Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලනිපයේ සහ නිදහස් සන්ධානයේ ජය දිනෙන් දින පැහැදිලි වෙනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් නිදහස් සන්ධානය ඉදිරි මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවට දිනෙන් දින පැහැදිලි වන බවත් පොහොට්ටුවේ පිරිස් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ද ජනාධිපතිවරයා සමඟ එක්වීමට සූදානමින් සිටින බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්. බී. දිසානායක මහතා පැවැසීය.

හඟුරන්කෙත ප්‍රදේශයේ පැවැති එජනිස රැලියක් අමතමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඇමැතිවරයා මෙසේ ද කීවේය.

මේ මැතිවරණයෙන් පස්සේ වෙනම ආණ්ඩුවක් හදන්න එජාපය හදනවා නම් අපේ අමනාපයක් නැහැ. ඒකේ අයිතිය එජාපයට තියෙනවා. ඒ ගැන අපි කලබල වෙන්නේ නැහැ. නමුත් මේ මැතිවරණ ප්‍රතිඵලයේ ජයග්‍රහණය අතටයි බුලත් කොලයටයි එන බව දැන් දිනෙන් දින පැහැදිලි වෙනවා. අපෙන් පොට්ටුවට ගිය සියලු දෙනා අද වේගයෙන් අපිත් එක්ක එමින් ඉන්නවා. එජාපයේ බුරුතු පිටින් මෛත්‍රිපාල ජනපතිවරයා සමඟ එක් වෙමින් සිටිනවා. විපක්ෂයේ දෙමළ, මුස්ලිම් ජනතාව කවදාවත් ඡන්දය නොදීපු ඒ අය අද අපිත් එක්ක එකතු වෙමින් ඉන්නවා. ඒ නිසා ඊළඟ ආණ්ඩුව නොවෙයි 2025 දීත් ආණ්ඩුව හදන්නේ ශ්‍රීලනිපය ප්‍රධාන එජනිසයි. ඒ වගේම මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු රැසක් ශ්‍රීලනිපයත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ අය ළඟ තියෙනවා තමන්ගේ පක්ෂයට විරුද්ධව විශාල චෝදනා රැසක්. නමුත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඒදේට උදවු කරන්නේ නැහැ. එහෙම වුණොත් එජාපය දෙකට කැඩෙන එක අනිවාර්යයයි.

මහනුවර ජන රැලියේ දී ජනාධිපතිවරයා පැවැසූයේ, ආදරණීය යූ. එන්. පී පාක්ෂිකයිනි, මම ඔබට ද්‍රෝහි වූවා නොවේ. හොරුන්ට, වංචාකාරයන්ට, නාස්තිකාරයන්ට, තක්කඩින්ට විරුද්ධව සටන් කළා පමණි යනුවෙනි. එතුමා හොරකම, දුෂණය, වංචාව, නාස්තිය කියලා අපෙන් එළියට ගියේ පිරිසිදු ආණ්ඩුවක් හදන්න. ඒ අවස්ථාවේ තමයි ආණ්ඩුව ඇතුළෙන්ම රන් දෙවොලට බෝම්බ වැදුණා වගේ මහ බැංකු වංචාව සිදු වුණේ. ඒක පිරිසිදු රාජ්‍ය නායකයකුට ඉවසගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. මහ බැංකුව කියන්නේ රටක සල්ලි අච්චු ගහන තැන. සල්ලි තියාගෙන ඉන්න තැන. අපේ රටට අයිති රත්තරං ටික තියෙන්නේ එතැන. අපේ රටට එන ඇමෙරිකානු සල්ලි, බ්‍රිතාන්‍ය සල්ලි, ප්‍රංශ සල්ලි, විදේශීය වත්කම් තියන තැන එතැන. එතැන මේ වගේ මහා හොරකමක් සිදු වුණු විට ඒක ගැන නොසොයා ඉන්න පුළුවන්ද? ඒ හොරකම කවුරු කළත් ඒ හොරාට දඬුවම් කරලා හිරේ යවන එක රාජ්‍ය නායකයාගේ යුතුකමක්. විශේෂයෙන්ම දුෂණයට, වංචාවට එරෙහිව එළියට බැස්ස නායකයෙක් හැටියට එතුමා ඒක කරනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට මේකට කලබල වෙන්න දෙයක් නැහැ.

පසුගිය රජය සමයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අපිට විරුද්ධව අමෙරිකාව යෝජනාවක් ගෙන එන වෙලාවේ ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, මුළු යුරෝපයට අපිට විරුද්ධව හිටියේ. ඒ නිසා එතුමා මුලින් උත්සාහ කළේ අපේ රජයක් හදන්න. නමුත් අපේ පක්ෂයේ හිටපු නායකතුමා අගමැති අපේක්ෂකයා වීම නිසා ආයෙත් අපි පැරදුණා. ඊට පස්සේ පක්ෂ දෙක එකට එකතු කරලා එතුමා කරපු පළවැනි දේ තමයි ජිනීවා ගියා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ගිහින් අපනාපවෙලා හිටපු රටවල් එක්ක කතා කරලා අමනාපකම් නැති කරගෙන ආවා. අපිට විරුද්ධව ආපු යෝජනාව ඉවත් කරවන්නට එතුමාට ශක්තිය ලැබුණා. ඒකෙන් අපි බේරුණු එක ලොකු දෙයක්.

මේ අවස්ථාව සඳහා හඟුරන්කෙත ශ්‍රීලනිප සම සංවිධායකවරුන් වන ජයරත්න දිසානායක සහ නාරද දිසානායක මහත්වරුන් ද සහභාගී වූහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();