අවුරුදු 16න් පහළ ලෝක ඔලිම්පියාඩ් චෙස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ පළමු චෙස් ක්‍රීඩා ෆිඩේ මාස්ටර් එම්. සසිත් නිපුන් පියුමන්ත සමත් විය.
මේ තරගාවලිය හෙට (24) තුර්කියේදී ආරම්භ වන අතර විදෙස් රටවල පැවැති ආසියානු හා ලෝක චෙස් තරගාවලි සඳහා ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තේරීපත්වුණු තිස්දෙවැනි අවස්ථාව වන අතර ඉන් අවස්ථා දහසයක්ම විදෙස් චෙස් තරගාවලි සඳහා සහභාගිවිය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙසේ සසිත් සහභාගිවූ විදෙස් චෙස් තරගාවලි වලදී දහසයේදී ලක් මවට දිනා දුන් පදක්කම් සංඛ්‍යාව ද දහසයකි. රන්, රිදී පදක්කම පහ බැගින්ද ලෝකඩ පදක්කම් හයක්ද ඒ අතර වෙයි.
2011 වසරේ ඉන්දියාවේ පැවැති හත් වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමුව වරට එක්වූ සසිත් එහිදී අවු. 9න් පහළ කණ්ඩායම් රිදී පදක්කම ලක් මවට දිනා දුන්නේය. එමෙන්ම සිය චෙස් ක්‍රීඩා දිවියේ දෙවැනි විදෙස් තරග සංචාරය ලෙස 2014 වසරේ තායිවානයේ පැවැති නව වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවී වයස 13න් පහළ රන් පදක්කම දිනා ගත්තේ ලංකාවේ පළමු පාසල් චෙස් ක්‍රීඩා පිඩේ මාස්ටර් යන නිල නාමයද ලබා ගනිමින්ය. එම වසරේම බ්‍රසීලයේ පැවති නව වැනි ලෝක පාසල් චෙස් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවී වයස 13න් පහළ ලෝකයේ හොඳම දස දෙනාට හිමි රන් පදක්කම දිනා ගත්තේ එම තරගාවලියේ පස් වැනියා වෙමිනි.
සසිත් මේ වසරේ පැවැති 20 වැනි ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී අවු.16 න් පහළ රන් පදක්කම ලක් මවට දිනා දුන්නේ ආසියානු යොවුන් චෙස් තරගාවලියකදී ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩකයකු ලබාගත් පළමු හා එකම පදක්කම ලෙස තවත් වාර්තාවක් ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩා වාර්තා පොතට එක් කරමින්ය . මේ වසරේ පැවැති ආසියානු පාසල් චෙස් තරගාවලියයේ අවු.17න් පහළ අංශයෙන් තරග කළ සසිත් එහිදී රන් පදක්කම් 3ක් හා රිදී පදක්කමක් දිනා ගත්තේ ශ්‍රී ලංකා අවු.17න් පහළ ක්‍රීඩකයකු ආසියානු පාසල් චෙස් තරගාවලියකදී එකවරම පදක්කම් හතරක් දිනාගත් පළමු අවස්ථාවද සටහන් කරමිනි.
දහසය හැවිරිදි මේ පාසල් චෙස් ක්‍රීඩකයා තෙවැනි වරටත් මේ වසරේදී පස් දෙනෙකුගෙන් සමන්විතවූ ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු ලෙසද තේරීපත්වී ඇත. ඔහු අවු.13දී පළමු වරට ජාතික කණ්ඩායම නියෝජනය කළේය.
චෙස් ක්‍රීඩාවෙන් සිය මව් බිම දිනෙන් දිනම ඉහලට ඔසවා තබනු ලබන මේ චෙස් ක්‍රීඩකයා මේ වනවිට එම ක්‍රීඩාවෙන් තබා ඇති ශ්‍රී ලංකා හා දකුණු පළාත් වාර්තා ගණන විසි පහකි.
චෙස් ක්‍රීඩාවට අධ්‍යාපනයටත් ඉහළ දස්කම් දක්වන ඔහු පසුගිය වසරේ අපොස සාළෙ විභාගයෙන් ද විශිෂ්ට අයුරින් සමත් විය.
ක්‍රීඩාවෙන් විශිෂ්ට දස්කම් දක්වන සසිත්ගේ පුහුණුකරු ලෙස ප්‍රවීණ චෙස් ක්‍රීඩා උපදේශක ගිහාන් කාංචන මහතා කටයුතු කරයි.
කරන්දෙණිය සමුහ
අනුරාධ ප්‍රියදර්ශන
0 Comments