Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොහොට්ටුව හා එක්වන්න සමහර ශ්‍රීලනිපයේ අයට ඕනෑ වෙලා

ඒ අයට මහින්දගේ ප්‍රජා අයිතියේ ප්‍රශ්නයත් විසඳගන්න වෙනවා

අගමැති මොරවක ජන රැලියේ දී කියයි

පොහොට්ටුවේ අය සමඟ එකට වැඩ කළ යුතු යැයි පවසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිවිල් අයිතිවාසිකම් ජීවිත කාලයටම අහෝසි කරන ලෙස වංචා හෝ දූෂණ විමර්ශන කොමිසම් සභා වාර්තාවේ සඳහන් වී ඇති කාරණය විසඳා ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

කොමිෂන් වාර්තාවන් අනුව ක්‍රියා කර නඩු දැමිය හැකි අයට එරෙහිව නඩු ගොනු කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇති බව ද අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මොරවක නගරයේ පෙරේදා (27) පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගි වෙමිනි.

ඇමැති සාගල රත්නායක මහතා සංවිධානය කර තිබූ මේ රැලියට අති විශාල ජනකායක් සහභාගි වී සිටි අතර, එහි පැමිණි අගමැති වික්‍රමසිංහ මහතාට රැස්ව සිටි ජනතාවගේ උණුසුම් පිළිගැනීමක් ලැබිණි.

එහි දී රැස්ව සිටි ජනතාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

මීට පෙර පසුගිය නොවැම්බර් 04 දා මමත් ගයන්ත කරුණාතිලක ඇමැතිවරයාත් දෙනියායට ආවා. එදත් විශාල පිරිසක් සිටියා. එදා දෙනියාය ප්‍රදේශයේ ජනතාවට ඔප්පු ප්‍රදානය සිදු කළා. උදේ දහයට පටන් ගත් උත්සවය අවසන් වන විට හැන්දෑවේ පහත් පසු වී තිබුණා. එපමණ විශාල ප්‍රමාණයකට මේ ප්‍රදේශයේ ඔප්පු තිබුණේ නැහැ. ඔබේ ගයන්ත ඇමැතිවරයා ගත් උනන්දුව නිසා දෙනියායේ ජනතාවට ඔප්පු ලබා දීමට අවස්ථාව ලැබුණා. දැන් තමන්ගේ ඉඩම ගැන යම් කිසි සුරක්ෂිත භාවයක් තිබෙනවා. ඊළඟ පියවර එන්නේ අපි සින්නක්කර ඔප්පු දෙන නීතිය ක්‍රියාත්මක කළ විටයි.

ඒ වගේම පසුගිය ගංවතුරෙන් පසු මෙහි පැමිණීමට මට අවස්ථාව ලැබුණා. අපි දෙවරක් ආවා. ගංවතුරෙන් විනාශ වූ ගොඩනැගිලි පාරවල් යළි ප්‍රතිසංස්කරණය සිදු වන ආකාරය සොයා බැලීමට පැමිණියා. දැන් ඒවාට මුදල් වෙන් කර තිබෙනවා. සමහර ඒවා තවමත් පළාත් සභාවෙන් සිදු වී නැහැ. අනිත්වා කරගෙන යනවා. විශාලම ප්‍රශ්නය තිබෙන්නේ නිවාස සම්බන්ධවයි. අපි එල්. ටී. එෆ් එකට මුදල් දී ඉතුරු මුදල් පසුව දෙන ලෙස කිවුවා. එල්. ටී. එෆ්. ඇස්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම්ගේ ඇස්තමේන්තුව අතර වෙනස නිසා ඉතිරි මුදල් ගැන ප්‍රශ්නයක් තිබෙනවා. එල්. ටී. එෆ්. ඇස්තමේන්තු ක්‍රමවේදය සහ ප්‍රාදේශීය ලේකම්ගේ ඇස්තමේන්තු ක්‍රමවේදය අතර වෙනසක් තිබෙනවා. එම නිසා එල්. ටී. එෆ් එකෙන් ලබා දිය හැකි උපරිම වන්දිය ලබා දෙන ලෙසත් වෙනස මහ ආණ්ඩුවේ භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙසත් මා උපදෙස් දුන්නා. එම මුදල් ලබා දෙන බව විශේෂයෙන් දෙනියාය සහ අකුරැස්ස ජනතාවට මා කියන්න කැමතියි.

සාගල රත්නායක ඇමැතිවරයා දෙනියායේ රෝහලක් ඉඳි කරන්න යන බව කිවුවා. මා එදා බියගමට රෝහලක් ඉදි කළා. මෙහි රෝහල ඉදි කිරීමට සාගල රත්නායක ඇමැතිවරයා විදේශ ආධාර ලබා ගෙන තිබෙනවා. කලවාන සහ රක්වාන ආසනවල ඉන්න ජනතාවට රෝහලක් නැහැ. මේ ඉදි කරන රෝහල ඒ අයට පිහිට වේවි. මේ ප්‍රදේශයේ පාරවල් ඉදි කිරීම මෙන්ම තවත් වැඩ කටයුතු ගණනාවක් ඇමැතිවරයා සිදු කර තිබෙනවා. ඒවා සිදු කළේ මහ ආණ්ඩුවේ ආධාර ලබා ගෙනයි. දැන් ප්‍රාදේශීය සභා තෝරන්න තිබෙනවා. ආණ්ඩුව එක්ක වැඩ කරන ප්‍රාදේශීය සභා තිබෙනවා නම් ආණ්ඩුවේ බලය යොදවා ඒවා තව දියුණු කර දීමට අපට පුළුවන්. ආණ්ඩුව සමඟ වැඩ නොකරන ප්‍රාදේශීය සභා මුදල් ලබා නොගෙන කඩා වැටෙනවා. දැන් දෙනියාය සහ අකුරැස්සේ ආරම්භ කර තිබෙන වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න ආණ්ඩුව සමඟ වැඩ කළ හැකි ප්‍රාදේශීය සභා ඡන්දෙන් තෝරා දෙන්න කියා මා කියනවා. එවිට අපේ සැලැස්ම අනුව වැඩ කරන්න පුළුවන්.

පිටබැද්දර, කොටපොළ වැනි ප්‍රාදේශීය සභාවලට ආණ්ඩුව සමඟ වැඩ කළ හැකි අය තේරීමට එක්සත් ජාතික පක්ෂ පෙරමුණට ඡන්දය දෙන ලෙස මා කියන්න කැමතියි. අපි බලන්නේ ගමේ දියුණුව පමණක් නොවේ. තව ප්‍රශ්න තිබෙනවා.

තරුණ තරුණියන්ගේ හිතේ තිබෙන්නේ ඔවුනට රැකියා ලැබේවිද යන්නයි. අපේ අනාගතය කුමක්ද? රැකියා ලබා දෙන බව එදා ඡන්දෙදි අපි පොරොන්දු වුණා. ඒ රැකියා ආණ්ඩුවෙන් දෙනවද? නැතිද? අපිට බොරු කළාද කියා සෑම තරුණ තරුණියකුගේම හිතේ තිබෙනවා. අපිට ලැබෙන ප්‍රතිලාභ ලැබෙන්නේ කෙසේද?

දකුණේ සංවර්ධනය ආරම්භ කර තිබෙන්නේ ඒ සඳහායි. දකුණේ සංවර්ධනය සම්බන්ධීකරණය ඔබේ ඇමැතිවරයාගේ අමාත්‍යාංශයට භාර දී තිබෙනවා. දකුණ සංවර්ධනය කිරීමට පෙර අපේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තිබෙනවා. රැකියා දීමට කාරණා දෙකක් කිරීමට තිබෙනවා.

මේ සංවර්ධනය ඉදිරියට ගෙන ගොස් 2025 වන විට ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම අපේ ඉලක්කයයි. එසේ වුවොත් මේ ණය ගෙවීම ප්‍රශ්නයක් නොවේ. ණය ගෙවීම පමණක් මදි. අපි රැකියා බිහි කළ යුතුයි. රජයේ රැකියා හැමටම ලැබෙන්නේ නැහැ. ජීවත් වෙන්න හොඳ ආදායමක් හොඳ රැකියාවක් අවශ්‍යයි. අපි එදා පොරොන්දු වුණේ එයයි. එවැනි රැකියා ආරම්භ කරන්න තිබෙනවා.

1977 දී අපි බලයට ආවිට අපි රැකියා ඇති කළේ කොළඹ වටායි. ගම්පහත් ඒවා ආරම්භ කළා. මේ සැරේ අප බලයට ආ විට ඊට වඩා පුළුල් ලෙස කළ යුතු බව සිතුවා. අපි මහනුවර සිට හම්බන්තොට දක්වා විශාල දියුණුවක් ඇති කරන්න හිතුවා. මධ්‍යම අධිවේගි මාර්ගය ඇති කළේ ඒ සඳහායි. මහනුවර නගරය දියුණු කරනවා. වයඹ කර්මාන්ත කලාප දෙකක්, සංචාරක කලාපයක්, ගම්පහ මහ නගරය, කළුතර, මිල්ලනියේ වෙළෙඳ කලාපය අපි ආරම්භ කරනවා. විශාලම ආර්ථික දියුණුව එන්නේ දකුණු පළාතටයි. දකුණේ දිස්ත්‍රික්ක තුන සහ මොණරාගල දිස්ත්‍රික්කය මෙයින් දියුණු වෙනවා. අපි එය ආරම්භ කර තිබෙනවා.

ලොකුම ප්‍රශ්නය වුණේ හම්බන්තොට වරාය. අපි භාර ගත්තේ විශාල ණයක්. නැව් නැති වරායක්. කොළඹ වරායෙන් එහි ණය ගෙවීම නිසා කොළඹ වරාය පාඩු ලැබුවා. මේ නිසා කොළඹ වරායත් වැටෙන්න තිබුණා. අපි චීනයට කිවුවා මේ ණය ගෙවීමට බැරි බව. අලුත් ක්‍රමයක් නැති නම් ණය නොගෙවන බව කිවුවා. අපි කථා කර අලුත් ක්‍රමයක් ගත්තා. අපේ වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් එකතු වී වරාය බද්දට ගෙන තිබෙනවා. ඒ බද්දට ගෙවූ ඩොලර් බිලියන එකයි දශම එකෙන් අපිට ණය ගෙවා ගැනීමට පුළුවන්.

මත්තල ගුවන් තොටුපොළේ ප්‍රශ්නය ද මේ අවුරුද්දේ මැද වන විට විසඳා ගැනීමට පුළුවන්.

ඒ නිසා ක්‍රියාකාරී වරායක් සහ ගුවන් තොටුපොළක් අපි දකුණට ලබා දී තිබෙනවා. මේ වගේ සැලැස්මක් රාජපක්ෂ යුගයේ තිබුණේ නැහැ. වරායට නැව් ගේන්න හැකි සමාගමක් ඇති නම් අපිට ඇත්තේ දකුණට විශාල ආර්ථිකයක් ලබා දීමටයි. එදා සැලැස්ම වුණේ මුහුදේ යන නැව් තෙල් ගැසීමට හම්බන්තොටට පැමිණේවි කියායි. තෙල් ගහන්නේ කොහොමද? තෙල් ටැංකියක්වත් නැහැ. තෙල් ගහන්න එන නැව්වල ආදායමෙන් පමණක් මේ වරාය ගෙනියන්න බැරි බව ඒ සමාගම කිවුවා. තෙල් ගහන්න පිරිපහදුවක් නැහැ. ඒ නිසා අපි හම්බන්තොට වරාය ළඟ තෙල් පිරිපහදුවක් ඇති කරන්න අනුමැතිය දී තිබෙනවා. එල්. එන්. ජී. විදුලි බලාගාරයකටත් අපි අනුමැතිය දුන්නා. සංවර්ධනය සඳහා සිමෙන්ති ලබා ගන්න සිමෙන්ති කර්මාන්ත ශාලාවක්, වානේ ලබා ගන්න වානේ කර්මාන්ත ශාලාවක්, නැව් අලුත් වැඩියා කිරීමට නැව් තටාංගණයක් ඉදි වෙනවා. මේවා මූලික වැඩ කටයුතු පමණයි.

අපනයන සහ ආනයන කිරීමට භාණ්ඩ වුවමනා බව අප චීන මර්චන්ට් සමාගමට කිවුවා. ඒ නිසා හම්බන්තොට වරාය වටේ අපි විශාල වෙළෙඳ කලාප පහක් හයක් ආරම්භ කිරීමට සාකච්ඡා කළා. පළමු සමාගම් කීපය චීනයෙන් ගෙන එන ලෙසත් මා කිවුවා. චීන සමාගම් දුටුවම අනෙක් රටවල්වල සමාගම්ද එනවා. ඒ සඳහා දැන් එකඟ වී තිබෙනවා. එම වෙළෙඳ කලාපයට අවශ්‍ය ඉඩම් දැන් වෙන්කර ගෙනයනවා.

රුහුණ වෙල්ලස්ස කර්මාන්ත කලාපයෙන් මාතර, බදුල්ල, රත්නපුර ප්‍රදේශවලට විශාල වාසියක් ලැබෙනවා.

මාතරත් එක් කර්මාන්ත කලාපයක් ඇති වෙනවා. චාලි මවුන්ට් කර්මාන්ත කලාපය. වැලිගම ළඟ කර්මාන්ත කලාපයක් ඇති කරනවා. මෙය ආරම්භය පමණයි.

ගාල්ල අමතක කර නැහැ. ගයන්ත කරුණාතිලක මහතාගේ ආසනයෙන් පටන් ගෙන විශාල සංචාරක කලාප ඇති කරනවා. දේදුව කර්මාන්ත කලාපය අක්කර 1800යි. මාලදිවයින දූපත්වලට වඩා විශාලයි. අකුරණ අක්කර 600-700 යි. කොග්ගල අක්කර 600-700යි. මේ හැම එකක්ම මාලේ දූපත්වලට වඩා විශාලයි. ඒ රට දූපත්වලින් හම්බ කරනවා වගේ අපි සංචාරක කලාපවලින් හම්බ කරනවා. කටුනායකින් ඇවිත් මත්තලින් ආපසු යන්න පුළුවන්. නැතිනම් මත්තලින් ඇවිත් කටුනායකින් යන්න පුළුවනි.

මුහුදු තීරය පමණක් නොව සංචාරකයන් අභ්‍යන්තරයට ද යැවීමේ වැඩ පිළිවෙළක් තිබෙනවා. ඒ සිංහරාජ අඩවියේ සංවර්ධන වැඩ සටහන තුළින්. එයට අයත් හිනිදුම, රක්වාන, දෙනියාය, කලවාන, බුලත්සිංහල ආසන පහට සංවර්ධනයක් ඇති කර තේ කර්මාන්තයට සහ වෙනත් අපනයන භෝග වගා කිරීමට ආධාර දීමට පාලම් සහ පාරවල් හදන්න, විදුලි බලය ලබා දීමේ වැඩ සටහන මේ අවුරුද්දේ ආරම්භ කරනවා. ඒ සඳහා රක්වාන සහ දෙනියාය විශාල සංචාරක කලාපයක් ඇති කිරීම සඳහා විශාල වතු යායක් වෙන් කර තිබෙනවා.

මෙමගින් රැකියා සහ ආදායම් මාර්ග බිහි වෙනවා. මෙය විශාල සංවර්ධන ව්‍යාපෘතියක්. කඩිනම් මහවැලි ව්‍යාපෘතිය වාගේම විශාල වැඩ සටහනක්. ඒ සඳහායි ඔබේ සහයෝගය ඉල්ලන්නේ. මේ ඔබේ අනාගතයයි. මේ අවස්ථාව අතහරින්න එපා. මේ අවස්ථාව අතහැරියොත් ආපසු දකුණ කඩා වැටෙනවා. දකුණට වාණිජ ආර්ථිකයක් ගේන්න, කර්මාන්තකරණයක් ගේන්න, නවීන උසස් මට්ටමේ සංචාරක ව්‍යාපාරය ගොඩ නංවන්න, ජාත්‍යන්තර වරායක් සහ ගුවන් තොටුපොළක් ඇති කර ගන්න මේ ලැබී තිබෙන එකම අවස්ථාවයි. එහි භුක්තිය විඳීමට ලැබෙන්නේ අපිට වඩා තරුණ පරම්පරාවටයි.

අවුරුදු පහකින් දහයකින් අලුත්ම ලෝකයක් බිහි වේවි. පහළොවක් වෙන විට ඊටත් වඩා වැඩි වෙනවා. ඒ නිසා එම භුක්තිය විඳින්න, වැඩ කටයුතු ශීඝ්‍රයෙන් කර ගෙන යාම සඳහා ප්‍රාදේශීය සභා සියල්ලේම බලය එක්සත් ජාතික පෙරමුණට ලබා දෙන්න යැයි මා ඉල්ලනවා. සාගල රත්නායක මහතා දැනට ප්‍රධාන අමාත්‍යාංශ හතරක් සම්බන්ධීකරණය කරනවා.

මේ පළාත් පාලන ආයතන සම්බන්ධීකරණය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට එහි බලය ලබා දෙනවා නම් පමණයි. මා මේ කියන දේ ඔබේ අනාගතයට බලපානවා. ඔබට අලුත් දකුණක් අලුත් රුහුණක් ලබා ගැනීමට පුළුවන් වෙනවා. මා බියගම මන්ත්‍රී වෙන විට එහි ජනතාව සියලු දේටම කොළඹට ගියා. මා එහි සම්පූර්ණයෙන්ම කර්මාන්ත වාණිජ ආර්ථිකයක් ඇති කළා. දැන් මෙහි වාණිජ කර්මාන්ත පමණක් නොවේ සංචාරක ව්‍යාපාරයක්, ක්‍රියාකාරි වරායක් සහ ගුවන් තොටුපොළක් ලැබෙනවා. එහෙම අවස්ථාවක් ආපසු ලැබෙන්නේ නැහැ. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න.

කොමිෂන් වාර්තා පිළිබඳ වාද කරනවාද නැතිද කියා මේ දිනවල විශාල වාදයක් තිබෙනවා. පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ඇත්තේ මට පමණයි. එම බලය කථානායකවරයාට නැහැ. වාර්තා දෙකම ගැන ඕනෑම අවස්ථාවක සූදානම් කිරීමට අප සුදානම්. පෙබරවාරි 19 දා කොමිෂන් වාර්තා පිළිබඳ වාද කිරීමට පක්ෂ නායකයන් එකඟ වූ බව සභානායක කිරිඇල්ල මහතා මට දැනුම් දුන්නා.

කථානායකවරයා මට ඊයේ ලිපියක් එවා තිබුණා. ඊට කලින් කිසිවෙක් මගෙන් ඉල්ලීමක් කර තිබුණේ නැහැ. පාර්ලිමේන්තුව කැඳවන ලෙස අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීම අඩංගු ලිපියක් කථානායකවරයා ඒ සමඟ මට එවා තිබුණා. ඒ ඉල්ලීම ගැන සලකා බලන ලෙස ද කථානායකවරයා මගෙන් ඉල්ලා තිබුණා.

පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් ඊට අදාළ ලිපිය සඳුදා එවන බවත් මා කථානායකවරයාට ඊයේ දැනුම් දුන්නා.

මන්ත්‍රීවරු 07 දා දක්වා ගම්වල ඡන්ද ප්‍රචාරක වැඩවල යෙදී සිටිනවා. එනිසා පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුව කැඳවීමට මා තීරණය කළා. ඉන්පසු කළ යුතු දේ පක්ෂ නායකයන්ට තීරණය කළ හැකියි.

පාර්ලිමේන්තුව එදිනට කැඳවන්නේ වෙන කිසිවක් විවාද කිරීමට නොව වාර්තා දෙක විවාද කිරීමටයි. එකක් බැඳුම්කර වාර්තාව. එම වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කිසිවක් නැහැ.

බිලියන 9ක පාඩුවක් සිදු වී ඇති බව එහි සඳහන් වෙනවා. අප පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ රුපියල් බිලියන 12ක් රඳවා ගෙන සිටිනවා.

කොමිෂන් වාර්තා අනුව ක්‍රියා කර නඩු දැමිය හැකි අයට එරෙහිව නඩු ගොනු කරන ලෙස අප නීතිපතිවරයාට කියා තිබෙනවා.

තුන් හතර වතාවක් මේ ගැන පාර්ලිමේන්තුවේ වාද කර තිබෙනවා. තව පාරක් විවාද කළා යැයි කිසිම ප්‍රශ්නයක් නැති බව මා මෙතැනදි කියන්න කැමැතියි.

අපට හංගන්න දෙයක් නැහැ. පාපිස්ස යට දාන්න දෙයක් නැහැ. කට කැපුවත් බලය සඳහා බොරු කියන්නේ නැහැ. කියලත් නැහැ. කියන්නෙත් නැහැ. ඒ නිසා මා පාර්ලිමේන්තුව කැඳවා තිබෙනවා. 08 දා සිට 9, 10, 11, 12 ඕනෑ තරම් දින ගණනක් හැමදාම හෝ වාද කිරීමට පුළුවන්. ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ට තීරණය කරන්න පුළුවන්.

අනිත් වාර්තාවේ තිබෙන්නේ වැරැදිකරුවන්ට නඩු දාන්න කියලායි. නමුත් බැඳුම්කර වාර්තාවේ තිබෙන්නේ නඩු දැමීම ගැන සලකා බලන ලෙසයි. ඒ වැරැදිකරුවන් ගැනත් ක්‍රියා කළ යුතුයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිවිල් අයිතිවාසිකම් අවුරුදු හතක් නොව ජීවිත කාලයටම අහෝසි කරන ලෙස අනිත් වාර්තාවේ තිබෙනවා. ඒ ගැන පාර්ලිමේන්තුවේ තීරණයක් ගත යුතුයි. පොහොට්ටුවේ අය සමඟ එකට වැඩ කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරු කියනවා. ඒ අයට මේ ප්‍රශ්නය විසඳා ගැනීමට සිදු වෙනවා. එය අපේ ප්‍රශ්නයක් නොවේ.

අපි පාර්ලිමේන්තුවේ ජාතික මට්ටමෙන් දක්වන විනිවිදභාවය පළාත් පාලන ආයතනවලත් ක්‍රියාත්මක කරනවා. කවුරුන් හෝ අපේ මන්ත්‍රීවරයෙක්ට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් වුවහොත් ඒ ගැන සොයනවා. අපේ සභාපතිවරුන්ට කාන්තාවන් දූෂණය කරන්න දෙන්නේ නැහැ. සියයට විසි පහක් කාන්තා නියෝජනයක් තිබෙන නිසා මින් පසු එය සිදු වන්නේ නැහැ. එය සියයට විසි පහටත් වඩා වැඩි වෙනවා. අපිට මිනීමරුවෝ දූෂිතයෝ කවුරුවත් ඕනෑ නැහැ. අපිට අවශ්‍ය විනිවිදභාවයක් ඇති ආණ්ඩුව වගේ විනිවිද භාවයක් ඇති ප්‍රාදේශීය සභාවක් ගෙනියන්නයි. ඒ නිසා ඔබේ අනාගතයට මේ ප්‍රදේශයේ දියුණුවට විනිවිද භාවයක් ඇති ප්‍රාදේශීය සභාවක් ඇති කිරීමට මේ පෙබරවාරි 10 දා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන ලෙස මා ඉල්ලනවා.

නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන ඇමැති අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා:- අප දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. අගමැතිවරයා දුන් නායකත්වය නිසා අනිවාර්ය කාන්තා නියෝජනයක් ලැබී තිබෙනවා. අපේ කණ්ඩායම දක්ෂයි, පිරිසුදුයි. කාන්තාවන් කෙළෙසූ පිරිස් අප අතර නැහැ. සමාජයේ ප්‍රශ්න හඳුනාගෙන රජය සමඟ කටයුතු කළ හැකි පිරිසක් අප සමඟ ඉන්නවා.

අපේ කවුරුන් හෝ දුෂණ වංචාවලට වැරැදිකරුවන් වුණොත් ඔවුන්ට විරුද්ධව විනය පියවර ගන්නවා.

අප රටේ ආර්ථිකය අන්තිම අගාධයට වැටී තිබුණා. ආයෝජකයන් ආවේ නැහැ. ඒ තත්ත්වයෙන් රට මුදා ගන්නට අපට හැකියාව ලැබුණා.

ජීවන වියදම මේ වන විට අඩු වෙන්නට පටන් ගෙන තිබෙනවා. විශාල ණය බර පාලනය කරගෙන ආර්ථිකය ශක්තිමත් කිරීමට අපට හැකියාව ලැබුණා.

අපගේ සංවර්ධනය ගොඩනැගිලිවලට සිමා වුණේ නැහැ. මානව සම්පත නඟා සිටුවීමට අපට හැකි වුණා. අප හඳුන්වා දුන් 1990 ගිලන් රථ සේවය නිසා ජීවිත කොපමණ ගාණක් බේරා ගන්නට හැකියාව ලැබුණාද?

කර්මාන්ත පුර ඉදි කෙරුණු පසුව මේ ප්‍රදේශයට විශාල රැකියා ප්‍රමාණයක් ලැබීමට නියමිතයි.

අද ශ්‍රී ලංකා පොලිසිය ජනතාව ආරක්ෂා කරන පොලිසියක් බවට පත් කර තිබෙනවා. ඒ යුගයේ පොලිසිය කටයුතු කළ තත්ත්වය ඔබට අමතක නැහැ. රටේ අපරාධ ප්‍රමාණය විශාල වශයෙන් අඩු කිරීමට අපට හැකි වුණා

රාජපක්‍ෂ සොරකම් අප පිළිවෙළකට නීතියට අනුකූලව පරීක්ෂණ කරනවා. අපි කිසි විටෙක කැලෑ නීතියට වැඩ කරන්නේ නැහැ. විශේෂ අධිකරණයක් පිහිටුවා මේ වැඩ කටයුතු ඉක්මන් කරන පනත තව නොබෝ දිනකින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපට ඩීල් නැහැ. අපට ඇත්තේ ජනතාව සමඟ ආර්ථිකය දියුණු කරන ඩීල් එක පමණයි.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා- කුලල් කාගෙන මරාගෙන ඡන්දය කළ යුගය නිමා කිරීම සඳහා මුලික වුණේ අපේ අගමැතිවරයායි. ඒ හරහා කාන්තාවන්ට වැඩි නියෝජනයක් දීමට අපට හැකියාව ලැබුණා.

සංවර්ධනය මුවාවෙන් කළ සුදු අලි ව්‍යාපෘතිවලින් වූයේ ප්‍රතිරූප පිම්බීම පමණයි. ඒ යුගයේ ප්‍රතිරූප පිම්බීමේ කාර්ය සඳහා ජනතා මුදල් කෝටි ගණනින් වැය වුණා.

එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා - වර්තමානයේ රටේ ආර්ථිකය මෙහෙයවීමේ එන්ජිම බවට පත්වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි. මහින්ද මහත්තයා අගමැති කරන්නට වෙර දරන අයට ඡන්දයෙන් උත්තර සොයන්නට බැහැ. අංගොඩ ගිහින් බෙහෙත් ටිකක් බොන්න. එතකොට ඔය අසනීපය සුවපත් වේවි.

මේ මැතිවරණය ඔබේ ගමේ ආර්ථිකය හදන මැතිවරණයයි. ඒ සඳහා අපි සුදානම් වෙමු.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා- මේ මැතිවරණයේ දී අපට 80%කට වැඩි බලයක් ලැබෙනවා. අල්ලස, දුෂණ කළ හොර තක්කඩි රැලට ගම භාර දෙන්න තරම් ජනතාව මෝඩ නැහැ. පොහොට්ටු පක්ෂය රූකඩ නායකයෙක් පත් කරගෙන රූකඩ රාජ්‍යයක් බිහි කරන්නට උත්සාහ ගන්නවා.

මේ ජන රැලිය සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රීවරු ප්‍රමුඛ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයෝ ඇතුළු විශාල ජනකායක් සහභාගී වුහ.

ශිරෝමි අබයසිංහ සහ තිහගොඩ විශේෂ මොරවක සිට
ඡායාරූප- හිරන්ත ගුණතිලක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();