ඇමැති එස්.බී. දිසානායක
ජාතිවාදය හා ආගම්වාදය අවුස්සන, ජනතාව රවටන තක්කඩින්ට ඡන්දය දෙන්න එපා. ලස්සන ශ්‍රී ලංකාවක් හදන්න අපිත් එක්ක එකතු වෙන්න යැයි සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක මහතා පැවසී ය.
ඇමැතිවරයා මේ බැව් පැවසූයේ පසුගිය 25දා සමන්තුරේ පැවැති ශ්‍රීලනිප ප්‍රචාරක රැලියක් අමතමිනි. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියේය. අපි සියලු දෙනා 30 අවුරුදු යුද්ධයක පැටලි දුක් වින්ඳා. සිංහල, දෙමළ, මුස්ලිම් අය විශාල ගණනක් මැරුණා. ඒවාගේම විශාල ගණනක් තුවාලව සදාකාලික ආබාධිතයන් බවට පත්වුණා. අපේ රටේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් විනාශ වෙලා ගියා. අවුරුදු 30ක් රටේ සංවර්ධනය එහෙමම කඩා වැටුණා. දැන් ඒ යුද්ධය ඉවරයි.
යුද්ධයක් ඇති වුණේ ජාතීන් අතර, ආගම් අතර ඇති වූ සැක සංකා හා බිය නිසා රටේ සුළු ජාතික ජනතාවගේ ප්‍රශ්න මහ ජාතිය විසඳුවේ නැති නිසයි. රටේ මහ ජාතිය මුස්ලිම්, දෙමළ අය සමාන පුරවැසියන් ලෙස පිළිගත් නැති නිසයි. අවුරුදු 30ක යුද්ධයක් ඉවරවුණු පසුව අද අපට මරණ බිය නැහැ. අද අපේ දරුවන්ට කරදරයක් නැතුව ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්. දරුවෝ කැලයට ඇදගෙන යයි කියලා බියක් නැහැ. ඒ සේරම සිදුධ වුණත් ඒ යුද්ධය ජයගත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රටේ දෙමළ, මුස්ලිම්, අයගේ විශ්වාසය දිනා ගන්න බැරි වුණා. යුද්ධය අපි දිනුව. හැබැයි මුස්ලිම් අයගේ විශ්වාසය, දෙමළ අයගේ විශ්වාසය පැත්තෙන් අපි පැරදුණා.
ඒ නිසා අපේ පක්ෂයේ ලේකම්වරයා පොදු අපේක්ෂකයා වෙලා එළියට බැහැලා ජනාධිපති වුණා. අන්ත ජාතිවාදය, අන්ත ආගම්වාදය, මේ රටෙන් ඉවත් කරනවා කියලා එතුමා පොරොන්දුවක් දුන්නා. හොරකම, දුෂණය, නැති රටක් ආණ්ඩුවක් හදනවා කියලා එතුමා කිවුවා. ශ්‍රීලනිපය අන්ත ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් ඉවත් කරනවා කිවුවා. එතුමා දිනලා ජනපති වෙලා අපේ පක්ෂය භාර ගත්තා. දැන් අපේ පක්ෂය භාර ගත්තා. දැන් අපේ පක්ෂය ජාතිවාදී, ආගම්වාදී නොවන ඔවුනට ගරු කරන පක්ෂයක් බවට පත්වෙලා. ඒ නිසා අද ඔබ අපිට ආදරය කරනවා. අද අපි බය නැතුව ඔබට දෙමළ අය ආදරය කරනවා. ඔබතුමාලගේ ඡන්ද අරගෙන යන දේශපාලනඥයන් ඡන්දය අරගෙන ගිහින් නෑවිත් ඊළඟ පාර ජාතිවාදය අවුස්සනවා.
මුස්ලිම් අය සිංහල දෙමළ අයට බැනලා ඡන්දය ඉල්ලනවා. දෙමළ අය මුස්ලිම් සිංහල අයට බැනලා ඡන්දය ඉල්ලනවා. සිංහල අය දෙමළ මුස්ලිම් අයට බැනලා ඡන්දය ඉල්ලනවා. සිංහල අය දෙමළ මුස්ලිම් අයට බැනලා සිංහල ඡන්ද ඉල්ලනවා. අදත් මේ උතුරුකරයේ දෙමළ අය ප්‍රභාකරන් දෙයියෝ කියනවා. අපේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමා මහඇමති වෙලා ප්‍රභාකරන් දෙයියෝ කියනවා. මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම්, දෙමළ අය ගැන කියලා සිංහල ඡන්ද ඉල්ලනවා. රිෂාඩ් බද්යුද්දීන් දෙමළ, සිංහල අයට බැනලා ඡන්දය ඉල්ලනවා. ඒක ඉතා ම භයානකයි. මේක භයානක අපිට වඩා අපේ දරුවන්ට. ඊට වඩා රටට.
මහින්ද රාජපක්ෂ මහතාගේ අන්තිම කාලයේ මුළු ලොකයම අපිත් එක්ක තරහ වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපිට විරුද්ධව ආයුධ අමෝරා ගත්තා. ඉන්දියාව අපිට විරුද්ධව ඡන්දේ දුන්නා. අපිට උදව් කරපු ජපානය, උතුරු කොරියාව, සිංගප්පූරුව, අපිට විරුද්ධව ඡන්දය දුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපිට විරුද්ධව ආර්ථික තහංචි දාන්න සූදානමෙන් සිටියා.
මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ සියලු දෙනාගේ ආදරය සහයෝගය ලබා ගත්තා. ඒ නිසා බලාපොරොත්තු තියාගෙන රට දියුණු කරන වැඩපිළිවෙලක් හදන්න පුළුවන්. ජනාධිපතිවරයා මෙවර ඡන්දයට අත ලකුණින් ඡන්දයට අපේක්ෂකයන් ඉදිරිපත් කර තියෙනවා. ඒ අතර එතුමා රිෂාඩ්, මුස්ලිම් කොන්ග්‍රසය, එක්සත් ජාතික පක්ෂය එක්ක ආණ්ඩුවක් කරනවා. එතුමා කියුවා පහුගිය ආණ්ඩුවේ හොරු-මේ ආණ්ඩුවේ හොරු අල්ලනවා කියලා.
රටේ සියලු ජනතාව එකතු කරගෙන රට ගෙනයන්න ජනාධිපතිවරයාට අපි උදව් කරන්න ඕනේ. අපි එහෙම කරන්නේ දරුවන්ට මරණ භය යුධ භය නැතුව ඉන්න රටක් හදන්න ඕනේ නිසා. එතුමා තමයි කොට්ඨාස ක්‍රමය ඔබට දුන්නේ. මේකට එජාපය විරුද්ධ වුණා. රිෂාඩ් විරුද්ධ වුණා. මොකද ඒ අය කැමතියි සල්ලි ටිකක් විසි කර ඡන්ද ටික අරගෙන පැත්තකට වෙලා ඉන්න. දැන් ඔබට පුළුවන් ගමේ කෙනෙක් තෝරා ගන්න.ශ්‍රීලනිප මැතිවරණ ව්‍යාපාරය දිනෙන් දින වර්ධනය වෙනවා. අපි දැන් ජයග්‍රහණය අබියස ඉන්නේ. අද මේ සමන්තුරේ මුස්ලිම් ජනතාව බහුතරයක් ම අපිත් එක්ක ඉන්නවා දැක්කම සතුටුයි යනුවෙන් පැවසී ය. මෙම අවස්ථාව සඳහා සමන්තුරේ ශ්‍රීලනිප සංවිධායක මුසම්මිල් මහතා ඇතුළු මහා ජන ගංඟාවක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
0 Comments