Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බංග්ලාදේශයට එරෙහි අද තරගයේ ශ්‍රී ලංකා පිලට අභියෝග දෙකක්

 බංග්ලාදේශ තුන්කොන් එක්දින තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙස අද (25) ඩකා නුවර පැවැත්වෙන සත්කාරක බංග්ලාදේශ පිලට එරෙහි තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ අභියෝග දෙකක් තිබේ. මේ වනවිට මූලික වටයේ එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවන ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් අද තරගය ජයගැනීමේ හෝ ලකුණු ලබාගැනීමේ වේගය රඳවා තබාගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදුවී තිබේ.

ශ්‍රී ලංකාව සමග බංග්ලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම තරග වදින මේ තරගාවලියේ දී සත්කාරක බංග්ලාදේශ පිල මේ වනවිට සහභාගි වූ තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි. සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල ජයගැනීමට සමත්වී ඇත්තේ එක් තරගය බැගින් පමණි. එහෙත් ලකුණු ලබාගැනීමේ වේගය අනුව මේ වනවිට ශ්‍රි ලංකාව දෙවැනි ස්ථානයෙත්. සිම්බාබ්වේ පිල තුන්වැනි ස්ථානයෙත් පසුවෙති. දැනටමත් බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින අතර ප්‍රතිවාදී කණ්ඩායම තීරණය කෙරෙන්නේ අද තරගයෙනි.

සිය භූමියේදී ප්‍රතිවාදීන් පීඩනයකට හසු කරමින් ජය අත්කරගැනිමේ විස්මිත හැකියාවක් පෙන්නුම් කරන බංග්ලාදේශ කණ්ඩායම ජයගත් තරග 3දීම ප්‍රසාද ලකුණක් ද අත්කර ගැනිමට සමත්විය. එබැවින් අද තරගයේදී බංග්ලාදේශ පිල පරාජය කිරීම ශ්‍රී ලංකා පිලට පහසු නොවනු ඇත. එසේ වුවත් ලකුණු ලබාගැනීමේ වේගය රඳවා තබාගැනීමට හෝ ඉහළ දමාගැනිමට ශ්‍රී ලංකා පිල සමත්වන්නේ නම් අවසන් මහා තරගයට එක්වීමට අවස්ථාව උදාවනු ඇත.

අද තරගයේදී කාගෙත් අවධානයට ලක්වී ඇති ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ ශ්‍රී ලංකා පිලේ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සහ බංග්ලාදේශ පිලේ තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ය. සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබාදෙමින් සිටින අත්දැකීම් බහුල ශකීබ් අල් හසන් තරග 3කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 155කි. ඊට අර්ධ ශතක දෙකක් ද ඇතුළත්ය. මීට අමතරව පන්දුවෙන් දස්කම් පාමින් කඩුලු 9ක් බිඳ දැමීමට ද ඔහු සමත්විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් පෑ තිසර පෙරේරා තරග 3කදී එක් අර්ධ ශතකයක් සමග ලකුණු 132ක් රැස් කිරිමට සමත්විය. මේ වනවිට ඔහු බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 9කි. ශකීබ් සහ තිසර මේ තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලැබූ පන්දුයවන්නන් අතර ඉදිරියෙන් පසුවෙති. තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණුලාභියා බවට පත්වී සිටින්නේ තරග 3දීම අර්ධ ශතක 3ක් රැස් කරමින් මුලු ලකුණු සංඛ්‍යාව 244 දක්වා ඉහළ දමාගත් බංග්ලාදේශ පිලේ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්ය.

පළමු තරගයෙන් පසුව නායක ඇන්ජෙලෝ මැතිව්ස් ද, තුන්වැනි තරගයෙන් පසුව ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද ආබාධවලට ලක්වීමෙන් තරගාවලියෙන් ඉවත්විමෙන් දැඩි බලපෑමක් එල්ලවූවත් අද තරගය ජයග්‍රහණයෙන් නිමා කරමින් අවසන් තරගයට එක්වීම ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තුව වී තිබේ.

- ෆවුස් මොහොමඩ් 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();