සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ පැවැති 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතා වටයේ අවසන් පූර්ව තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත් විය.
මේ සමග ශ්‍රී ලංකා පිල පළඟ ශූරතා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එහිදී බටහිර ඉන්දීය කොදෙව් පිල සහ කැනඩාව අතර අද (26) පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් සමග තරග වැදීමට නියමිතය.
ලින්කොන්හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල කඩුලු 4ක් දැවී ලකුණු 259ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාව පන්දු 27ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 5ක් අහිමිකර ගනිමිනි.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 31ක් තුළ බිඳ වැටුණු අතර සිවුවැනි කඩුල්ල ලෙස නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 17 කට දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 65ක් විය.
අනතුරුව අංක 3 පිතිකරු නිශාන් මධුෂ්ක සමග එක්වු නුවනිදු ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 206 දක්වා ඉදිරියට ගෙන ගියේ ලකුණු 141ක සබඳතාවක් පිහිටුවමිනි.
පන්දු 79කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 68ක් ලබාසිටි නුවනිදු දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණද ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා ගෙන යෑමට මධුෂ්ක සමත්වූයේ නොදැවී ලකුණු 109ක් රැස් කරමිනි.
පන්දු 135කදී හතරේ පහර 9කින් ඉනිම වර්ණවත් කරගත් ඔහු, අශේන් බණ්ඩාර සමගින් 5වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 54ක් එක් කළේය. හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 38ක් රැස්කළ බණ්ඩාරගේ ඉනිමට වැයවූයේ පන්දු 26ක් පමණි.
පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල වෙනුවෙන් ජේඩ්න් ස්චැන්ඩ්නඩ්‍රොෆ් (74), මිල්ටන් ශුම්බා (62) හා ඩොල්ඩ් මැම්බෝ (52) අර්ධ ශතක රැස් කළහ.
මේ අතර සත්කාරක නවසීලන්ත හා ඇෆ්ගනිස්තානය අතර ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 202ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වීම කැපී පෙනුණි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 306ක් රැස්කළ අතර පිළිතුරු ලෙස නවසීලන්තයට ලබාගත හැකිවූයේ ලකුණු 107ක් පමණි.
දකුණු අප්‍රිකාව පරාජය කරමින් පාකිස්තානය හා බංග්ලාදේශය පරාජය කළ ඉන්දියාව සමගින් ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට පිවිසියේ තෙවැනි ආසියානු කණ්ඩායම ලෙසිනි. එංගලන්තය පරාජය කළ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට එක්වූ අනෙක් කණ්ඩායමයි.
සිම්බාබ්වේ 19න් පහළ පිල - 259/4 (ඕවර 50) ජේඩ්න් ස්චැන්ඩ්නඩ්‍රොෆ් 74, මිල්ටන් ශුම්බා නොදැවී 62, ඩොනල්ඩ් මැම්බෝ 52 (තිසරු රශ්මික 58/2)
ශ්‍රී ලංකා 19න් පහළ පිල - 260/5 (ඕවර 45.3) නිශාන් මධුෂ්ක නොදැවී 109, නිවනිදු ප්‍රනාන්දු 68 (න්කොසිලති නුන්ගු 49/2)

0 Comments