මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ අධ්‍යයනය කිරීම හා නඩු පැවරීම ඇතුළු මුලික කටයුතු වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් මුදිත ප්‍රනාන්දු හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ගුණසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
එම කමිටුව දැනටමත් මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ වූවන් වෙනුවෙන් සිදුකරන නඬු පැවරීම ඇතුළු ඉදිරි නීතිමය කටයුතුවලින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හා අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවුවත් ඒවායෙහි කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් ඇමැතිවරයා පැවසීය. දප්පුල ද ලිවේරා හා යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් බවත් එම මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ සේවය කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ම වෙනත් අංශ ප්‍රධානින්ගේ සහාය මේ සඳහා ලබා ගැනීමේ කිසිඳු වරදක් නොමැති බවත් ඇමැතිවරයා පැවසීය.
ඕනෑම ආයතනයක ආයතන ප්‍රධානින් අනෙකුත් අංශවල ප්‍රධානින්ගේ හා සේවකයන්ගේ සහය ලබා ගන්නා අතර නිර්දේශ අධ්‍යයනය කිරීම, නඩු පැවරීම ඇතුළු අනෙකුත් කටයුතු වෙනුවෙන් මුදිත ප්‍රනාන්දු මහතාගේ හා හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඇතුළු කණ්ඩායමේ සහාය ලබාගන්නේ ද, ඒ අයුරින් බවත් ඇමැතිවරයා පැවසීය.
ඇමති චන්දිම වීරක්කොඩි මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (25) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේ නඩු පැවරීම ඇතුළු මුලික කටයුතු අවසන් වීමෙන් පසුව එම කාර්යය නැවත අධික්ෂණය දප්පුල ද ලිවේරා හා යසන්ත කෝඳාගොඩ යන මහත්වරුන් සිදුකරන බවයි.
මෙම කාර්යය නීතිපති දෙපාර්තමේන්තුවේ දශක ගණනාවක් පුරා පවතින සම්ප්‍රදායක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
එමෙන්ම මහ බැංකු බැඳුම්කර සිද්ධියේ චුදිතයන්ට එරෙහිව නිතිපතිවරයා අවසාන තින්දුව ගැනීමට පෙර ද මෙම නිලධාරීන් සියලු දෙනා සමඟ සාකච්ඡා කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා ද එක්විය.

0 Comments