Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ධර්මසේන පතිරාජයන් ශ්‍රී ලාංකීය සිනමාව නව කියැවීමකට යොමු කළා

ජනපති ශෝක පණිවිඩයක් නිකුත් කරමින් කියයි

නිර්භයව සහ සෘජුව සිනමාව දේශපාලන කියවීමක් බවට පත්කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, තිරනාටක රචක ධර්මසේන පතිරාජයන්, වේදිකාව මෙන්ම ගීත රචනයද පරිවර්තන සාහිත්‍යයද අතික්‍රමණය කළ බහුවිධ ශක්‍යතාවයන්ගෙන් හෙබි මහා වනස්පතියක් බඳු යැයි ඒ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී.

ඒ ශෝක පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

ලාංකීය සිනමාවේ සාම්ප්‍රදායික හැඩතලය, රැඩිකල් අවකාශයකට විවර කළ පුරෝගාමියකු වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, තිරනාටක රචක ධර්මසේන පතිරාජයන්ගේ අභාවය සැළව සාතිශය සංවේගයට පත්වීමි.

හන්තානේ කතාව සිනමා පටයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙසින් සිනමාවේ අත්පොත තබන පතිරාජයන්, සිය ප්‍රථම නිර්මාණය වන අහස්ගව්ව සිනමා පටයෙන් ලාංකීය සිනමාව නව කියැවීමකට යොමු කළේය. අනතුරුව හැත්තෑව දශකය සිය විප්ලවීය ආඥාදායකත්වයට හසුකර ගත් ආක්‍රමණකාරී ගැටවරයා එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත් , පාරදිගේ, සොල්දාදු උන්නැහේ සමඟ අසූවේ දශකයට පා තැබුවේ, අපේ සිනමාව ප්‍රබුද්ධ ප්‍රවේශයකට කැඳවාගෙන යමිනි.

“පොන්මනී” දෙමළ සිනමා පටය අධ්‍යක්ෂණය කරමින් සමාජයීය සංහිඳියාවේ සොඳුරු පණිවුඩය සිනමා තිරය මත කැටපත් කළ පතිරාජයන් දේශීය සිනමාවේ අනාගත වංශය ලියන්නාවූ පරම්පරාවට පූර්වාචාර්යවරයකු විය.

නිර්භයව සහ සෘජුව සිනමාව දේශපාලනික කියැවීමක් බවට පත් කළ මේ අග්‍රගණ්‍ය සිනමාවේදියාණන්, වේදිකාව මෙන්ම ගීත රචනය ද පරිවර්තන සාහිත්‍යය ද අතික්‍රමණය කළ බහුවිධ ශක්‍යතාවයන්ගෙන් හෙබි මහා වනස්පතියක් බඳුය.

සසර නියාමයට අනුගතව දැවැන්තයා නික්ම ගිය ද ඔහුගේ සෙවණැල්ල චිරාත් කාලයක් සහෘද සිත්සතන් තුළ පියා විධාලන සොඳුරු කවියක් සේ සලකුණුව පවතිනු ඇත.

ධර්මසේන පතිරාජ නම් විශිෂ්ටයාට, වියෝව ඇවිළෙන හදවතින් සමුදෙමින් නිවන් සුව පතමි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();