Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හම්බන්තොට සංවර්ධනයේ යථාර්ථය

රට ඡන්දයක් සඳහා සැරසෙමිනි. ගතවෙමින් ඇත්තේ මේ රටේ මිනිස්සුන්ගේ විචාර බුද්ධිය සැලසුම් සහගත ලෙස විකල් කරමින් ඇති කාල වකවානුවකි. බලය වෙනුවෙන් ඕනෑම අශ්ලීල ගනුදෙනුවක් සඳහා මේ රටේ පිරිහුණු දේශපාලනය සූදානම්ය. ඒ සඳහා පට්ට පදුරු බොරු කීමේ සිට අල්ලස හෝ සූදුව තෙක් ගමන් කරන ඕනෑම ගනුදෙනුවකටත්, අවශ්‍ය නම් මිනී මරා හෝ ජාතිවාදය වපුරා ජාතිය ව්‍යසනයට ලක් කර හෝ දියත් කළ හැකි ඕනෑම ව්‍යාපෘතියට ඔවුන් එකඟය.

දේශපාලන විමතියකින් තොරව විමසන විට මේ රට අද පවතින බිහිසුණු ආර්ථික හා සමාජ ව්‍යසනයට ලක්කළ මෑත කාලීන අර්බූද නිෂ්පාදනය කරන්නේ මහින්ද රාජපක්ෂගේ පාලනයයි. මේ මොහොතේ අප සියලු දෙනාම අත්විඳිමින් සිටින්නේ රටක නායකයෙක් ලෙස නොව, ඒකාධිපති නායකත්වයක් තුළ ඔහු රට විෂයෙහි ගත් තීන්දුවල දුර්විපාකය. ඒ බිහිසුණු අතීත කතාව සිහි කරගත යුත්තේ මේ පාලනයේ මනෝරම්‍ය ගුණ කියන්නට නොව විචාරශීලීව අනාගතය ගැන තීන්දුවක් ගන්නටය.

ආණ්ඩුවට අවුරුදු 03ක් ගතවී තිබේ. වෙනසක් කිරීම සඳහා බලය මාරු වුවද අපේක්ෂා කරන වේගයෙන් ඒ වෙනස සිදුවන්නේ නැත. එහෙත් වටහාගත යුත්තේ ගිවිසුම් සහිත දිගු කාලීන විනාශයක් අවුරුදු 03 කින් නවත්වාගත නොහැකි නැති බවය. විවාදාත්මක බැඳුම්කර ගනුදෙනුව විමසුමට ලක්වූයේ ජනාධිපති කොමිසමක් මගිනි. ඒ කොමිසමේ රටේ මහ බැංකු අධිපතිවරයාව ගෙදර යැවුවේය. මුදල් ඇමැතිවරයාව ඇමැතිකමින් ඉවත් කළේය. රටේ අගමැති කොමිසම හමුවට ගෙන්වා සාක්ෂි ගත්තේය. කොමිසමේ නිර්දේශ නීතිපති ළඟය. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද සූදානමින්ය. මේ දේශපාලන ආදර්ශය අපට විශ්වාස කළ නොහැකි තරමට ආගන්තුකය. ශිෂ්ටාචාරයේ අවනතිය තෙක් ගමන් ගත් රටක් ඉන් මුදා ගැනීම වෙනුවෙන් අසීරු අරගලයක හැඩය මිනිස්සුන්ට වැටහෙන්නේ හිමින්ය. නැ‍ඟෙන උද්වේගකර සටන් පාඨ ඊට වඩා හැඟීම් ආමන්ත්‍රණය කරන්නේය.

බල උන්මාදයේ විකෘතිය

බල උන්මාදය මේ රට පෙළා දැමූ ආකාරය අතිශය බිහිසුණුය. හම්බන්තොට වරාය ඒ බිහිසුණු උන්මාදයේ විකෘතියකි. මත්තල මහ වනය මැද ඉදිවන අතාර්කික මත්තල ගුවන්තොටුපල එවැනි විකෘතියකි. සූරියවැව ක්‍රීඩාංගණය එවැනි විකෘතියකි. හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව තවත් විකෘතියකි. රටේ ආර්ථිකය සහමුලින් ව්‍යසනයට ලක්කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ණය බරක් කළ මිහින් ලංකා ඇතුළු අත්තනෝමතික අවභාවිතයන් හා සාපරාධී එයා බස් ගනුදෙනුව ඒ ඒකාධිපති උන්මාදයේ විකෘතියකි.

ලෝක ඉතිහාසයේ කොතැනකවත් රටක ගොඩබිම අභ්‍යන්තරය කැණ මුහුදට දියකර වරාය තනා නැත. 2010 නොවැම්බර් මස 18 වැනි දින එය විවෘත විය. ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලබාගත් ණය මුදල අමෙරිකානු ඩොලර් එකසිය තිස්තුන් කෝටි අනූ ලක්ෂයකි. වරාය අධිකාරිය විසින් වියදම් කළ මුදල අමෙරිකානු ඩොලර් කෝටි දාසයකි. ණය සඳහා ගෙවූ මුදලත් සමඟ ලංකා රජය ආයෝජනය කළ මුළු මුදල අමෙරිකානු ඩොලර් එකසිය හැටනව කෝටි දස ලක්ෂයකි. රුපියල්නම් දළ වශයෙන් කෝටි විසිපන්දහස් හත්සිය තුනකි.

වරායක් හදන්නේ ලාබ ලබන්නටය. එහෙත් මහින්ද රාජපක්ෂ වරායෙන් ගණනය වූයේ ඉන් රටට සිදුවන අලාභයය. රාජපක්ෂ වරායට නැවක් පැමිණීම රටට ප්‍රවෘත්තියක් විය. 2016 වසරේ දී වරායට පැමිණ තිබුණේ නැවු 14කි. 2015 දී නැව් 17කි. මේ ව්‍යාපෘතිය නිසා වර්ෂ 2010 සිට 2017 කාල සීමාවේදී රටට වූ පාඩුව රුපියල් කෝටි හාරදාහස් හාරසියයකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය වෙනුවෙන් රටට ගෙවන්නට සිදු වූ වාර්ෂික පොලී වාරිකය පමණක් රුපියල් කෝටි 910කි.

මේ අසාර්ථක ව්‍යාපෘතිය රටට වැඩදායී ලෙස කළමනාකරණය කරන්නට මේ ආණ්ඩුවට හැකිවිය. ඒ හම්බන්තොට වරායේ මෙහෙයුම් පුළුල් කරමින් එය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රජය, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම (CM Port), හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) අතර හවුල්කාරීත්ව ගිවිසුමක් වෙත යමිනි. එහි මෙහෙයුම් කටයුතු පසුගිය 09 වැනිදා ආරම්භ විණි.

HIPG සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 85% ක් CM Port සමාගමට හෝ ඊට අනුබද්ධිත ආයතනයට හිමිය. 15% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිය. හම්බන්තොට වරාය වසර 99 බද්දට ගැනීමට අදාළ චීන සමාගම ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.1ක් ලබා දුන්නේය. තවත් ඩොලර් කෝටි 60ක් වරාය පරිශ්‍රය සංවර්ධනය කිරීම වෙනුවෙන් චයිනා මර්චන්ට් සමාගම ආයෝජනය කර ඇත. ගිවිසුම ඕනෑම මොහොතක සංශෝධනය කළ හැකි එකකි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව හම්බන්තොට වරාය විෂයෙහි දියත් කළ සැලසුමත් මීට සමානය. අවාසනාවන්ත වන්නේ මේ ප්‍රතිසංස්කරණයට එරෙහිව මිනිසුන් පාරට බස්සවා හම්බන්තොට ගිනි තැබීමට රාජපක්ෂ දේශපාලනය කටයුතු කිරීමය.

සූරියවැව ක්‍රීඩාංගණය

හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදුවේය. එය මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයය. ආරම්භ වන්නේ වර්ෂ 2010 දෙසැම්බර් 9 දාය. මේ ක්‍රීඩාංගණය නරඹන්නන් 35, 000කට පහසුකම් සලසා තිබුණේය. ක්‍රීඩාංගණයේ අන්ත දෙකක්ය. එක් අන්තයක් සූරියවැව අන්තයය. අනෙක තණමල්විල අන්තයය. ක්‍රීඩාංගණයට සූරියවැව අන්තයෙනුත් වල් අලි එන්නේය. තණමල්විල අන්තයෙනුත් වල් අලි එන්නේය. ඇවිත් ක්‍රීඩාංගණයේ ආසනත් පෙරළා යන්නේය.

ක්‍රීඩාංගණය ඉදිකිරීම කළේ චීන සමාගමක්ය. ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් හාරසිය විසි අටකෝටි තිස් ලක්ෂයක්ය. ක්‍රීඩාංගණය සැදූ චීන සමාගමට පසුගිය ආණ්ඩුව පැවැති පස් වසරක කාලයේ කිසිම මුදලක් ගෙවා නැති බව කියැවිනි. හම්බන්තොට වරායේ විචලන ව්‍යාපෘතියක් ලෙස ස්ථාපිත කළ හම්බන්තොට ක්‍රීඩාංගණයට වැය කළ මුදල ඇතුළු ප්‍රමාද මුදල ලෙස කෝටි පන්සියයක් අයකර ගැනීම සඳහා චීන සමාගම වරාය අධිකාරියට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරන්නට යන බව වාර්තා විය. මේ වනවිට නඩු පැවැරීම වළක්වා ගැනීමට බේරුම්කාර මණ්ඩලයක් යටතේ තීරකයකු පත්කර ඇති බව ආණ්ඩුවේ ආරංචිමාර්ග කියන්නේය. ක්‍රීඩාංගණය අවට ප්‍රමිතිගත හෝටල් පහසුකම් ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩාවක් සඳහා ඇවැසි පරිසරයක් නැති වටපිටාවක මේ දුර්දාන්ත ණය බර දරාගෙන සූරියවැව ජාත්‍යාන්තර ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් සේ වැඩි දියුණු කිරීමේ වගකීම ආණ්ඩුව සියතට ගෙන තිබේ.

හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව මෙවැනිම බිහිසුණු විකෘතියකි. අක්කර 28ක් පුරා පැතිරුණු මේ සම්මන්ත්‍රණ ශාලාව විවෘත වන්නේ වර්ෂ 2013 නොවැම්බර් 07ය. වැය කළ මුදල රුපියල් තුන්සිය අනූහය කෝටි හැත්තෑ ලක්ෂයෙකි. ඉදිකිරීම් කර තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය හා කොරියානු ජාත්‍යන්තර සංස්ථාව එක්වය. එම සම්මන්ත්‍රණ ශාලාවෙන් 2015 සිට 2017 දක්වා උපයා ඇත්තේ ලක්ෂ අසූ තුනක් පමණි. රාජපක්ෂ සංවර්ධනයේ සොහොන්කොත් ලෙස ශේෂ වී ඇත්තේ මාසික නඩත්තුව වෙනුවෙන් රුපියල් මිලියන ගණනක් වැය කරන මේ අම්බලම්ය.

මත්තල

රටේ ආර්ථිකය අරභයා කළ මාරක විහිළුව මත්තල ගුවන්තොටුපලය. හද්දා කැලෑවක් මැද ජාත්‍යන්තර ගුවන්තොටුපලක් හදන්නට දුටු විකෘති හීනයේ තතු පසුගිය දා හෙළි කළේ ජාත්‍යන්තර ෆෝබස් සඟරාවය. එය මත්තල හඳුන්වා දුන්නේ ලොව ඇති හිස්ම ගුවන්තොටුපල ලෙසය. ගුවන් යානයක් එන්නට පැය ගණනක සිට වෙඩි ගසා වනජීවිය සමඟ එක්ව වනසතුන් ගුවන්තොටුපල පරිශ්‍රයට ඇතුළුවීම වළක්වන මෙහෙයුම් කරමින් පවත්වාගෙන යන ජාත්‍යන්තර ගුවන්තොටුපල ලොවෙත් නැත. ගමේ උන් ගුවන්තොටුපල පරිශ්‍රයේ ආරක්ෂක වැටවල් කපාගෙන ඇතුළට ගොස් දඩ කෙළින ජාත්‍යන්තර ගුවන්තොටුපල ලොවේ කොතැනකවත් නැත. පසුගිය මාර්තු 16 වැනිදා විශේෂ මෙහෙයුමක් දියත්විය. වනජීවී නිලධාරීන් හා හමුදා භටයන් 350ක් එක්ව මේ මෙහෙයුම දියත් කළේ මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයේ කොටු වී සිටිනා මුවන් ඇතුළු වනසතුන් එලවීමටය. අප හිනාවෙනවා නොව, හිස අත තබාගෙන හැඬිය යුතුය. මේ ගුවන්තොටුපල හෙක්ටයාර 2000ක් පුරා පැතිරී ඇත. වියදම් කළ මුදල රුපියල් කෝටි තුන්දහස් එකසිය අනූ දෙකකි. ගුවන්තොටුපල හැදුවේ එයාබස් ගොඩබස්වන්නටය. පිළිගත් ජාත්‍යන්තර ගුවන් සමාගම් මේ මාරක ගුවන්තොටුපලට ගුවන් යානා බැස්සවීමට එකඟ වූයේ නැත. ඉඳහිට පැමිණෙන ගුවන් යානා කීපයෙනුත් දෙකක කුරුල්ලන් වැදී සිදුවන්නට ගිය මාරක ගුවන් අනතුරු බේරුණේ අනූ නවයෙනි.

මත්තල ගුවන්තොටුපල පටන්ගත් දා සිට මේ දක්වාම පාඩුය. කෝප් වාර්තාව අනුව 2016 වසරේ පළමු මාස 6 තුළ පමණක් ගුවන්තොටුපලේ ශුද්ධ අලාභය රුපියල් එකසිය පනස් හතර කෝටි හැටනව ලක්ෂයකි. එනම් දිනක අලාභය රුපියල් ලක්ෂ අසූ හතරකි. එනම් සෑම පැයකට වරක් මත්තල ගුවන්තොටුපොළ හේතුවෙන් රටට සිදුවන පාඩුව රුපියල් තුන් ලක්ෂ පනස් තුන් දහස් එකසිය අසූවකි. අවුරුද්දකට රුපියල් කෝටි 25 බැගින් අවුරුදු පහළොවක්‌ රුපියල් කෝටි 3500 ණය වශයෙන් ගෙවීමට රටට නියමිතව තිබේ.

රටේ ගුවන් සේවය හිතුමතේ අවභාවිත විය. 2013 අවුරුද්දේ එයාලංකා සමාගමේ වාර්ෂික පාඩුව රුපියල් කෝටි තුන්දහස් දෙසීය හතළියකි. 2014 අවුරුද්දේ වාර්ෂික පාඩුව රුපියල් කෝටි තුන්දහස් දෙසිය අසූ පහකි. මිහින් ලංකා නමැති ගුවන් සේවය පටන් ගන්නේ ඒ අතරය. එම සමාගමට මාසිකව රුපියල් හයකෝටි අසූ අට ලක්ෂ හැත්තෑපන් දහසක මුදලක් ගෙවා කල්බදු ක්‍රමයට ගුවන් යානා දෙකක් ලබා ගන්නේ ඒ අතරය. ශ්‍රී ලංකන් සමාගමට එයාබස් මිල දී ගැනීම සඳහා රුපියල් කෝටි තුන්දහස් තුන්සිය අසූවක් වියදම් කිරීමට ගිවිසුම් ගහන්නේ ඒ අතරය. අප ජීවත් වූයේ මෙවැනි මනෝ විකෘතිකයන් අපව පාලනය කළ රටකය.

දැන් මේ රටේ දුර්භාග්‍ය ගැන කියමින් මනෝරම්‍ය පුරයක් මවන්නට මැරී ඉපදුනා සේ ප්‍රාදූර්භූතව සිටින්නේ මේ පිරිස්ය. මේ ප්‍රකට වන්නේ ජාතිය සම්බන්ධව වූ සෙනෙහස නොව බියපත් අශීලාචාර මිනිසුන් පිරිසකගේ මර හඬය. සංවර්ධනයේ නාමයෙන් සිදු වූ ගනුදෙනුවල පැටිකිරිය හෙළිවන්නට ගියහොත් මොවුන්ට හිමි තැන ඇත්තේ මහඋළු ගෙදරය. බලය අවශ්‍ය ඒ නින්දා සහගත අතීතය යටපත් කරන්නටය. මේ යථාර්ථය තේරුම් ගැනීමට මේ රටේ පුරවැසියන්ට දුෂ්කර නැත.

එහෙත් තේරුම් ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. යළිත් එම පාලනය ඇති කිරීමට දරන සියලු ප්‍රයත්නයන් පරාජය කළ යුතුව ඇත.

මහාචාර්ය එච්. ඩබ්ලිව්. සිරිල් 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();