Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුවත්පත් කලාවේ විප්ලවීය වෙනසක් කළ සොඳුරු මිනිසා

 

ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයේ ගවේෂණාත්මක පුවත්පත් කලාවේ විප්ලවීය වෙනසක් සිදු කළ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග කුරිරු ලෙස ඝාතනය කර වසර 9ක් සපිරිණි.

2009 වසරේ ජනවාරි 8 වැනිදා ඔහු ඝාතනය වුයේ සිය පුවත්පත් ආයතනය ආසන්නයේදීය. ඒ සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී උදෑසන 10‍.20ට පමණය.

ගවේෂණාත්මක පුවත්පත් කලාවට අති දක්ෂයෙක් වු ලසන්ත වික්‍රමතුංග සිය නීතීඥ වෘත්තීය මාධ්‍ය කලාවට විශාල පිටිවහලක් කර ගත්තෙකි.

1958 දී උපන් ලසන්ත වික්‍රමතුංග පවුලේ බාලයා ලෙස සියලු දෙනාගේ ආදරය ලබමින් හැදී වැඩුණු අතර සිය පියාගේ දේශපාලන සම්බන්ධකම් හේතුවෙන් 1960 ගණන්වල සිටම ආර්.ප්‍රේමදාස, පීටර් කෙනමන්, විවියන් ගුණවර්ධන, ජේ.ආර්.ජයවර්ධන, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක වැනි දක්ෂිණාංශික මෙන්ම වාමාංශික දේශපාලන නායකයන් ඇසුරු කිරීමට ඔහුට අවස්ථාව ලැබී තිබිණි.

සිය සහෝදරියක වෙසෙන එංගලන්තයට ගොස් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ මෙන්ම නීති උපාධියක් ද හිමි කරගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඔහු ලංකා නීතී විද්‍යාලයට ද ඇතුළත්ව නීති උපාධිය ලබා ගත්තේය.

මේ නිසාම ඔහු මාධ්‍යවේදියකු වශයෙන් කිසිම දේශපාලන පක්ෂයට හිතවාදී අයෙක් බව පෙන්නුම් නොකළද වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔහු කොළඹට තරග වැදුණේය. සිරිමාවෝ මැතිණියගේ ලේකම්වරයකු ලෙසද ඔහු වරක් කටයුතු කළේය.

සන්ඩේ ලී‍ඩර් පුවත්පත ආරම්භ කර එහි ආරම්භක කර්තෘ ලෙස කටයුතු කරමින් අභීත ජවසම්පන්න මාධ්‍ය කලාවක් බිහි කිරීමේ කාර්යයට ලසන්ත වික්‍රමතුංග පෙරමුණ ගන්නේ මාධ්‍ය කලාවේ විප්ලවීය වෙනසක් ඇති කරමිනි.

මහින්ද රාජපක්ෂ රජයේ වංචා, දුෂණ හෙළි කිරීමට මාධ්‍ය හිතන්නේවත් නැති ඒ අවධියේ ලසන්ත වික්‍රමතුංග හෙල්පින් හම්බන්තොට වැනි ව්‍යාපෘති මෙන්ම එම රජයේ මැති ඇමැතිවරුන්‍ විසින් සිදු කළ විවිධ වංචා දුෂණ හෙළි කිරීමට කටයුතු කළේය. මිග් ගනුදෙනුවේදී සිදු වී යැයි කියන මුල්‍ය වංචා සම්බන්ධයෙන් ද ලසන්ත වික්‍රමතුංග දිගින් දිගටම සිය පුවත්පතේ ලිපි පළ කරමින් ජනතාවට කරුණු හෙළි කළේය.

මේ වෙනස ඉවසාලිය නොහැකි පිරිසක් පුවත්පත ආරම්භ කර වසර 2ක් ඉක්ම යන දිනෙක ලසන්ත හා බිරිය ගමන් ගත් මෝටර් රථය නවතා ඔවුන් එළියට ඇඳ දමා රථයට පොලුවලින් පහර දී විනාශ කරනු ලබන්නේ ජීවිත තර්ජන පෙන්වා දෙමිනි.

ඔහුගේ දේශපාලන දර්ශනය කිසිවිටෙක නිර්වචනය කළ නොහැක්කක් වන අතර ඔහු එවකට පැවැති රජයේ ජනතාවාදී නො‍වන සියල්ලක් සිය පුවත්පත් හරහා විවේචනයට ලක් කළේය.

සන්ඩේ ලීඩර් පුවත්පත හරහා ලසන්ත වික්‍රමතුංග රජයේ අගතිගාමී වැඩපිළිවෙළ විවේචනය කරමින් ගෙන ගිය මාධ්‍ය මෙහෙවර අතරතුරදී 2005, 2007 වසරවල ආයතනය ගිනි තැබීම්වලට හා මුද්‍රා තැබීම්වලට ලක් විය. නඩු හබ රැසක පැටලීමටද සිදු විය. මේ කිසිවක් නොතකා නිදහස් මාධ්‍ය කලාවක් බිහි කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අදහස් පළ කිරීමේ අයිතිය රැකීම හා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් ඔහු අභීතව සිය පෑන මෙහෙයවීය. ඔහුගේ අරමුණ ජනතාවගේ මේ අයිතීන්වලට ගරුත්වයක් හිමි කරදීමම විය. ඒ වෙනුවෙන් තරාතිරම නොබලා සිය පෑන මෙහෙයවමින් අවසන් මොහොත දක්වාම ඔහු සටන් කළේය.

ඔහු සිය මාධ්‍ය ජීවිතයේ තවත් පියවරක් ඉදිරියට තබමින් රූපවාහිනි නාලිකා ඔස්සේ ද දේශපාලන වැඩසටහන්වලට එක්වෙමින් සිය මතය ජනතාව වෙත ගෙන යාමට කටයුතු කළේය. ඒ ඔස්සේ තවත් ජනප්‍රියත්වයට පත් වු ඔහුට ඔහු දැනුවත්ව සතුරු කඳවුරු බැඳෙන්නට විය.

ජනවාරි 8 වැනිදා ඔහු මිය ගිය පසුව ඔහු පුවත්පත වෙනුවෙන් ලියු අවසන් කතු වැකිය 2009 ජනවාරි 11 වැනිදා සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ විය. එහි එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් බොහෝ දේ ලියා තිබිණි.

"මගේ මරණය අභියස ඔබ සුපුරුදු සියලු සපථ කිරීම් කරමින් ඉක්මණ් පරීක්ෂණ කිරීමට යැයි පොලිසියට අණ කරනු ඇති බව මම දනිමි, ඇත්ත කියන්නේ නම් මගේ මරණය පිටුපස ඇත්තේ කවරෙකු දැයි අපි දෙදෙනාම දනිමු. නමුදු අපි ඔහුව නම් නොකරන්නෙමු. මගේ පමණක් නොව ඔබේ ද ජීවිතය ඇත්තේ ඔහු අතේය " යැයි සඳහන් කර තිබේ.

ලසන්ත තමන් ඝාතනය වන බව දැන දැනම ජීවත් වු බව මින් පෙනී යයි. තමන්ගේ මරණයට වගකිව යුත්තා දන්නා බවද පෙනී යයි. නමුත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මේ වන තුරු වරදකරුවෝ සොයා ගැනීමට කිසිවෙකුටත් හැකියාවක් ලැබී නැත. පැවැති ආණ්ඩුව නිවැරදි නම් සිදු කළ යුතුව තිබුණේ ලසන්ත ඝාතනය ගැන පරීක්ෂණ පවත්වා වගකිව යුත්තෝ හෙළි කර ගැනීමය. එමගින් පොදුවේ අපරාධ පිටු දැකීමට හැකියාව ලැබෙන අතරම මෙරට මාධ්‍ය නිදහස තහවුරු කිරීමටද හැකියාව ලැබෙන්නේය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන්නේ ඔහුගේ මාධ්‍ය භාවිතය නිසා බවට වෙනත් හේතු දැක්වීම් අවශ්‍ය වන්නේ නැත.

ලසන්ත ඝාතනයෙන් පසු ඔහු භාවිතා කළ සටහන් පොතක ඔහුට පැමිණි තර්ජනාත්මක දුරකතන ඇමතුම්වල අංක, ඔහුගේ ලුහුබදිමින් පැමිණි වාහනවල අංක සියල්ල සඳහන් කර තිබු ඔහු මතු ප්‍රයෝජනය සඳහා එය තබා ගන්නට ඇතැයි සිතිය හැකිය. පසුව මේ පොත ආරක්ෂාව භාරව සිටි ඉහළම නිලයක් අතට පත්ව ඇති අතර පසුව ඒ ගැන සඳහනක් ද නැත.

ලසන්ත ඝාතනය එල්.ටී.ටී.ඊය විසින් සිදු කළ බවට උත්සාහයක් තිබු අතර ඝාතන පරීක්ෂණ වරක් ත්‍රස්ත විමර්ශන ඒකකය වෙතද භාර කෙරිණි.

කෙසේ වෙතත් මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා තොරතුරු දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම අරඹයා සිය පෑන හසුරුවමින් විශාල සේවයක් කළ ලසන්ත වික්‍රමතුංග සිය ගවේෂණාත්මක පුවත්පත් හැකියාව පෙන්නුම් කරමින් මෙරට පුවත්පත් කලාව තුළ විප්ලවීය වෙනසක් ඇති කරන්නට පෙරටුගාමීව කටයුතු කළේය. ඒ නිර්භීත මාධ්‍යවේදියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විටින් විට විවිධ පරීක්ෂණ ඔස්සේ විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තද ඔහුගේ මරණයෙන් වසර 9ක් ගියද ඊට සෘජුව වගකිව යුත්තෝ තවමත් නීතිය හමුවට ගෙන ඒමට හැකියාව ලැබී නොමැත. මේ නිසා වගකිව යුත්තෝ තවමත් නිදැල්ලේය.

 

සමන්මලී ප්‍රියශාන්ති‍. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();