අවුරුදු 07 ක් වයසැති එම්.එන්. අමානි රායිදා කුඩා දැරිය සිය මව්පියන් සමග පසුගියදා බදුල්ලේ සිට කොළඹට පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමටය. කිසිවෙකුට නොදන්වා ආ මේ ගමනේදී ජනාධිපතිතුමා හමුවේයැයි දැරිය හෝ ඇයගේ මාපියන් මඳකටවත් විශ්වාස නොකළ අතර, කුඩා දැරියක් තමා හමුවීමට ආශාවෙන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින බව දැනගත් ජනාධිපතිතුමා කෙතරම් කාර්ය බහුල තත්ත්වයක සිටිය ද තම ආරක්ෂක නිලධාරින් යවා දැරිය තමා අසළට ගෙන්වා ගනිමින් ඇයගේ ආගිය තොරතුරු විමසුවේය.
මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුමා සමග පිළිසදරක නිරත වූ දැරිය තමා අතින් ඇදි චිත්‍රයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවා පමණක් නොව බදුල්ලට පැමිණෙන්නේ නම් තම නිවසට ද එන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියාය. එපමණක් නොව පැමිණෙන්නට පෙර දුරකථන ඇමතුමක් ලබාදෙන ලෙස ද ඇය ජනාධිපතිතුමාට කීවේ සුරතල් බසිනි.
දැරියගේ ඉල්ලීම ඉවත නොදැමූ ජනාධිපතිතුමා ඊයේ දින බදුල්ලේ පැවති ජනහමුවට සහභාගීවීමෙන් අනතුරුව ඇයගේ නිවසට ද ගොඩවැදුණේ කෙතරම් කාර්ය බහුල වුවද කුඩා දැරියගේ ඉල්ලීම ඉවත දැමීමට තිබූ අකමැත්ත නිසාමය.
තම යහළු යෙහෙළියන් සමග ජනාධිපතිතුමා පැමිණෙන පෙරමග බලා සිටි අමානි රායිදා කුඩා දැරිය තම නිවසට පැමිණි ජනාධිපතිතුමා මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තාය.
දැරිය ඉදිරිපත් කළ ගීතයක් රසවිදිමින් සහ කුඩා දරු දැරියන් සමග ගීත ගායනයකට ද එක්වෙමින් ළමා ලොව සොදුරු අසිරිය මැද මොහොතක් ගත කළ ජනාධිපතිතුමා කුඩා දරු දැරියන්ට සමුදුන්නේ නැවතත් කොළඹ පැමිණෙන විට තමා බලන්න එන්නැයි ඔවුන්ට සෙනෙහෙබර ඇරයුමක් ද කරමිනි.

0 Comments