ආණ්ඩුවේ සිටින දේශපාලන පක්ෂ මේ දිනවල විවිධ රංගනවල යෙදෙන බැවින් පොදු ජනතාව මේවා හොඳින් අවබෝධ කරගෙන පොහෝට්ටුව ජයග්‍රහණය කරවන්න ඡන්දය දෙන්න යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (24) කොළඹ 08, බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා අනුස්මරණ මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්ය. එහි දී වැඩි දුරටත් කතා කළ සභාපතිවරයා මෙසේ ද කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආර්ථිකය මෙහෙයවීමේ සෘජු වගකීම් තමන්ට පවරා ගැනීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නැහැ. එහෙම කරනවා නම් අනිවාර්යයෙන්ම මේ අමාත්‍යංශ තමන්ට පවරා ගන්න ඕනේ. ඒ පියවර නොගෙන කියන කතා පුස්සක්. එහෙම පවරා ගනියි කියලා බලාපොරොත්තු වෙන්න හැකියවක් නැහැ. කතාවට සීමා කරනවා විතරයි. මේවා කළොත් එක්සත් ජාතික පක්ෂය අයින් වෙනවා. එහෙම වුණොත් 19 වැනි සංශෝධනය අනුව 46 වැනි වගන්තිය ක්‍රියාත්මක වෙනවා. සම්පූර්ණයෙන්ම 70ක් වන ඇමැති මණ්ඩලයක් පත් වෙන්න ඕනේ. මිහිපිට තියෙන විශාලම කැබිනට් මණ්ඩලය තියෙන්නේ අපිට. සුඛ විහරණය සියල්ල නවතිනවා. එ් නිසා කිසිම වෙනසක් වෙන්නේ නැහැ ආර්ථිකය සම්බන්ධයෙන්. අලියාට නොවැටෙන ඡන්ද බුලත් කොළයට ගැනීම ඔහුගේ වෑයමයි. එහි කිසිම අවංකභාවයක් නැහැ. රවි කරුණානායකට අස්වෙන්න සිදු වුණත් බලතල අඩු වුණේ නැහැ. දැන් අලුත් මහාධිකරණයක් ස්ථාපිත කරලා මාස හයක් ඇතුළත දැවැන්ත වංචා දූෂණ සොයනවාලු. ඉස්සෙල්ලාම එහි විභාග කරන්න ඕනේ මේ බැදුම්කර සිද්ධියයි. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ සිවිල් අංශයටයි මේක භාර දීලා තියෙන්නේ. මහාධිකරණයට අධි චෝදනා පත්‍රයක් යැවීමේ හැකියවක් නීතිපතිට නැහැ. මේ පාර්ශ්ව දෙක එකතු වෙලයි මේවා කරන්නේ. දෙගොල්ලෝම එකතු වෙලයි අර්ජුන මහේන්ද්‍රන්ව පත් කළේ. රවි කරුණානායක මහතාගේ ව්‍යාපාර සමඟ ගැටුමක් තියෙන බව දැනගෙනයි ඔහුව මුදල් ඇමැති කරන්නේ. දැන් අර්ජුන මහේන්ද්‍රන්ට රටින් පිට වෙලා යන්න ඉඩ හැදුවෙත් මේ දෙගොල්ලොම එකතු වෙලයි. මේක ජනතාව මුලා කිරීම සඳහා දෙගොල්ලෝම එකතු වෙලා කරන රංගනයක්. ජනාධිපතිවරයාගේ කඩුව පාවිච්චි කරන්න සුදුසු අවස්ථා දෙකක් තියෙනවා. ඌව පළාත් මහ ඇමැතිගේ නින්දිත සිද්ධිය එකක්. කෝ කඩුව. අධ්‍යාපන අමාත්‍යශය ගලෝන එක විතරයි කළේ. අනෙක් සියලු බලතල ඔහුට තියෙනවා. මහ ඇමැතිට මේ විමර්ශනයට මැදිහත් වෙන්න සාක්ෂිකරුවන් බිය ගන්වන්න බලය තියෙනවා. අනෙක් කාරණය දමිල සන්ධානයේ ශිව ශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා අයවැය ජය ගන්න තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු 15ට කෝටි 2 බැගින් අල්ලස් ලැබුණු බව කියනවා. ඔය කඩුව පාවිච්චි කරන්න මීට වඩා අවස්ථා තියෙනවාද? ජනාධිපතිවරයා කිසිවක් නොකළත් අල්ලස් කොමිසමට පූර්ණ බලය තියෙන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පදනම් කරගෙන කටයුතු කරන්න.

0 Comments