Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෛද්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට තාක්ෂණික සහාය ලබා දෙනවා

වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, දුම්රිය ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදිමට සූදානම් බව ඉන්දුනිසියානු ජනාධිපතිවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ දුම්රිය නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳ සොයා බලන බව ද ඉන්දුනිසියානු ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය පරිදි දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව පෙරේදා (24දා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ඉන්දුනිසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ ඉන්දූනිසියාවේ හිටපු ජනාධිපති සුකර්නෝ මහතා 1979 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව එනම් වසර 38 කට පසුව වීමද විශේෂත්වයකි.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා සහ එම මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ආචාර වෙඩි මුර 21 ක් සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදුවිය.

නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. ප්‍රධාන ක්ෂේත්‍ර 03 ක් ඔස්සේ එම ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු අතර දෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම, දෙරට අතර පුද්ගල සහ ආයතනික ධාරිතා වර්ධනය කරගැනීම සහ ඉන්දියානු ශාන්තිකර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු විය.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ප්‍රවර්ධනය කර ගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ අවධානය යොමු කෙරිණි.

ඉකුත් වසර කිහිපයේ සිට ව්‍යවසායකයන්ට වාසිදායක වන ආයෝජන පසුබිමක් ශ්‍රී ලංකාවේ තිබෙන අතර, ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමට ඉන්දුනිසියානු ව්‍යවසායකයින් දිරිගන්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ඉන්දුනිසියානු ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ද යහපත් ප්‍රතිචාරයක් හිමිවිය. ඇගලුම් ක්ෂේත්‍රයේ නිෂ්පාදන සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ද නායකයින් සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාව වටා ඇති සාගර සම්පත රටේ ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායී ආකාරයෙන් යොදාගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා මෙහිදී ඉන්දුනිසියානු ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට එතුමාගේ විශේෂ අවධානය යොමුවිය.

ආරක්ෂාව ආශ්‍රිත වැඩමුළු, ශිෂ්‍යභට හුවමාරු වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කරමින් දෙරටේ ආරක්ෂක හමුදා අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළ අතර, ත්‍රිකුණාමලයේ පවත්වනු ලබන අසමමිතික යුද පාඨමාලාවට සහභාගීවීම සඳහා ඉන්දුනිසියා නාවික හමුදාවේ විශේෂ බලකා භටපිරිස් වෙනුවෙන් අවස්ථාවක් ලබාදීමට හැකියාව පවතින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන්දුනිසියා ජනාධිපතිවරයාගේ මෙම සංචාරය දෙරට අතර සබඳතා තහවුරු කර ගැනීමේ සුවිශේෂී අවස්ථාවක් බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය වසරේ මාර්තු මාසයේදී තමා ඉන්දුනිසියාවේ සිදු කළ සංචාරයේදී දැක්වූ ඉහළ පිළිගැනීම සහ සුවිශේෂි ආගන්තුක සත්කාර පිළිබඳ සිය කෘතවේදිත්වය පළ කළේය.

2017 වර්ෂයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් සහල් හිඟයට පිළියමක් ලෙස ඉන්දුනිසියානු රජය විසින් සහල් මෙට්‍රික් ටොන් 5,000 ක් පරිත්‍යාග කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ඉන්දුනිසියානු ජනාධිපතිවරයා වෙත සිය විශේෂ ස්තූතියි පිරිනැමීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනිසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත වී වසර 65 ක් සපිරීම ද මේ වසරේ සමරනු ලබන අතර මෙම දශක හය හමාරක කාලපරිච්ඡේදය තුළ දෙරට විසින් දේශපාලන, සංස්කෘතික, ආර්ථික, වෙළෙඳ, ආරක්ෂක හා සංචාරක යන ක්ෂේත්‍ර ඔස්සේ පවත්වාගෙන යනු ලබන මිත්‍රශිලි ද්විපාර්ශ්වික සබඳතාවය ද නායක දෙපළ සිහිපත් කළහ.

ආසියාන් සංවිධානයේ පාර්ශ්වික සංවාදකරුවෙකු වශයෙන් සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලීමට සහය ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී ඉන්දුනිසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඉන්දීය සහ ශාන්තිකර සාගර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ සහය අපේක්ෂා කරන බව ඉන්දුනිසියා ජනාධිපතිවරයා සඳහන් කළේය.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුම් 03 කටද ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.

උසස් අධ්‍යාපන, පර්යේෂණ හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, නීති විරෝධි අයුරින් මත්ද්‍රව්‍ය සහ මත්කුඩු ප්‍රවාහනය මැඩලීමේ අවබෝධතා ගිවිසුම සහ සෝදිසි හා ගලවාගැනීමේ මෙහෙයුම් පිළිබඳ අවබෝධතා ගිවිසුම ඊට ඇතුළත්ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, තිලක් මාරපන, මලික් සමරවික්‍රම, මහින්ද අමරවීර, සාගල රත්නායක, ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();