බස්නාහිර පළාතේ,මොරටුව ප්‍රදේශයේ, ඩේවිඩ් ප්‍රනාන්දු මහතාගේ හා නීටා පෙරේරා මැතිනියගේ පුතෙකු ලෙස, 1961 මැයි මස 05 වෙනි දින, වන්නකුවත්තේ මිටිවඩුගේ දේවප්‍රිය කීර්තිසිරි ප්‍රනාන්දු දරුවා මෙලොව උපත ලබා මොරටුව වේල්ස් කුමර විදුහලට ඇතුළත්ව පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාම අධ්‍යාපනය හැදෑරීය. මෙම සිසුවාට විදුහලේදී උසස් අධ්‍යාපනය මෙන්ම ආගමික ආභාෂයද නො අඩුව ලැබුණි. පාසල මෙන්ම දහම් පාසලින්ද දැනුම, කුසලතා හා යහපත් ආකල්පවලින් පිරිපුන් යහපත් කිතුනු දරුවෙකු ලෙස මෙතුමා සමාජයට දායාද වූහ.
දේව කැමැත්ත
දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම යහපත්ය. මනුෂ්‍යයාගේ යුතුකම නම්, දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමය. සිය කැමැත්ත අත් හැරීම ක්‍රිස්තියානි ජීවිතයේ වැදගත්ම කොටසක්ය. එම නිසා යේසුස් වහන්සේ අනුව යන්නත්, දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නටත්, මෙතුමා තරුණ වියේදීම තීරණය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස එංගලන්ත ඉංජිනේරු උපාධියක් හදාරමින් සිටි මෙතුමා 1985 දි පිළිමතලාව දේවධර්ම ශාස්ත්රාලයට ඇතුළත් විය. තවද මෙතුමා PhD හදාරමින් සිටින අතර ලංකාවෙන් හා එංගලන්තයෙන් MPhil. උපාධි 2 ක් ලබාගත්තේය. එපමණක් ද නොව එංගලන්තයේ කැන්ටබරියේ තරුණයන් සමඟ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම් පිළිබඳව කටයුතු කළ මෙතුමා ලන්ඩනයේ සංක්‍රමිකයන් ක්‍රියාකාරකම් යනාදිය සමීක්ෂණය කරමින් අධ්‍යාපනික පොත්පත් කීපයක්ද රචනා කර ඇත.
පූජකත්වය
සියලු ජාතීන්ට දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන ශුභාරංචිය ප්‍රකාශ කිරීම යේසුස් වහන්සේ තම ගෝලයන්ට භාර දී තිබුණි. තරුණ කීර්තිසිරි ප්‍රනාන්දුටද මේ අවස්ථාව උදාවූයේ 1989 මැයි 21 වෙනිදාය. එදින මෙතුමා කොළඹ දියෝකීසියේ ද්යාකොන්තුමෙකු ලෙස සේවයට කැප කරනු ලැබීය. ඉන් අනතුරුව කැපවීමද, තෝරාගැනීමද ස්ථීර කරගන්නා පිණිස, කඩිසරව ක්‍රියා කරමින්, අන් අයගේ ආධ්‍යාත්මික දියුණුව ගැන සැලකිලිමත්වීම හේතුවෙන් ද්යාකොන් පදවියේ වසරක් යත්ම, දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතරේ මැදිහත්වීමෙන් මනුෂ්‍යයන් දෙවි සමිඳුන් වෙතට ළඟා කරවීමේ සේවය උදෙසා, වර්ෂ 1990 නොවැම්බර් මස 30 වෙනිදා කොළඹ විමුක්තිදායක ක්‍රිස්තු රජිද මුල් දෙව් මැදුරේදී මෙතුමා පූජකත්වයට කැප කරන ලදි. මෙතුමා පූජකවරයෙක් ලෙස කොළඹ දියෝකීසියේ බදුල්ල, මාතර, ගාල්ල, මොරටුව ආදි ප්‍රදේශයන්හි දේවස්ථාන පළාත්වලත් , කුරුණෑගල දියෝකීසියේ රත්මීවල, වත්තේගම, ගම්පොළ, ගැටඹේ යනාදි පළාත්වලත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලීය දෙව්මැදුර හා ගුරු අභ්‍යාස විද්‍යාලීය දෙව් මැදුරේත් සේවය කර ඇත.
පූජක දිවිය දේවස්ථානවලට පමණක් සීමා නොකළ මෙතුමා රත්මලාන විශේෂිත අවශ්‍යතා විදුහල, බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල හා පිළිමතලාව දේවධර්ම ශාස්ත්රාලයේ වැඩබලන විදුහල්පති ලෙසද වසර කීපයක් කටයුතු කර ඇත. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රිස්තියානි ධර්මය පෙළපොත් හි උදේශක මණ්ඩලයේද කටයුතු කරන ලදි. එමෙන්ම මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලය, පිළිමතලාව දේවධර්ම ශාස්ත්‍රාලය, දෙනිපිටිය මිෂනාරී වෛද්‍ය ආයතනය ආදි ස්ථාන කීපයකම කථිකාචාර්යවරයෙක් හා කුලාචාර්යතුමා ලෙස තම සේවය පුළුල් කරන ලදි. එපමණක් ද නොව එංගලන්තයේ කැන්ටබරියේ හා කොළඹ දියෝකීසියේ විවිධ අංශයන් නියෝජනය කරමින් උසස් තනතුරු රාශියක් දරා මනා පළපුරුද්දක් තිබීම විශේෂත්වයකි.
මෙතුමාගේ දැනුම හා හැකියාවන් තුළින් බැතිමතුන්ට පමණක් නොව පූජකතුමන්ලාටද ආදර්ශයක් වෙමින් ආගමික, සංස්කෘතික හා සමාජයීය වශයෙන් තම කටයුතු නොපිරිහෙලා ඉටුකිරීම හේතුවෙන් 2016 ක් වූ මැයි මස 01 දින සිට අද දක්වා ලංකා සභාවේ කොළඹ දියෝකීසියේ නුවරඑළිය අනුනායක පියතුමා ලෙස පත්වෙමින් සැමගේ භක්ත්‍යාදරයට පාත්රවිය.
රදගුරු පදවිය
දේශීය විදේශීය සම්බන්ධකම්, ක්‍රියාකාරකම්, අත්දැකීම් සමඟ ඇදිහිල්ල උදෙසා සටන් කළ නිරන්තර අව්‍යාජ සිනාවකින් මුව සරසාගත්, වන්දනීය දේවප්‍රිය කීර්තිසිරි ප්‍රනාන්දු අනුනායක පියතුමාගේ සුබවාදි මෙන්ම අභියෝගශිලි ගමන් විලාශය නිසා, 2017 ඔක්තෝම්බර් 21 වෙනි දින, ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියේ මන්ත්‍රණ සභාව විසින් රදගුරු පදවියට තෝරාපත් කර ගනු ලැබීය.
ආසනාරූඪ කිරීම
කැඳවීම උතුම්ය. ශුද්ධය. ස්වර්ගීය එකකි. ක්‍රිස්තියානි සභාවේ නායකයන් එඬේරුන්ට සමාන කරනු ලැබේ. එබැවින් උදාවන අද 06 වන දිනය මෙතුමාගේ ජීවිතයට මෙන්ම, කුරුණෑගල දියෝකීසියටද විශේෂිත සිදුවීමකට මුල පුරන දවසක් වන්නේය. මෙතෙක් වන්දනීය කීර්තිසිරි ප්‍රනාන්දු නම් වූ අනුනායක පියතුමා එදින කුරුණෑගල දියෝකීසියේ හයවන රදගුරු පදවියට එසවීම දෙස් විදෙස් රදගුරු හිමිපාණන්වරු විසින් අති විශාල ජනතාවක් ඉදිරියේ සිදු කිරීමට නියමිතය.
අරුණ අරවින්ද සිල්වා
මාධ්‍ය සම්බන්ධීකාරක
ලංකා සභාව,
කුරුණෑගල දියෝකීසිය
0 Comments