Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද අපේ රට අභි‍යෝග මැද අලුත් ගමනක් යමින් සිටිනවා

මේ රජය නියෝජනය කරන කුමන තරාතිරමක පුද්ගලයකු වුව ද වරදක් කළේ නම් එයට නිසි දඬුවම් දීමට අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සූදානම් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවක හමුවකට එක් වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා පැවැසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

"අද අපේ රට අභියෝග මැද අලුත් ගමනක් යමින් සිටිනවා. මේ ජාතික ආණ්ඩුව මගේ ජීවිතයේ තිබූ ලොකුම ආසාවක්. අපි හැමදාම පක්ෂ බදාගෙන මරා ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනූ දවසට යූ. එන්. පී. කට්ටියට ගහලා මරනවා. තුවාල කරනවා. යූ. ඇන්. පී. දිනූ දවසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට ගහනවා. එය අත්දැක්ක කෙනෙක් මම. නමුත් අද අපි ඒ සංස්කෘතිය වෙනස් කර තියෙනවා. අද අපේ රට අභි‍යෝග මැද අලුත් ගමනක් යමින් සිටිනවා.

මේ අවුරුද්ද අපේ ඉතිහාසේ වැඩියෙන්ම ණය වාරික ගෙවන්න තියෙන අවුරුද්දක්. හැබැයි අපි පුළුවන් තරම් මේ ණය ප්‍රශ්නය කළමනාකරණය කිරීමට උත්සාහ ගන්නවා. රටේ ජනතාවට ණය බර නොදී මේ ණය ගෙවන්න කටයුතු කරනවා. පසුගිය අවුරුදු දෙකේ දී මේ ණය ප්‍රශ්නය විසැඳීමට අපේ ආණ්ඩුව, කැබිනට් මණ්ඩලය පුදුම කැපවීමකින් කටයුතු කළා. කැබිනට් මණ්ඩලය විතරක් නෙවෙයි, ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් රටේ දියුණුවට විශාල කැපවීමක් කළා.

මට එක වෙලාවකට හිතෙනවා, මොන කෙහෙල්මලකට ද ජනාධිපති, අගමැති වෙන්නේ කියලා. මේ අමාත්‍යාංශයක් අරගෙන මට තියෙන හිසරදය කොච්චරද ? නමුත් අපේ මේ නායක‍යන් දෙදෙනා ප්‍රධාන පක්ෂ දෙක එකතු කරගෙන තුන් වැනි ප්‍රධාන පක්ෂයත් එකතු කරගෙන, විශේෂයෙන්ම උතුරේ පක්ෂ ද දකුණේ පක්ෂ ද කියන්නේ නැතුව සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද කියන්නේ නැතුව සියලුම පක්ෂ එකතු කරගෙන අද මේ රට වෙනස් තත්ත්වයකට ගෙනත් තියනවා. අඩුපාඩු තියනවා. මමත් සමහර වෙලාවට කලකිරිලා ඉන්නවා, හොරු අල්ලලා නෑ කියලා. ඒක මට තියන ලොකුම ප්‍රශ්නයක්. නමුත් අපේ ආණ්ඩුවේ වුණත් වැරැද්දක් කළා නම් ඊට දඬුවම් දෙන්න අපේ ජනාධිපතිවරයායි අගමැතිවරයායි අද තීරණ අරගෙන තියනවා."

මේ සේවක හමුවට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ‍අනෝමා ගමගේ මහත්මිය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා ඇතුළු නිලධාරීහු ද සහභාගි වූහ. 

ක්‍රිසන්ති විතාරණ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();