Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශීය වෛද්‍ය උපාධිධාරීන් සියලු දෙනාට රැකියා ලබා දී අවසන්

මේ වන විට රැකියා විරහිත දේශීය වෛද්‍ය උපාධිධාරීන් නැති බවත්, සියලු දේශීය වෛද්‍ය උපාධීධාරින්ට රැකියා ලබා දී අවසන් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමැතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ පෙරේදා (04) නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති පළාත් දේශීය වෛද්‍ය ඇමැති සම්මේලනය අමතමිනි.

නිදහස් සෞඛ්‍ය සේවාවෙන් දේශීය වෛද්‍ය ක්‍රමය වඩාත් තහවුරු කිරීමේ අරමුණින් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සඳහාම වෙන් කරමින් 2018 පළාත් දේශීය වෛද්‍ය ඇමැති සම්මේලනය පැවැත්විය. ඒ සඳහා පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගි වූහ.

2017 වසර දක්වා යාවත්කාලීන නොකළ 1977 වසරේ ප්‍රකාශ කළ ආයුර්වේද ඖෂධ සංග්‍රහය යාවත් කිරීමේ ක්‍රියාවලියට ඇමැතිවරයා විසින් පත් කරන ලද කමිටුව විසින් ව්‍යාපෘති යෝජනාවලිය මෙහි දී ඇමැතිවරයා වෙත පිළිගන්වනු ලැබීය‍.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"බටහිර වෛද්‍ය ‍විද්‍යාවට කළ නොහැකි දේ දේශීය වෛද්‍ය විද්‍යාවෙන් කළ හැකියි. එය ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේත් පිළිගැනීමට ලක් විය යුතුයි. අද ඉතාමත්ම වැදගත් දවසක්. දේශීය වෛද්‍ය ක්‍රම ගොඩනැඟීමට ඖෂධ සංග්‍රහය ඉතාමත් වැදගත්. ඒ නිසයි අපි මේ කමිටුව පත් කළේ. එහි වාර්තාව අද ඉදිරිපත් කර තිබෙනවා. නමුත් කමිටුවට අනුව නියමිත විද්‍යානුකූලව ඖෂධ සංග්‍රහයක් ඇති කිරීමට තව වසර පහක් පමණ යනවා. 77 හැදූ ඖෂධ සංග්‍රහය විද්‍යාත්මක ඖෂධ සංග්‍රහයක් නොවෙයි. අපි ඖෂධ සංග්‍රහයක් ඇති කරනවා නම් එය ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වන ඖෂධ සංග්‍රහයක් ද විය යුතුයි. ඖෂධවල තිබෙන ගුණ සහ තත්ත්ව ලෝකය පිළිගන්නේ එවිටයි. ආයුර්වේදය දියුණු කරනවා නම් අපිට දේශීය වෛද්‍ය විද්‍යාවටත් බටහිර වෛද්‍ය විද්‍යාවේ වැනි ඖෂධවේදයක් අවශ්‍යම වෙනවා.

අපේ පාරම්පරික වෛද්‍යවරුන් ඉතාමත් විශිෂ්ට ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවට ප්‍රතිකාර කළ නොහැකි රෝග සුව කරනවා. නමුත් ඒවායේ ඇති විද්‍යාත්මක ගුණය, තත්ත්වය අත්දැකීමෙන් දන්නවා මිස නිසි පර්යේෂණ සිදු කර තහවුරු කර නැති නිසා කවුරුත් දන්නේ නෑ. ඒ නිසා අපිට විදේශික විශේෂඥයකුට කියන්න කිසිම විද්‍යාත්මක පදනමක් නෑ මේක හොඳයි කියලා. මෙවැනි තත්ත්වයක දී දේශීය වෛද්‍ය විද්‍යාවට නූතන ලෝකය තුළ ගමන් කිරීමට අපහසුයි. බටහිර ඖෂධ කාලයෙන් කාලයට යාවත් කාල කරමින් සමහර ඖෂධ දැන් නෑ. ඒ වගේ දේශීය වෛද්‍ය විද්‍යාවේ වුණත් තිබෙන ඖෂධ අරගෙන විද්‍යාත්මක තත්ත්වය සනාථ කළාම නව ඖෂධ හදාගැනීමට හැකියාව තිබෙනවා. අනාගතයට වඩාත් හොඳ ඖෂධ මෙතැනින් නිර්මාණය වෙනවා.

දේශීය වෛද්‍ය විද්‍යාවට විශාල අවකාශයක් තිබෙනවා. මේ රටේ වගේම ලෝකයේ වෛද්‍ය විද්‍යාවේ විශාල හිඩැසක් තිබෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව ගමන් කර දියුණු වී ඇති නමුත් එක් තැනක කොමාවක් දා ගෙන සිටිනවා. එතැනින් එහාට සමහර රෝගවලට ඔවුන්ට ප්‍රතිකාර නෑ. පිළිකාවට, දියවැඩියාවට නිත්‍ය ප්‍රතිකාර නෑ. කැඩුම් බිඳුම්වලට තියෙන්නේ ශල්‍යකර්ම වැනි කාර්මික වැඩ තමයි. නමුත් මට මුණ ගැසී තිබෙනවා, විශාල ශල්‍යකර්ම සිදු කරන ස්කෝලියෝසිස් රෝගයට නිල අල්ලලා පිට කොන්ද කෙළින් කරන දේශීය වෛද්‍යවරුන්. කැඩුම් බිඳුම් පිළිබඳව දේශීය වෛද්‍ය විද්‍යාව ඉතාමත් දියුණුයි. දියවැඩියාව නිට්ටාවට සුව කරන දේශීය වෛද්‍යවරුන් ඉන්නවා.

මේ වගේම තමයි චීනයේ මා ඕ සේතුං එනතුරු චීන වෛද්‍ය විද්‍යාව මේ විදියටම වල් වැදී තිබුණා. අද බලන්න චීන වෛද්‍ය විද්‍යාව කොහෙද තියෙන්නේ කියලා. අමෙරිකාවේ චීන වෛද්‍ය ආයතනයකට මම ගියා. එය බටහිර වෛද්‍ය ආයතනයකට වඩා දියුණු මට්ටමකයි තිබෙන්නේ. අපිටත් පුළුවන් දේශීය වෛද්‍ය විද්‍යාවත් මේ මට්ටමට ගෙනෙන්න.

ඒ නිසා මේ නිලධාරීන් තම තනතුරේ විශාල උනන්දුවකින් කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. අපිට මේ යුගයේ මෙය සිදු කර තවත් පරම්පරාවකට එය දිය හැකි නම් එහි ලොකු වටිනාකමක් තියෙනවා. අපි බටහිර වෛද්‍ය විද්‍යාව ගැන කලබල විය යුතු නෑ. මොකද මුළු ලෝකයම ඒ වෙනුවෙන් වෙහෙ‍සෙනවා. අපිට මහන්සි වීමට තිබෙන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නඟා සිටුවීමටයි. එයින් අපට පුළුවන් නම් එක රෝගයකට හරි අලුත් ප්‍රතිකාරයක් ලෝකයට සොයා දෙන්න එය මුළු මානව සංහතිය වෙනුවෙන්ම අපි කරන විශාල මෙහෙවරක්. පුණ්‍යකර්මයක්.

ඒ වෙනුවෙන් අප බොහෝ කටයුතු කළා. විවිධ කමිටු පිහිටුවමින් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කළා. වෛද්‍ය සභාව ප්‍රතිසංස්කරණය කළා. රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට රැකියා සැපයීමට කටයුතු කළා. මේ දිනවලත් හය සිය ගණනක් පුහුණු කරනවා. අද රැකියා විරහිත දේශීය වෛද්‍ය උපාධිධාරීන් නෑ."

මෙහි දී දේශීය වෛද්‍ය අංශය මෙතෙක් ආ ගමන් මඟ හා ඉදිරි සැලසුම් ද ඉදිරිපත් කළ අතර වනස්පති (විද්‍යාඥ) සුදීපා සුගතදාස මහත්මිය විසින් ඖෂධීය ශාක වගාව සම්බන්ධ කෘති තුනක් ඇමැතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. 

ක්‍රිසන්ති විතාරණ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();