ජගත් ටෙනිස් කෙළිබිමේ බිහිවූ සුපිරිතම තරුවක් වන බොරිස් බෙකර් අස්ථානගතව තිබෙන තමන්ගේ කුසලාන සොයා ගැනීමට උපකාරී වන ලෙසට ජනතාවගේ සහාය ඉල්ලා සිටී.
බෙකර් දිනා ගත් ‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’ කුසලාන හයෙන් පහක් හා ඔලිම්පික් රන් පදක්කමද ඔහු නැතිකර ගෙන තිබේ.
පණස් හැවිරිදි වියේ පසුවන ජර්මානු ජාතික බෙකර් මේ පදක්කම් සොයන්නේ ඒවා විකුණා ණය ගෙවා දැමීමටය. ඔහු බංකොලොත්භාවයට පත්වූ බව 2017 ජූනි මාසයේදී ප්‍රකාශයට පත් කෙරිණි.
1992 ඔලිම්පික් පිරිමි යුගල රන් පදක්කම හා 1985, 1986, 1989 විම්බ්ල්ඩන් කුසලාන, 1991 හා 1996 ඔස්ට්‍රේලියානු විවෘත කුසලාන සහ 1989 ඩේවිස් කුසලානය නැතිව තිබෙන කුසලාන වෙති.
“ඒවා තිබ්බෙ කොහෙද කියලා බෙකර් මහත්මයාට මතක නැහැ“ යනුවෙන් බෙකර් සහ ලන්ඩනයේ සිටින ඔහුගේ වස්තුභංගත්ව භාරකරුවන් විසින් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
සමස්ත එංගලන්ත ටෙනිස් සමාජය, ජර්මන් ටෙනිස් සම්මේලනය, අමෙරිකානු ටෙනිස් සංගමය, ටෙනිස් ඔස්ට්‍රේලියා හා ජාත්‍යන්තර ටෙනිස් සුපිරි ක්‍රීඩක සමාජය තමන් සතුව එම කුසලාන නැති බව ප්‍රකාශ කර තිබේ.
බෙකර් පෞද්ගලික බැංකුකරුවන්ගේ ආයතනයකට විශාල මුදලක් ණයව සිටින බව හා එම මුදල් ගෙවා දැමීමට තරම් වත්කමක් බොරිස් ට තිබෙන බවට විශ්වාස කළ හැකි සාක්කි නැති බවටත් ලන්ඩනයේ වස්තුභංගත්ව උසාවියක් විසින් ජූනි මාසයේදී තීන්දු කරන ලදී.
හිටපු ලෝක අංක 1 ටෙනිස් ක්‍රීඩක බෙකර් 1985 වසරේදී ප්‍රථම වතාවට ප්‍රසිද්ධියට පත්වූයේ ඔහුගේ වයස අවුරුදු 17ක් පමණක්ව තිබියදී ජාත්‍යන්තර ටෙනිස් ලෝකයේ ශ්‍රේණිගතව නොසිටිමින් විම්බ්ල්ඩන් ශූරතාව දිනා ගැනීම හේතුවෙනි. පහළොස් වසරක වෘත්තීය ක්‍රීඩා දිවිය තුළ බෙකර් විම්බ්ල්ඩන් කේවල කිරුළු 3ක්, ඔස්ට්‍රේලියානු විවෘත ශූරතා 2ක් හා අමෙරිකානු විවෘත ශූරතාව ඇතුළුව ඒ.ටී.පී. ටුවර් ශූරතා 64ක් දිනා ගැනීමට සමත් විය.
මීට අමතරව ඔහු ඩේවිස් කුසලාන 2ක් හා ඔලිම්පික් පිරිමි යුගල රන් පදක්කමද දිනා ගත්තේය.
ජගත් ටෙනිස් තරග බිමෙන් විශ්‍රාම යෑමෙන් පසුම බොරිස් බෙකර් ව්‍යාපාර හා මාධ්‍ය ක්ෂේත්‍රයන්හි රැකියාව කිරීමට අමතරව 2013 සිට වසර තුනක් ලොව හිටපු අංක 1 ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ගේ පුහුණුකරු ලෙසද කටයුතු කළේය.

0 Comments