Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉකුත් වසර කීපයේ විශාල ලෙස සහාධිපත්‍ය දේපළ වැඩි වුණා

භූමියේ හිඟකම සහ නාගරිකරණය නිසා සහාධිපත්‍ය දේපළ විසඳුමක් ලෙස භාවිතා කරන බැවින් පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස ස්වාධිපත්‍ය දේපළ වැඩි වූ බව සහාධිපත්‍ය අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආර්. කේ ජයවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට සහාධිපත්‍ය දේපළ 65,509ක් ඇති අතර තවත් සහාධිපත්‍ය දේපළ 20, 438ක් ඉදි වෙමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

සහාධිපත්‍ය අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආර්. කේ ජයවීර මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (05) කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පවතින සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් පවත්වනු ලැබූ දේපළ නීතිය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පවත්වනු ලැබූ විශේෂ වැඩමුළුව අමතමිනි. මේ සඳහා විවිධ රාජ්‍ය ආයතන 135කට වැඩි ප්‍රමාණයක නිලධාරීහු සහභාගි වූහ.

සහාධිපත්‍ය දේපළ පිළිබඳ මෙරට ජනතාව තුළ එතරම් අවබෝධයක් නැති බව පැවසූ සහාධිපත්‍ය අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආර්. කේ ජයවීර මහතා සහාධිපත්‍ය දේපළ පිළිබඳව සිය දේශනයෙන් හඳුන්වා දෙනු ලැබීය.

' මේ වැඩමුළුව පැවැත්වීමට අදහස් කළේ සහාධිපත්‍ය දේපළ නීතිය පිළිබඳ නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණෙනුයි. ඒ සඳහා ඇමැති සජිත් ප්‍රේමදාස සහ නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහත්වරුන්ගේ පූර්ණ අවධානය යොමු වී තිබෙනවා.

සහාධිපත්‍ය අධිකාරියේ විවිධ ගැටලුවලදී රජයේ ආයතන ගණනාවක් සමඟ සම්බන්ධ වීමට සිදු වෙනවා. එහිදී රජයේ නිලධාරීන් සමඟ ඉතා හොඳ සම්බන්ධතාවක් පවත්වා ගත යුතුයි. ඒ සඳහා මෙවන් වැඩමුළු සහ පුහුණු වැඩසටහන් වඩා වැදගත් වෙනවා.

මේ වන විට සහාධිපත්‍ය දේපළ ලෝකයේම විශාල ප්‍රවණතාවක් වී තිබෙනවා. පරිසරයට, සමාජයට හා ආර්ථිකයට බද්ධ වීම නිසා එය වඩාත් ජනප්‍රියයි. වාසස්ථාන, නිවාස, නිවාස ඒකක ආදි දේපළ හා සහාධිපත්‍ය දේපළ අතර වෙනස පැහැදිලි කර ගැනීම සහාධිපත්‍ය දේපළ හඳුනාගැනීමේ දී වඩා වැදගත්‍. සීමා හතරකින් යුත් නිවසක නඩත්තු කිරීමේ අයිතිය තනි පුද්ගලයකුට හිමි වුවත් මායිම් හයක් සහිත සහාධිපත්‍ය දේපලක එසේ සිදු වන්නේ නැහැ. එවන් දේපළක් තට්ටු නිවාස හෝ නිවාස සංකීර්ණයක් වෙනවා. ඒවායේ පොදු අංගෝපාංගවල අයිතිය පවතින්නේ සාමූහිකවයි. ඊට හේතුව වන්නේ යම් ඒකකයක හානියක් එම ඒකකයට පමණක් නොව සම්පූර්ණ ගොඩනැගිල්ලටම බලපාන නිසයි. පොදු පහසුකම් සම්බන්ධයෙනුත් එසේමයි.

සහාධිපත්‍ය පිඹුරක් නැතිව සහාධිපත්‍ය දේපළ බෙදන්න බෑ. මායිම් 6ක අයිතිවාසිකම සඳහා මහලින් මහලට වෙන් වශයෙන් සැල්සම අවශ්‍යයයි. ඉන්පසුවයි ලියාපදිංචි කර ඔප්පු ලිවීම සිදු කරන්නේ.

ලංකාව තුළ රජයේ 39,335 කුත්, පෞද්ගලික 22,425 කුත්, සුනාමි 3, 745 කුත් ලෙස සහාධිපත්‍ය දේපල 65,509ක් තිබෙනවා. තවත් සහාධිපත්‍ය දේපළ 20, 438ක් ඉදි වෙමින් පවතිනවා. දශක 6ක කාලයක් තුළ හැට පන්දහස් ගණනක් වූ මෙය මෑත වසර කිහිපය තුළ පමණක් විසි දහස් ගණනක් වී තිබීමෙන් සහාධිපත්‍ය දේපළවල ප්‍රවණතාව හඳුනාගත හැකියි.

අලුතින් නගර ඉදිවීමත් ඒවාට සංක්‍රමණය වීමත් සංවර්ධනයත් සමඟ සිදුවීම නවත්තන්න බෑ. භූමියේ ඉල්ලුම වැඩිවීමත් සමඟ තිරස් අතට නොව සිරස් අතට ගොඩනැගිලි ඉඳි කිරීමට සිදු වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයත් ඉතා වේගයෙන් සංවර්ධනය වුණා.

ඒ නිසා පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස ස්වාධිපත්‍ය දේපළ වැඩි වුණා. භූමියේ හිඟකම සහ නාගරිකරණය නිසා සහාධිපත්‍ය දේපළ විසඳුමක් ලෙස භාවිතා කරනවා.

රජයේ මෙවන් ඉදිකිරීම්වල අයිතිය පුද්ගලයන්ට ලබා දුන් පසු එහි නඩත්තු කටයුතු රජයේ වියදමින් කිරීම අනෙක් ජනතාවට කරන අසාධාරණයක්. ඒ නිසා 1983 සංශෝධන පනතින් කළමනාකරණ සංස්ථාව හඳුන්වා දුන්නා. නිවාස හිමියන් නඩත්තු කටයුතු කළ යුතු බව එහි පෙන්වා දෙනු ලැබුණා. ඒවායේ ඔප්පු ලැබූ සියලු නිවාසවාසීන් තම ඒකකයේ සාමාජිකයන් වෙනවා. එහි පවත්වන වාර්ෂින මහ සභා රැස්වීමෙන් කළමනාකරණ කමිටුවක් පත් කර පොදු කටයුතු සඳහා අවශ්‍ය යෝජනා සම්මත කර ගත හැකියි. වියදම් තීරණය කර එම ගාස්තුව සෑම නිවාස හිමියෙක්ම ගෙ‍විය යුතු වෙනවා. එහි නඩත්තු කටයුතු කර ගෙන යාමට කළමනාකරණ සංස්ථාවේ නිසි ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍යයි.

එම කළමනාකරණ සංස්ථා නියාමනය සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය පිහිටුවනු ලැබුවේ 2003 වසරේදීයි. පුද්ගලයන්ට අයත් රජයේ මහල් නිවාස නඩත්තුව රජය නවතා දැමුවේ මේ අයුරිනුයි.

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය පොදු අංගෝපාංග කළමනාකරණ නියාමනයට සහ ගැටලු නිරාකරණයට සෘජු ලෙස මැදිහත් වෙනවා. නව සහාධිපත්‍ය දේපළක් ආරම්භ කිරීමට පෙර එහි අවශ්‍ය පහසුකම් ඇති බවට අදාළ ලියකියවිලි සහාධිපත්‍ය අධිකාරියේ මූලික සහතිකය ගත යුතු වෙනවා. ඉදිකිරීම අවසානයේ සහාධිපත්‍ය අධිකාරියේ අනුකූලතා සහතිකය ලබා ගත යුතුයි. එම සහාධිපත්‍ය සහතිකය නැත්නම් ලියාපදිංචි කරන්න බෑ. ඒ සඳහාත් ඉතා වැදගත් ලියකියවිලි ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒවා නිවැරදි නම් අර්ධ සහාධිපත්‍ය සහතිකයත් අවසානයේ සහාධිපත්‍ය සහතිකයත් ලබා දෙනු ලබනවා. නිවාස පවරා දිය හැක්කේ ඉන් අනතුරුවයැයි සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ කාර්යභාරය සහ ක්‍රියාවලිය පැහැදිලි කරමින් සහාධිපත්‍ය අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආර්. කේ ජයවීර මහතා පැවසීය.

ක්‍රිසන්ති විතාරණ
ඡායාරූපය - චමින්ද නිරෝෂණ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();