මෙවර අන්තර් සමාජ පළමුපෙළ ලීග් රගර් තරගාවලියේ අනුශූරතාව හඹා යන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට සහ නාවික හමුදා කණ්ඩායමට උණුසුම් සති අන්තයක තීරණාත්මක තරග 2කට ක්‍රීඩා කිරීමට සිදුවී තිබේ. වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය දැනටමත් අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන බැවින් සෙසු කණ්ඩායම් අතර අනුශූරතාව සඳහා ඇතිවූ තරගයේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් දෙක බවට හැව්ලොක්ස් පිල සහ නාවික හමුදා පිල පත්ව සිටිති.
පසුගිය සතියේ පැවැති 11 වැනි සති අන්තයේ පෙරළිකාර සිදුවිම වූයේ එතෙක් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන රැකගත් හැව්ලොක්ස් පිල සමග පැවැති තරගය ලකුණු 24 -24 බැගින් සම කරගැනීමට පොලිස් කණ්ඩායම සමත්වීමය. මේ සමගම හැව්ලොක්ස් පිල ලකුණු සටහනේ තුන්වැනි තැනට ඇද වැටුණු අතර තුන්වැනි තැන සිටි නාවික හමුදා පිල දෙවැනි තැනට පත්විය.
මෙවර තරගාවලියේ මෙතෙක් ජයග්‍රහණයක් ලබාගත නොහැකිව ප්‍රසාද ලකුණු සටහනේ අවසන් අටවැනි තැනට වැටී සිටින පොලිස් ක්‍රීඩා සමාජය හැව්ලොක්ස් පිල හමුවේ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් අද (26) පස්වරුවේ පොලිස් පිටියේ දී පැවැත්වෙන තරගය ගුවන් හමුදා පිලට දැඩි අභියෝගයක් වනු නිසැකය. පසුගිය සතියේදී ලකුණු 33-10කින් යුද හමුදා පිල පරදවා සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කළ ගුවන් හමුදා පිල තරගාවලියේ රැඳී සිටින්නේ 7 වැනි ස්ථානයේය.
මේ සතියේ තරගවලදී වැඩි අවධානයක් ගන්නා තරගය බවට පත්වී ඇත්තේ අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා කණ්ඩායම අතර හෙට (27) නිත්තවෙල පැවැත්වෙන තරගයයි. නැවියන්ට දෙවැනි තැන රැක ගැනීමට නම් මෙතෙක් පැවැති තරග 11ම ජයගෙන ප්‍රසාද ලකුණු 64ක් ලබා පෙරමුණේ පසුවන මහනුවර පිල හමුවේ හෙට තරගයේදී ජයග්‍රහණයක් වාර්තා කිරීමට සිදුවනු ඇත. ප්‍රසාද ලකුණු 46ක් ලබා නැවියන් දෙවැනි තැන පසුවෙද්දී හැව්ලොක්ස් පිල තුන්වැනි තැන සිටින්නේ ප්‍රසාද ලකුණු 44ක් ලබමිනි. පසුගිය සතියේදී ලකුණු 34-18කින් සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරාජය කළ නැවියන් පසුවන්නේ ඉහළ මානසිකත්වයෙන් යුතුවය. එසේ වුවත් අපරාජිත බව රැකගනිමින් තරගාවලියේ ආධිපත්‍ය පතුරුවාලමින් සිටින මහනුවර පිල ඔවුන්ගේම භූමියේදී පරාජය කිරිම ලෙහෙසි පහසු කරුණක් නොවනු ඇත.
අනිත් අතට හෙට හැව්ලොක්ස් පිල සහ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන තරගයෙන් ජය අත්කර ගැනීමට හැව්ලොක්ස් පිල සමත්වුවහොත් නැවියන්ට දෙවැනි තැන අහිමිවනු ඇත.
තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම ලෙස සැළකෙන සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදා කණ්ඩායම අතර තරගය අනිද්දා (28) හැව්ලොක්ස් පිටියේදී පැවැත්වෙයි. පසුගිය සතියේ යුද හමුදා පිල ගුවන් හමුදාව වෙතින් අන්ත පරාජයක් උරුම කරගත්තත්, ප්‍රබල මහනුවර පිලට උත්සාහක දිනුම් 5කට වඩා තැබීමට ඉඩ නොදුන් සී.එච්.පිල තරගයෙන් පරාජය වූයේ ලකුණු 34-23කිනි.

0 Comments