙන් පිරිපුන් නවෝත්පාදන රටක් ' මැයෙන් අරලියගහ මන්දිරයේ පෙරේදා (4) පැවැති වැඩමුළුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.
එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,
තාක්ෂණික විප්ලවයට හවුල්වූ අපි සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකට ම විද්‍යා දැනුම ලබා දෙනවා. අද ලෝකයේ තිබෙන්නේ ඉදිරියට යනතාක්ෂණ විප්ලවයක්. අද මුළු ලෝකය ම අපි දන්නා කර්මාන්ත විප්ලවයෙන් ඇතිවූ සමාජය වෙනුවට දැන් පරිවර්තනය වෙනවා තාක්ෂණ යුගයට. තාක්ෂණ දැනුම තිබෙන රටක් ඉදිරියට යනවා. තාක්ෂණ දැනුම නැති රටක් පසුපසට යනවා. මේ තාක්ෂණ විප්ලවයට ලංකාව ඇතුළත් වෙන්න උවමනායි. එය අපි ආරම්භ ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ විද්‍යා දැනුම අපේ දරුවන්ට ලබා දෙනවා. විද්‍යා විෂයය ඉගෙන ගත්තාට සියලුදෙනා විද්‍යාඥයන් විය යුතුයි කියලා මම කියන්නේ නෑ. හැම දෙනාට ම මූලික විද්‍යා දැනුමක් ලබා දීම සිදුවෙනවා. ඕනෑම කෙනෙකුට ඒ දැනුම ලබා ගෙන තමන් කැමති වෙනත් අංශවලින් ඉගෙන ගෙන තමන්ට අවශ්‍ය විෂය දැනුම, උපාධිය ලබා ගන්න පුළුවන්. ඒ හැම දෙනාට ම මූලික විද්‍යා දැනුම ලැබෙනවා. දියුණු රටවල ඒ දැනුම සෑම දරුවකුට ම ලබා දෙනවා. පාසල්වල උගන්වනවා. ඒත් ලංකාවේ තිබෙන්නේ වෙනස් තත්ත්වය. අපේ රටේ සෑම ද්විතීය පාසලක ම විද්‍යා විෂය උගන්වන්නේ නෑ. මේ තත්ත්වය අවබෝධ කර ගෙන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා තවත් පාසල් 450කට උසස් පෙළ විද්‍යා විෂය ඉගැන්වීමේ පහසුකම සලසා දීම ගැන අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. එය අපි තවත් දියුණු කළ යුතුයි.
කුඩා පාසල් 3000ක් සඳහා ජංගම විද්‍යාගාර උපකරණ අපි ලබා දෙනවා. මේවා පරිහරණය කිරීම මඟින් විද්‍යා විෂය සම්බන්ධයෙන් මූලික දැනුම ලැබෙන නිසා උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමට යන සිසුන් සංඛ්‍යාව වැඩි වෙනවා.
මේ වසරේදී උසස් පෙළ පන්තිවල සිටින සියලු සිසුන්ට ටැබ් පරිගණකයක් බැගින් ලබා දෙන්න කටයුතු කරනවා. අපි මේ වසර ආරම්භ කරන්නේ මෙම ජංගම පරිගණක කට්ටල ලබා දීලයි. ඒ වගේම මේ වසර අවසන් කරන්නේ උසස් පෙළ සෑම සිසුවකුට ම ටැබ් පරිගණකයක් ලබා දීලයි. ඒවා සිසුන් අතට ලැබුණාම විශාල වෙනසක් සිදුවෙනවා. අපේ පාසල් අධ්‍යාපනය ශිඝ්ර වෙනසකට බඳුන් වෙනවා. අපට ටැබ් පරිගණක, විද්‍යා උපකරණ වුවමනායි. දකුණු ආසියාවේ වෙනත් රටටවල් විද්‍යා අධ්‍යාපනය සම්බන්ධයෙන් අප රට තරම් උනන්දුවක් දක්වන්නේ නෑ. ඉදිරි වසරවලදී සිසුන්ට විද්‍යා හා තොරතුරු තාක්ෂණ පුහුණුව ලබා දෙනවා. ඒ වගේම ඉංග්‍රීසි දැනුමත් අපට මෙමඟින් තවත් දියුණු කළ හැකියි. දකුණු ආසියාවේ ජංගම දුරකථන ශිඝ්‍රයෙන් පැතිර ගිය රට වන්නේ ශ්‍රී ලංකාවයි.
ඉදිරි අධ්‍යාපනය කෙසේ පවතීද කියා අද දවසේ මට කියන්න බෑ. ඒත් අද තිබෙනවාට වඩා අනාගතයේදී දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ පිරිසක් බිහිවේවි. තොරතුරු තාක්ෂණයෙන් යුත් පංති කාමර බිහිවේවි. අපට පුස්තකාල අවශ්‍යයි. අධ්‍යාපන ඇමැතිතුමාට අපි ප්‍රශංසා කරනවා පාසල් පුස්තකාල වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පොත් කට්ටල මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ගැන. පාසල් විසින් මිලදී ගත යුතු පොත් ලැයිස්තුවක් ද සකස් කර තිබෙනවා. අඩුපාඩු තිබෙන්න පුළුවන්. ඒත් මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න කියලා අපි ඇමැතිතුමාට කියනවා.
සුවසැරිය ගිලන් රථ ලබා දීමේ වැඩපිළිවෙළ පෙරේදා මෙහිදී ආරම්භ කළා. අද විද්‍යාගාර උපකරණ ලබා දෙනවා. අපේ ආණ්ඩුව රටේ සෞඛ්‍ය ක්ෂේත්රයට සහ අධ්‍යාපනයට ලබා දෙන විශේෂ තැන පිළිබඳ මෙයින් වැටහීමක් ලැබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් රජය සෑම දෙනාට ම සම අවස්ථා ලබා දෙනවා. සමහරු අහන්න පුළුවන් රටේ ණය බර පියවන අතරතුර මේවා කරන්නේ කොහොමද කියලා. ඒත් අපි 2018-2019 දෙවසර ඇතුළත රටේ ණය බර පියවීමටත්, රට ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයට පත් කර එයින් ලැබෙන ආදායමෙන් වැඩි කොටස මේ රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් වැඩි වැඩියෙන් ලබා දීමට කටයුතු කරන බවටත් ප්‍රකාශ කරන්න කැමතියි. පාසල් සඳහා ලබා දෙන ජංගම විද්‍යාගාර උපයෝගී කොට ගෙන විද්‍යා විෂයයට දක්ෂ පිරිසක් රටට බිහි කරන්න දායක වන ලෙසත් මෙහි සිටින විදුහල්පතිවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා-
පාසල් 3000කට ජංගම විද්‍යාගාර උපකරණ ලබා දීම සඳහා රජය රුපියල් මිලියන 450ක් පමණ වැය කර තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ මේ රටේ අධ්‍යාපනය ගුණාත්මක වශයෙන් දියුණු කරන්නයි. අපට අවශ්‍ය ඒ සඳහා විද්‍යා, කාත්ෂණ, ඉංජිනේරු හා කළමනාකරණ විෂයයන් ඉගෙන ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව තව තවත් වැඩි කරන්නයි. උසස් පෙළ විද්‍යා විෂය උගන්වන පාසල් 400ක් පමණ අපි අලුතින් ආරම්භ කළා. එම විෂයයන් ඉගෙන ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවත් 20,000 දක්වා වැඩි කළා. ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් බඳවා ගැනීම ආරම්භ කර තිබෙනවා.
අපි ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් හත්දහසක් සියලු පහසුකම් ලබා දී සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ගොඩනැඟිලි පමණක් 6000ක් පමණ ඉදි කර හෝ ඉදි කෙරෙමින් පවතිනවා. පානීය ජලය, පුස්තකාල පහසුකම්,පංති කාමර, විදුහල්පති නිල නිවාස ලබා දීමටත් කටයුතු කෙරෙමින් පවතිනවා.
3 වැනි ශ්‍රේණියේ විදුහල්පති ශ්‍රේණිධාරීන් 4000ක් බඳවා ගැනීමටත්, අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරි පුරප්පාඩු 850ක් සඳහා බඳවා ගැනීමටත්, ගුරු අධ්‍යාපනඥ පුරප්පාඩු 1190ක් පියවීමටත් කටයුතු කළා. ඒ වගේම හෙට අනිද්දා වනවිට ගුරුවරුන් 2100ක් අලුතින් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවනවා. පළාත් පාලන මැතිවරණය අවසන්වූ පසු පළාත් මට්ටමින් ගුරුවරුන් 3850ක් ගුරු සේවයට බඳවා ගැනීමට පියවර ගන්නවා. තවත් මාස කිහිපයක් ගතවූ පසු අධ්‍යාපන ක්ෂේත්රයේ කිසිම අඩුපාඩුවක් නොතිබිය යුතුයි කියන මතයේ තමයි අපි සිටින්නේ.
වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළ ආරම්භ කරමින් එහි නියමු ව්‍යාපෘතිය මේ වනවිට ක්‍රියාත්මකයි. ඒ අනුව සාමාන්‍ය පෙළ අසමත්වන සිසුන් සඳහා වෘත්තීය විෂයයන් 26ක් අපි අලුතින් හඳුන්වා දී තිබෙනවා. මීට අමතරව ඉදිරියේදී පාසල් සුපරීක්ෂණ මණ්ඩල පිහිටුවා රජයේ පාසල් මෙන්ම පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් ද සුපරීක්ණයට ලක් කරනවා. රජයේ පාසල් පෞද්ගලික පාසල් හෝ පිරිවෙන් යනාදී කිසිදු බේදයකින් තොරව සියලු සිසුන් සඳහා රුපියල් ලක්ෂ දෙකක් වටිනා සුරක්ෂා රක්ෂණාවරණය ලබා දී තිබෙනවා. පාසල් නිල ඇඳුම් වවුචරයට අමතරව දුෂ්කර පාසල් සිසුන් සඳහා සපත්තු මිලදී ගැනීමටත් වවුචර ලබා දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ රජයන් තරම් මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කළ තවත් රජයන් මේ රටේ ඇත්තේ නෑ.
ඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කරන බවට වැරදි ප්‍රචාරයක් ගෙන යනවා. ඒක සම්පූර්ණ බොරුවක්. අපි ඉතිහාසය ඉගැන්වීම නතර කර හෝ කරන්නේ නෑ. ඒ නිසා අපි මේ වගේ බොරු මඩ ගැහිලිවලට යටවී අපේ වැඩපිළිවෙළ කිසිසේත් නවත්වන්නේ නෑ.
උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළත් මේ වසරේ සිට ආරම්භ කරනවා. ඒ සඳහා සකස් කළ කැබිනට් පත්‍රිකාවටත් අස්සන් කළා. අදාළ පරිගණක උසස් පෙළ සිසුන්ට මෙන්ම උසස් පෙළ ගුරුවරුන්ටත් ලබා දෙනවා. ඒ වගේම ලැප්ටොප් පරිගණක එක්ලක්ෂ පනස්දහසක් කුළී පදනමට ලබා ගෙන ඒවා අවශ්‍ය පාසල්වලට ලබා දීමට කටයුතු කරනවා. එමඟින් අනවශ්‍ය මුදල් නාස්තිය හා කොමිස් ගැහිලි අපි නතර කරනවා.
අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ද අදහස් දැක්වීය.
ඡායාරූප හිරන්ත ගුණතිලක
0 Comments